Print this Article


මහින්දාගමනයෙන් පෝෂණය වූ හෙළ සාහිත්‍යය

මහින්දාගමනයෙන් පෝෂණය වූ හෙළ සාහිත්‍යය

මහින්දාගමනය ලාංකේය ඉතිහාසයෙහි සුවිශේෂී සංධිස්ථානයකි. ලාංකික සමාජය තුළ ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික, සමාජීය හා ආර්ථික වශයෙන් සිදු වූ වෙනස අවිවාදාත්මක ය. මහින්දාගමනය ඉහත සඳහන් අංශවලට පමණක් නොව කලා ශිල්ප, චිත්‍ර මූර්ති හා කැටයම් ආදී සෑම අංශයක් කෙරෙහි පුළුල් බලපෑමක් කර ඇත.

ගසට පොත්තත්, පොත්තට ගසත් මෙන් සිංහල ජාතිය හා බුදු දහම එකට වෙළාගත් අයුරු ඉතිහාසය තුළින් දැක ගන්නට පුළුවන. මිහිඳු හිමියෝ ලාංකික ජනතාවගේ ඇවතුම්, පැවතුම් හා සිත් සතන් නිවැරැදිව හඳුනාගෙන ධර්ම දේශනා කළ ශ්‍රේෂ්ඨ උත්තමයෙකි. උන්වහන්සේ දේශනා කළ ධර්මය, අනුගමනය කිරීම ශ්‍රී ලාංකිකයින්ට දුෂ්කර කාර්යයක් නොවී ය. ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කිරීමට වඩා උන්වහන්සේගේ අවධානය යොමු වූයේ මිනිසාගේ දෛනික ජීවිතය හැඩගැස්වීමටයි. අකුසල් පැත්ත ඉවත් කර කුසල් පැත්තට යොමු කරලීමටයි.

බුදු දහම හඳුන්වාදීමත් සමඟ මේ රටේ ජනතාව නව ජීවයක්, ප්‍රාණයක් ලැබූහ. බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කරන්නට පටන් ගත්හ. මිනිසුන් එකමුතුව ගමේ පන්සලක් හා බණ මඬුවක් සාදාගත්හ. බණ මඬුව ගමේ පාසල බවට පත්විය. භික්ෂූන් වහන්සේ ගුරුවරයා විය. මේ නිසා ගමේ නායකත්වය භික්ෂූන් වහන්සේට ලැබුණු අතර ගමේ ආරවුල් විසඳුවේ ද උන්වහන්සේ ම ය. ගමේ ආරක්ෂක මුරදේවතාවා බවට පත්වූයේ ද භික්ෂූන් වහන්සේ ය. පොත පත මෙන් ම අනිකුත් කලා ශිල්ප ඉගෙන ගත්තේ ද පන්සල කේන්ද්‍ර කරගෙන ය. පන්සල කේන්ද්‍ර කරගනිමින් සිංහල භාෂාවත්, සිංහල සාහිත්‍යයත් ලේඛන කලාවත් දියුණුවට පත් වූ අයුරු ලංකා ඉතිහාසයෙන් අපට පෙන්නුම් කරයි.

සිංහල ජාතියේ ගුරුවරයා වූ භික්ෂුව අධ්‍යාපන ක්‍රියාවලියට අවශ්‍යය පොත පත ලිවීමට ද ක්‍රියා කර ඇත. මේ සියලු පොතපත රචනා කළේ බුදු දහම පදනම් කරගෙන ය. සමහර ලේඛකයින් ගේ උත්සාහය තිබුණේ බුදුගුණවලින් එකක් තෝරාගෙන රසවත් කතාන්දරයක් වශයෙන් එය විස්තර කිරීමයි.

