Print this Article


උපද්‍රව ඇති වූ කල්හි එකම පිහිට ගුණධර්ම රැකීමයි

උපද්‍රව ඇති වූ කල්හි එකම පිහිට ගුණධර්ම රැකීමයි

" දුර්භික්ෂ, රෝග ඇතුළු තුන්බියෙන් ඇලළී අමු සොහොන් බවට පත් විශාලා මහනුවර සියලු බිය සන්සිඳුවමින් තෙරුවනේ ගුණානුභාවය කල්පයක් කල් දස දහසක් සක්වළ පැතිර පවත්නා පරිදි පිහිට වූ බුද්ධ ආඥාව නම් රතන සූත්‍රයයි."

සම්බුද්්ධානුභාවයෙන් එකී උපද්‍රව බැහැර වූ බව ඉතිහාසගත තොරතුරු අනුව පැහැදිලිව පෙනෙන්නට තිබේ. අදටත් අපට රැකවරණය ඒ උතුම් බුද්ධානුභායයි, ධර්මානුභාවයයි, සංඝානුභාවයයි.

දුර්භික්ෂ, රෝග ඇතුළු තුන්බියෙන් ඇලළී අමු සොහොන් බවට පත් විශාලා මහනුවර සියලු බිය සන්සිඳුවමින් තෙරුවනේ ගුණානුභාවය කල්පයක් කල් දස දහසක් සක්වළ පැතිර පවත්නා පරිදි පිහිට වූ බුද්ධ ආඥාව නම් රතන සූත්‍රයයි. සර්පරාජ කුලයන්ට මෙත් පතුරුවමින් ඔවුනගෙන් වන ගැහැට දුරැලීම පිණිස දස දහසක් සක්වළ කල්පයක් බලය පවත්වන පරිදි වදාහළ බුද්ධ භාෂිතය ඛන්ධ පිරිතයි. මහා කරුණා සිතින් ලොවට යහපත දන් දෙමින් දස දහසක් සක්වළ කල්පයක් බල පවත්නා ලෙසින් අංගුලිමාල රහත් මුනිඳුන් කළා වූ සත්‍ය ක්‍රියාව ‘අංගුලිමාල පිරිත’ය’. මේ වන් වූ බුද්ධ භාෂිතය ජීවිතයට උපයෝගී කරගත හැකි ආකාරය බුදුදහමින් වෙන කවරදාටත් වඩා වර්තමානයේ පෙන්වා දී ඇත.

මෑත ලෝකයේ වරින් වර මෙවැනි වසංගත පැතිරී තිබෙනු දැකගත හැකිය. කොළරාව, වසූරිය, පාචනය, මැලේරියාව, සාර්ස්, මර්ස්, එබෝලා ආදී වසංගත රෝග ලෝකයේ කලින් කල විශාල වන සේ ජීවිත හානි සිදුකරන ලදී. එනමුත් මේ හැම රෝගයකටම වඩා කොරෝනා වයිරසය වඩා ශීඝ්‍ර සහ ඉහළ පැතිරීයාමේ ආකාරයක් දැකිය හැකි ය. බුද්ධ කාලයේ ද වරින්වර මිනිස් ජීවිත විනාශ කරමින් පැතිර ගිය වසංගත තත්ත්වයන් තිබුණි. ඒවා අතර,

නාගයන් විසින් පිට කරන ලද විෂ දුම් ආඝ්‍රාණයෙන්, දඹදිව ජනයා අතර පැතිර ගිය ‘අහිවාතක’ නම් රෝගයක් ගැන ද අටුවා ග්‍රන්ථයෙහි දැක්වේ.

මේ මහා භද්‍ර කල්පයේ පළමුව ලොව පහළ වූ කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ ‘පජ්ජරක’ නම් උණ රෝගයක් පැතිරුණ බව මහාවංශයේ සඳහන් වේ. කෝණාගම බුදුරාජණන් වහන්සේගේ කාලයේ දරුණු දුර්භික්ෂයක් පැවති බව සඳහන් වේ. සිරි සඟබෝ රජ දවස ‘රක්තාක්ෂි’ නම් රකුසෙකු නිසා පැතිර ගිය උණ රෝගයක් ගැන ද මහාවංශයේ සඳහන් වේ.

