Print this Article


අපේ උරුමය අනාගතයට රැක ගනිමු

අපේ උරුමය අනාගතයට රැක ගනිමු

බෞද්ධ දර්ශනයේ පණිවිඩය මේ ලක් දෙරණට නිල වශයෙන් ලැබෙන්නේ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ වැඩම වීමත් සමඟ ය. මහා වංශයේ සඳහන් වන්නේ මහින්දාගමනයත් සමඟ අපට සංස්කෘතියක් ලැබුණු බව ය.

මිහිඳු හිමියන්ගේ මැදිහත් වීමෙන් සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රැගෙන වැඩම කිරීමත් සමඟ අටළොස් කුලයක ශිල්පීන් මෙහි පැමිණිය හ. ඒ සමඟ අපේ රටේ කැටයම් ශිල්පය, මූර්ති ශිල්පය ඇතුළු නොයෙකුත් කලාංග වර්ධනය වූ බව ප්‍රසිද්ධ කාරණාවකි.

ඉන්දියාවෙන් මූල බීජය එසේ ලැබුණත්, පසු කාලීන ව අපට ආවේණික, සිංහල කලාවක්, සංස්කෘතියක් බුදු දහම කේන්ද්‍ර කරගෙන මේ රටේ ඇතිවුණි. අද අපට දකින්නට ඇති බොහෝ කලා කෘතීන් හි නෂ්ඨාවශේෂ එදා ඒ මූලයෙන් පැවත ආ අප විසින් දේශජ කරගත් දේ ය.

සමාධි බුදු පිළිම වහන්සේ, අවුකන බුදුම පිළිම වහන්සේ දෙස නෙත් යොමන්න. මහා රළු පරළු කළුගලක්, මටසිළිටි කොට බුදුගුණ කැටි වූ මේ සා සියුම් නිර්මාණයක් කරන්නට තරම් අපූරු ප්‍රාගුණ්‍යයක් හෙළයාට තිබුණි.

සඳකඩ පහණ ගත්ත ද, රුවන්මැලි මහා සෑරදුන් වැනි මහා ථූපයක් ගත්ත ද, වාපී සංස්කෘතිය ගත්ත ද එහි තිබෙන්නේ සිංහල කලා ශිල්පීන්ගේ දක්ෂතාවය යි. අභිමානය යි. ඒ වගේ ම සරල ජීවිතය, චාම් බව විදහා දක්වන, බුදු දහමත් සමඟ පදනම් වූ කලා නිර්මාණයන් ය, ඒ අභිමානය තුළ අර්ථවත් වන්නේ. එය වඩාත් පැහැදිලි වන්නේ බටහිර කලා නිර්මාණ සමඟ සංසන්දනය කිරීමේ දී ය.

බටහිර බොහෝ කලා නිර්මාණ රාගය ඇවිස්සෙන, සිත චංචල කරන ස්වරූපයක් ගනී. එහෙත් දේශීය කලා නිර්මාණ සිත නිවන්නේ ය. ජීවිතය හා ගැඹුරු දහමක් කියා පාන්නේ ය. ඉසුරුමුණියේ ප්‍රසිද්ධ පෙම් යුවළ දෙස තෙත් යොමු කළ ද කාමය අවුස්සන, සිත නොසන්සුන් කරන ස්වරූපයක් එහි නැත. ඒ අපේ කලාවේ අභිමානය යි. අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ අපට උරුම වූ දේශජ සංස්කෘතියයි.

දුකේ දී පිහිට වන, වැඩිහිටියන්ට ගරු කරන සංස්කෘතියක් ලොව ඉතා අඩු ය. කොරෝනා උවදුර හමුවේ සිංහල ආචාර ක්‍රමය ලොව ම පිළිගනී. එය චාම් ය. ඕනෑම අවස්ථාවක, ඕනෑම කෙනෙකුට පරිහරණය කළ හැකි ය. ළෙන්ගතුකම, සුහදතාවය ඇති කරන්නේ ය. එය සරල, එහෙත් ගැඹුරු අර්ථයක් ඇති ව සිංහල සංස්කෘතිය තුළ පවත්වාගෙන ආ දෙයකි. මේ සෑම දෙයක් ම බුදු දහම ඇසුරේ ගොඩනැඟුණු දේ ය.

අතීතයේ සම්පතක් ලෙස රැක ගනිමින්, පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආව ද අද අපේ සමහර පිරිස් මේ වටිනාකම් නොවටිනාකම් ලෙස ප්‍රතික්ෂේප කරනු පෙනේ. එය කනගාටුදායක ය. එදා අපේ ආහාරවේල අපි විසින් ම සකසා ගනු ලැබූවෙමු. කෙනෙකුට අත නොපා ජීවත් වීමට උත්සාහ ගත්තෙමු. මේ සියල්ල ම දහමත් සමඟ බැඳුණු, ලෞකිකත්වය තුළින් ම ලෝකෝත්තර ස්වරූපයට යන්නට පුළුවන් පියගැට පෙළක් ලෙසයි සිදු කර තිබෙන්නේ. හැම සංස්කෘතිකාංගයක ම බුදු දහමේ හඳුන්වන ප්‍රඥාව ස්පර්ශ වූ ස්වභාවයක් පෙනෙන්න තිබුණි.

චාම් ජීවිතය අගය කළ, අවිහිංසාව පැතිරූ පංචශීල ප්‍රතිපත්තිය අභිමානයක් ලෙස රැකගෙන තමන්ගේ ආධ්‍යාත්මයත් දියුණු කරගෙන පැමිණි ගමනකි අපට තිබුණේ. එය අද යම් ප්‍රමාණයකට ගිලිහී යන බවක් පෙනේ. එදා හෙළයා ප්‍රාණඝාතය, හොරකම, සමාජ විරෝධී හැසිරීම, බොරුකීම, සුරාව පිළිකුල් කළහ. එහෙත් අද අපේ ඒ අභිමානය ගිලිහී යමින් තිබේ. ඒ නිසා පොසොන් පෝය දවසක අපට ලැබුණු උරුමය, වර්තමානයට ගැළපෙන සේ ආපසු සකස් කරගන්නේ නම් ඒ අභිමානය නැවත වර්ධනය කරගත හැකි ය. එය පොසොන් සිතිවිල්ලක් බවට පත්කර ගනිමු.