ගුරුළුගෝමී පඬිතුමා “අමාවතුර” ලියා ඇත්තේ බුදුරදුන්ගේ “පුරිස ධම්ම සාරථී” ගුණය පෙන්නුම් කිරීමටයි. මයුරපාද හිමියන් විසින් “අරහං” යන බුදුගුණය පෙන්නුම් කෙරමින් පූජාවලිය රචනා කර ඇත. දඹදෙනි යුගයේ විසූ විද්‍යා චක්‍රවර්තී පඬිවරයා විසින් බුදුගුණ වර්ණනා කරමින් “බුත්සරණ” ලියා ඇත. “දහම් සරණ” හා “සඟ සරණ” යන කෘතීන් ද එතුමා විසින් ලියන ලද ඒවා යැයි ද සමහරු ප්‍රකාශ කරති. කියවන්නා තුළ සදාචාරවත් ජීවිතයක් ගොඩනැංවීමත්, අකුසල ක්‍රියාවලින් මුදවා කුසලයට යොමු කරලීමත් මුල් කරගෙන මෙවැනි බෞද්ධ සාහිත්‍ය කෘති නිර්මාණය කර ඇත.

බෞද්ධ කතා සාහිත්‍යය තුළ ඉතාම ජනප්‍රිය කෘතියක් ලෙස කුරුණෑගල අවධියේ රචිත ජාතක පොත්වහන්සේ හඳුන්වා දෙන්නට පුළුවන. දඹදෙනි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් රචිත “සද්ධර්ම රත්නාවලියත්”්, ධර්මකීර්ති හිමියන් විසින් රචිත “සද්ධර්මාලංකාරයත්” ධර්මකීර්ති හිමියන්ගේ ශිෂ්‍යයකු විසින් ලියන ලද “සද්ධර්මරත්නාකරයත්” විවිධ බෞද්ධ කතා වස්තු එකතුකොට සකස් කරන ලද බෞද්ධයන් අතර ජනප්‍රිය ග්‍රන්ථයන් ලෙස දක්වන්නට පුළුවන.

අපේ වන්දනාවට හා ගෞරවයට පාත්‍ර වූ ත්‍රිවිධ චෛත්‍යයන් මුල්කරගෙන ඒවායේ ඇති ඓතිහාසික තොරතුරු කියාපාමින් රචනා කර ඇති සාහිත්‍ය ග්‍රන්ථ ද පැරැණි සාහිත්‍ය තුළින් දැකගත හැකි ය. රුවන් වැලි සෑයේ ඉතිහාසය පෙන්නුම් කරන “ථූපවංශය”, දළදා සමිඳුන්ගේ ඉතිහාසය පෙන්නුම් කරන “දළදා සිරිත”, බුදුරදුන්ගේ ලලාඨ ධාතුව විස්තර කරමින් රචනා කර ඇති “ධාතුවංශය”, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉතිහාස කතාව කියා පාන “බෝධිවංශය” දුගියෙකුට හිස දන් දුන් දැහැමි සිරිසඟබෝ කතා පුවත අලලා රචිත “එළු අත්තනගලු” වැනි ෙඓතිහාසික තොරතුරු හෙළි කරන සාහිත්‍ය කෘතීන් අප චින්තනය නිවැරැදි මඟට යොමු කරලීමට මහඟු පිටිවහල ක් වී ඇත.

අපේ පැරැණි පද්‍ය සාහිත්‍ය දෙස බලන විට ඒවා ජාතක කතා මුල්කරගෙන සම්පාදනය කර ඇති බව පැහැදිලි ය. හිස නර කෙසක් දැක රජකම අතහැර තපසට ගිය මඛාදේව රජතුමාගේ කතාවේ ඇතුළත් “මුවදෙව්දාවත“ අපට දැනට ඇති පැරැණිම ගී කාව්‍යයකි. දෙවැනි පැරකුම්බා රජු විසින් රචිත “කව් සිළුමිණ”, වෑත්තෑවේ හිමියන් විසින් රචනා කළ “ගුත්තිල කාව්‍යය”, තොටගොමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරන ලද “කාව්‍යසේඛරය” වැනි වටිනා ජනප්‍රිය කාව්‍ය ග්‍රන්ථවලට මූල බීජයන් ලෙස ගෙන ඇත්තේ ජාතක කතාවන් ය. විශේෂයෙන් ජාතක පොත් වහන්සේ පූජාවලිය, සද්ධර්මරත්නාවලිය වැනි කෘති අපේ බෞද්ධ ජනතාව අතර නිතර භාවිත වූ ධර්ම ග්‍රන්ථයන් ය. භික්ෂූන් වහන්සේ තම ධර්ම දේශනා සඳහා මෙම ග්‍රන්ථ උපයෝගී කර ගත්හ. පොහොය දිනවල සිල්සමාදන් වූ උපාසක උපාසිකාවෝ මෙම දහම් පොත් හඬනගා කියවමින් තම ශ්‍රද්ධාව වර්ධනය කර ගත්හ.