එසේම මෙවැනි වසංගත අතර ‘අහිවාතක’ හා ‘ශේථට්ඨිකා’ වැනි වසංගත රෝගයක් ඇති වූ බව මහාවංශයේ දැක්වේ. මෙම සෑම උපද්‍රවයක් බැහැර කිරීමට බුදුදහමින් හැකියාව ලැබුණු බව අටුවාවේ සඳහන් කරයි.

ධනයත්, බලයත් පසුපස හඹාගිය ලෝක සත්වයා, සිහින ලෝකයන්හි මංමුලා ව අතරමං වුණ ලෝක සත්වයා, අහස් මාලිගයෙන් මොහොතක් බිමට ඇද දැමූ ‘කොරෝනා’ ලෝකයක් දණ ගැස්සූ නමකි.

කුඩා දරුවාගේ පටන් මහල්ලා ද, දිළින්දාගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන් ද අන්ත අසරණ කරමින් ලක්ෂ ගණනකට මරු කැඳවමින්, ලක්ෂ ගණනක් ජනයා රෝගීන් බවට පත් කරමින්, ලෝකය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ‘කොරෝනා’ වසංගතය, මේ වන විටත් මේ ශතවර්ෂයේ දරුණුම ඛේදවාචකය බවට පත්ව ඇත.

සත්වයා කර්මය ස්වකීය කරගෙන පුණ්‍ය හෝ පාප විපාක දායාද කරගෙන සසර සැරිසරයි. තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වුණ අවධියේ විවිධාකාරයේ ශාස්තෘවරු විසින් ආගම්වාද හැට දෙකක් ලෝකයට ඉදිරිපත් කර තිබුණි. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්ව දෙවියෙකුට, මාරයෙකුට, ශ්‍රමණ බ්‍රහ්මණයෙකුට බිඳීන්න බැරි, බොරු කරන්න බැරි ලොව්තුරා බුදු කෙනෙකුට පමණක් සර්වප්‍රකාරයෙන් ස්වයං භූ ඥානයෙන් අවබෝධ වෙන හේතුඵල වාදය ලෝක සත්ත්වයාට ඉදිරිපත් කළහ.

මේ ලෝකයේ සදාතනික සත්‍යය, විශ්වීය ධර්මතාවයට හේතුඵල දහමට අනුකූල නොවන කිසිවක් මේ ලෝකයේ නොමැත. ලෝකයේ යමක් ඇත් ද ඒ සියල්ල හේතුන්ගේ ඵලයකි. ‘කර්මය ස්වකීයයි’ යන ශ්‍රේෂ්ඨ බුද්ධ වචනය අනුව මේ වන විට ලෝකයට උද්ගත වී තිබෙන තත්ත්වය පැහැදිලි කළ හැකි හොඳම උදාහරණය මෙය වේ. මින් ඉදිරියට මොන ආකාරයේ ගැටලුවක් මතු වූවත් බිය, ශෝකය දුරු කරගෙන, නිවැරැදිව ගැටලුවලට විසඳුම් ලබාගන්න පුළුවන් වගේම, සියලු දුක්ඛයන්ගෙන් අත්මිදෙන මාර්ගය ද අවබෝධ කර ගැනීමේ හැකියාව මේ තුළින් ලැබෙනු ඇත.

සමස්තයක් ලෙස මේ වයිරසය නිසා බොහෝ කොට පීඩාවට පත් වුණ මිනිසුන් හා ලෝකය දෙස බැලීමේ දී පෙනී යන එක් පොදු කාරණාවක් තිබේ. වයිරසයෙන් පීඩාවට පත් වන්නට පෙර ඔවුන්ගේ ජීවන ක්‍රියාකාරකම් බොහෝ දුරට අසාමාන්‍ය වේ. අධික ලෙස පංච කාමයට නැඹුරු වී කටයුතු කළ පිරිස් වගේම, බහුතරයකගේ දිවි පැවැත්ම ‘දස වස්තුක මිථ්‍යාදෘෂ්ටියට’ අනුව ගත වුණ බව පෙනී යන කරුණකි.

