Print this Article


මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව අරුත් දැන සජ්ඣායනය කරමු

මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව අරුත් දැන සජ්ඣායනය කරමු

මෙතැන්හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත්ද, අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිත් ඇත්තෝ වෙත්වා තව ද මාගේ වචනය මැනවින් අසත්වා.

භූතයිනි, එබැවින් නුඹලා සියල්ලෝ ම මේ වචනය අසන්න. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරන්න. යම් කෙනෙක් දිවා රෑ පුද පඬුරු පූජා කෙරෙත් ද එබැවින් නොපමාවම ඔවුන් ව ආරක්ෂා කරන්න.

මෙම මනුෂ්‍ය ලෝකය හෝ නාග ලෝකය ආදී වෙනත් ලෝකයක හෝ යම්කිසි ධනයක් වේ ද, ස්වර්ගයෙහි හෝ යම්කිසි උතුම් රත්නයක් වේ ද ඒ කිසිවක් තථාගතයන් වහන්සේ හා සමාන නොවේ. බුදුරදුන් කෙරෙහි මෙම රත්න භාවය උතුම්ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

එකඟ වූ සිත් ඇති තථාගතයන් වහන්සේ කෙලෙසුන් දුරු කරන හෙයින් ක්ෂය නම් වූ රාගයෙන් වෙන්වීමට නිමිති වූ, විරාග නම් වූ මරණයක් නැති හෙයින් අමත නම් වූ යම් නිවනක් අවබෝධ කළේ ද ඒ ධර්මය හා සම වූ කිසිවක් නොමැත. ධර්මයෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ පිරිසුදු වූ යම් ආර්ය මාර්ගයක් වර්ණනා කළ සේක් ද යම් මාර්ගයක් පිරිසුදු වූ හෙයින් එකී ආනන්තරික සමාධිය බුද්ධාදී ආර්යයන් වහන්සේලා දේශනා කරත් ද එම සමාධිය හා සම වූ සමාධියක් නොමැත. ධර්මයෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද ප්‍රශස්ත වූ එකසිය අටක් ආර්ය පුද්ගලයෝ වෙත් ද මේ සැමදෙනම සතර යුග කෙනෙක් වෙති. සුගත නම් වූ බුදුරදුන් ගේ ශ්‍රාවක වූ එම ආර්යයන් වහන්සේලා සැදැහැවතුන් විසින් දෙන ලද දක්ෂිණාවට සුදුස්සෝ වෙති. මෙම බුද්ධශ්‍රාවකයන් කෙරෙහි දෙන ලද දානය මහත්ඵල ඇත්තේ වෙයි. සංඝරත්නය කෙරෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

මෙම ගෞතම නම් වූ තථාගත ශාසනයෙහි යම් කෙනෙක් ස්ථිර වූ සිතින් මනාකොට පිළිවෙත් සපුරා සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණාහු ද ඔවුහු නිවන් සුව විඳින්නාහු රහත් ඵලයට පැමිණියාහු නම් වෙති. සංඝ රත්නය කෙරෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යම් සේ පොළොවෙහි යටට බැසගත් ඉන්ද්‍රඛීලය සිව් දිගින් හමන සුළඟින් සෙලවිය හැකි නොවේ ද? යම් පුද්ගලයෙක් චතුරාර්ය සත්‍යය නුවණින් අවබෝධ කළේද ඒ ආර්ය පුද්ගලයා ඒ ඉන්ද්‍රඛීලය බඳු යැයි, කියමි. සංඝරත්නය කෙරෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යම් සෝවාන් උතුමෙක් ගැඹුරු නුවණින් යුත් බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද චතුරාර්ය සත්‍යයන් තමා ම අවබෝධ කෙරෙත් ද ඔවුහු බෙහෙවින් ප්‍රමාදව කටයුතු කළත් කිසිසේත් අට වන උත්පත්තියක් නොගනිති. සංඝරත්නය කෙරෙහි මේ රත්නභාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

මෙම සෝවාන් පුද්ගලයා ගේ සෝවාන් මග හා ඵලය පහළවීම සමඟ සක්කාය දෘෂ්ටිය ද සැකය ද යම්කිසි සීල ව්‍රත ආදියත් හෝ පවතී ද මෙම සංයෝජන ධර්ම තුන දුරු කරන ලද්දේ වෙයි. හෙතෙම සතර අපායෙන් ද මිදුණේ වෙයි. සය වැදෑරුම් බරපතළ පාපයන්හි කිසිසේත් නොයෙදෙයි. මෙය ද සංඝ රත්නය කෙරෙහි උතුම් රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

ඒ සෝවාන් පුද්ගල තෙමේ කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ ප්‍රඥප්ති මාත්‍ර වූ කිසියම් වරදක් කරන්නේ නමුදු හෙතෙම එය සැඟවීමක් නො කරන්නේය. එය කිසිකලෙකත් සිදු නොවන දෙයකි. දක්නා ලද නිවන් පදය ඇති සෝවාන් පුද්ගලයා අතින් වරද සැඟවීම කිසි කලෙකත් සිදු නොවන බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මෙය ද සංඝ රත්නය කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

වන ලැහැබ තුළ ග්‍රීෂ්ම සෘතුවෙහි පළමු ග්‍රීෂ්ම මාසයෙහි හෙවත් බක් මාසයෙහි සුපිපි ඵල ඇත්තේ වෙයි. එසේම නිවන් පුරට පමුණුවන උතුම් වූ ධර්මය ලෝ සතුන් ගේ හිත පිණිස බුදුරදුන් දෙසූ සේක. මෙය බුදුරදුන් කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

උතුම් වූ නිවන දන්නා වු උතුම් නිවන් සුවය දෙන්නා වූ උතුම් නිවන් මඟ ගෙනහැර පාන්නා වූ අනුත්තර වූ බුදුරජාණන් වහන්සේ උතුම් දහමක් දෙසූ සේක. මෙය ද බුදුරදුන් කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යම් රහතන් වහන්සේ නමක ගේ පුරාතන කර්ම ප්‍රහීණ වූයේ ද අලුත් භවයක් නැත්තේ ද මතු භාවයක් කෙරෙහි නොඇලුණු සිත් ඇති ප්‍රහීණ වූ ප්‍රතිසන්ධි විඥාන බීජ ඇති පුනරුත්පත්තියෙහි ආශාවක් නැති ධෛර්ය සම්පන්න වූ ඒ රහතන් වහන්සේලා මේ පහන නිවෙන්නාක් මෙන් පිරිනිවෙත්. මෙය ද සංඝරත්නය කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

මෙතැන් හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අපි හැම දෙනාම තථාගත නම් වූ දෙවි මිනිසුන් විසින් පුදන ලද බුදුරදුන් නමදිමු. සත්හට සෙත් වේවා.

මෙතැන් හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අපි හැම දෙනා ම දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ ධර්මය නමදිමු. සත්හට සෙත් වේවා.

මෙතැන් හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අපි හැම දෙනාම දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ සංඝරත්නය නමදිමු. සත්හට සෙත් වේවා.