ජාතක පොතෙහි ජාතක කථා පන්සිය හතළිස් හතක් ඇතුළත් ය. සෑම ජාතක කතාවකින් ම කිසියම් උපදෙසක් අපට ලබා දී ඇත. මතු දවසක බුදුවෙන බෝසත් චරිතයන් මෙම දේශනා තුළින් විදහා දක්වා ඇත. බෝසතාණන් වහන්සේ නිතරම හැසිරෙන්නේ අන්‍යයන්ට ආදර්ශයක් ගත හැකි වන පරිද්දෙනි. පාරමිතා පුරන ආකාරය, දස අකුසලයන් හි දොස් පෙන්නුම් කිරීම. මෙලොවත් පරලොවත් දියුණුවට හේතුවන උපදේශයන් වැනි කරුණු ජාතක පොත කියවන පාඨක ලෝකයාට අවබෝධ වනු ඇත. සෑම ජාතක කතාවකින් ම සුවිශේෂී උපදේශයක් ලැබෙන අතර, එක් කතාවක් තුළ විවිධ අවස්ථාවන්ගෙන් අපට ලබාගත හැකි අතිරේක පාඩම් ද බොහෝ ය.

“ඉල්ලීස” ජාතක කතාව තුළින් පාඨකයාට මුලින් ම ලබාදෙන උපදේශය දෙස බලමු.

එහි අසූ කෙළක් පමණ ධන සම්පත් ඇති “මච්ඡරීයකෝසිය” නම් සිටු පුත්‍රයෙක් වසන්නේ ය. ඒ සිටු පුත්‍ර තෙම “තණ කෙන්දක් තෙල් ගා එයින් තෙල් බිංදුවකුත් අනුන්ට නොදෙන්නේ ය. තෙමේත් අනුභව නොකරන්නේ ය.” මෙසේ ඔවුන්ගේ වස්තු සමූහය පුත්‍රධාරාදීන්ටවත්, ශ්‍රමණ, බ්‍රහ්මණ ආදීන්ටවත් ප්‍රයෝජනයට නොපැමිණෙනේ ය. රාක්ෂස අධිගෘහිත වූ පුෂ්කරණියක් මෙන් අපරිභෝග ව සිටින්නේ ය. මෙවැනි මූලික වදන් වැලකින් ඉල්ලීස ජාතකයේ අරමුණ පෙන්නුම් කර ඇත. සමාජයේ දැක්වෙන විවිධ චරිත ස්වභාවයන් ජාතක කතා අපට පෙන්නුම් කර ඇත.

බෝධිසත්වයන් වහන්සේ සෑම අවස්ථාවලම මනුෂ්‍යයෙකු වූ බව නොපෙනේ. තිරිසන් සත්වයකු ලෙස උපත ලැබූව ද බෝසතාණන් තම ජාති වර්ගයා රැක ගනිමින්, ගුණධර්ම ආරක්ෂා කර ගනිමින් , බුද්ධිමත් ව ක්‍රියා කළ ආකාරය දැක ගන්නට පුළුවනි. ජාතක පොතේ එන කතාන්දර ලියා ඇත්තේ බණ මඟ අනුගමනය කරමිනි. සිංහල සංස්කෘතිය තුළ දක්නට ඇති අව්‍යාජ බව, සරල බව, ලජ්ජාව හා භය එමෙන් ම සංයත පැවැත්මත් ජාතක පොත අපට ප්‍රදර්ශනය කර ඇත.

ජාතක කතාකරු මිනිස් සිත මතුපිටින් පමණක් නොව එය විනිවිද දුටු අයෙකි. මිනිසා රාගයට, ද්වේෂයට, මෝහයට යට වී නොයෙකුත් අපරාධ හා දූෂණ ක්‍රියාවන් සිදු කරන බව ජාතක කතාව අපට පෙන්නුම් කරයි. මහින්දා ගමනයෙන් අපට ලබාදුන් සදාචාරාත්මක උරුමයන් ආරක්ෂා කර ගනිමින් සමගියෙන් සමාදානයෙන් සහජීවනයෙන් , යුත් ජිවිත ගොඩනගා ගැනීමට ජාතක කතා පොත් වහන්සේ අපවෙත මොනතරම් මහඟු මෙහෙයක් ඉටුකර ඇත් ද?

ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලබා පාරමිතා පුරමින් ගත කළ ජීවිතයත්, සිද්ධාර්ථ කුමාරයා වශයෙන් ගත කළ ජීවිතයත්, බුද්ධත්වයෙන් පසු පරිනිර්වාණය දක්වා ගත කළ ජීවිතයත් පූජාවලිය ග්‍රන්ථය තුළ ඇතුළත් ය. පූජාවලිය ඕනෑම කෙනෙකුට කියවා තේරුම්ගත හැකි විචිත්‍රවත් බසින් රචනා කරන ලද්දකි.

“සද්ධර්ම රත්නාවලිය” බණ කතා සාහිත්‍යය ග්‍රන්ථයකි. බෞද්ධ සාහිත්‍යයේ එන විවිධ කතා උපයෝගී කර ගනිමින් සුදුසු තැනට සුදුසු උපමා යොදමින් විස්තර කළ යුතු තැන විස්තර කරමින් දේශීය පරිසරය තුළින් ලැබූ අද්දැකීම් ඉවහල් කර ගනිමින් සරල සිත් ගන්නා භාෂා සම්ප්‍රදායකින් ලියන ලද මෙම සද්ධර්මරත්නාවලිය ජනප්‍රිය ධර්ම සාහිත්‍ය ග්‍රන්ථයකි. මෙම හිමියෝ පිටිසර ඉපිද හැදී වැඩී ජීවිතයට පුළුල් අත්දැකීම්ලත් හිමිනමක බව මෙම ග්‍රන්ථය තුළින් දැක ගත හැකි ය. තැනට සුදුසු අයුරින් ප්‍රස්ථා පිරුළු යොදමින් කතාව කියවන්නාට රමණීය ආශ්වාදනයක් ලබා දී ඇත. ගැමියන්ගේ හදවත් හඳුනාගත් ධර්මසේන හිමියෝ පාඨක හදවත් ඇද බැඳ තබා ගැනීමට සමත් අයුරින් සද්ධර්ම රත්නාවලිය රචනා කර ඇත.

කෝට්ටේ යුගයේ වැඩ සිටි වීදාගම මෛත්‍රී හිමියන් විසින් “බුදුගුණ අලංකාරය” වැනි ශ්‍රද්ධාව ජනිත කරවන පද්‍ය ග්‍රන්ථය නිර්මාණය කර ඇත. “හංස සංදේශය” හා “ලෝවැඩ සඟරාව“ ද රචනා කළේ උන්වහන්සේ ම ය.

පාඨකයා තුළ මහත් ශ්‍රද්ධාවක්, භක්තියක් ඇති කරලීමට සමත් අයුරින් හා පද්‍ය ගායනය තුළින් රසාත්මක සංයත වින්දනයක් උපදවාලීමට සමත් අයුරින් මෙම ග්‍රන්ථය අප වෙත ප්‍රදානය කර ඇත. විශේෂයෙන් එදා අපේ පැරැණි ගැමියා මෙවැනි ධර්ම ග්‍රන්ථ කියවමින් තම ජිවිතය ධර්මය තුළින් ආලෝකමත් කර ගත්තා සේ වර්තමාන තාක්ෂණික ලෝකය තුළ විවිධ ප්‍රශ්න ගැටලුවලින් පීඩනයට, අසහනයට පත්වන මනසට සුවදායක සහනයක් සැනසිල්ලක් ලබා ගැනීම සඳහා විවේක අවස්ථාවල නැවත නැවතත් මෙවැනි සාහිත්‍යමය ග්‍රන්ථ පරිහරණය කරන්නට අප අධිෂ්ඨාන කරගත යුතු ව ඇත.