අධික ලෙස පංචකාමය පසුපස හඹා යන ඔවුන්ගෙන් විශ්වයට මුදා හැරුණු කළු කිරණ ශක්තිය නම් සුළුපටු නොවේ. ධනයෙන් බලයෙන් මත් වී සියල්ල මුදල් මත තීරණය වෙනවා යැයි සිතා කටයුතු කරන විට ගුණයෙන් හීන දීන වීම ද අරුමයක් නොවේ. මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අවබෝධ කර නොගන්නා නිසා, කල්ප කෝටි සත සහස්‍රයක් අපමණ දුකක් විඳ ලබාගත් මනුසත් බව කිසිදා තෘප්තිමත් විය නොහැකි කාම වස්තූන් ලබා ගැනීම උදෙසා දියකර හරින්නේ අනෙකුත් ලෝක සත්ත්වයන් ද තව තවත් අඳුරට ඇද දමමිනි.

තමන්ගේ මන දොළ සපුරා ගැනීම පිණිස සත්ත්වයා තුළ නිරන්තරයෙන් වෛරය ක්‍රෝධය පතුරවමින්, ධනයත්, බලයත් උපයෝගී කර ගනිමින්, අනෙකුත් ලෝක සත්ත්වයන් තුළ ද තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා මිසදිටු අදහස් පතුරුවා හැරීම තුළ ඔරොත්තු නොදෙන පරිසරයක් නිර්මාණය වී ඇත.

‘තණ්හාය ජායතී සෝකෝ - තණ්හාය ජායති භයං
තණ්හාය විප්පමුත්තස්ස - නත්ථි සෝකෝ කුතෝ භයං’

යන බුද්ධ දේශනාව මෙම තත්ත්ය තුළින් හොඳාකාරව ම විද්‍යමාන වේ.

‘ළිප ගිනි මොලවන තෙක් දිය සැළියේ - සැපයක් යැයි කකුළුව දිය කෙළියේ
එපවත් තොප සිතහොත් නොපැකිලියේ - සැපයක් නම් නැත කම් රස කෙළියේ ’

වර්තමානය වන විට වෙන කවර කාලයකටත් වඩා මිනිසා ඉතා අධිවේගී ගමනක යෙදෙන බව අප විසින් දුටු කරුණකි. අතීතයේ ජීවත් වුණ අපේ මුතුන් මිත්තෝ හරිම සරල ජීවන ගමනක් ගෙන ගියහ. මූලික අවශ්‍යතා සපුරා ගත් ඔවුහු සතුටින් හා නිදහසින් යුතුව දිවි පැවැත්ම ගත කළහ. ඔවුන්ගේ සරල දිවි පැවැත්මෙන් ලෝක සත්ත්වයන්ට හා විශ්වයට මහා යහපතක් මිස කිසිවිටෙක අයහපතක් වූයේ නැත. තමන් කන බත් පත පවා තමන්ගේ අතට පත් වනතුරු ඈත අතීතයේ සිට ඊට සහසම්බන්ධ වී උදවු උපකාර කළ ඇත්තන්ට කෘතඥ පූර්වකව සිහිපත් කරන්නට තරම් ඔවුන් මහා ගුණවතුන් වූහ. වර්තමාන සමාජයට එවන් ගුණධර්ම කෙරෙහි අවධානය යොමු කිරීමට කොරෝනා වයිරසය අපට පාඩමකි උගන්වා ඇත.

ධර්මය රකික්නා ධර්මය විසින්ම රැක ගනී.

ඒ කොරෝනා වයිරසය අපහට කියාදුන් පණිවිඩයකි. ඉතිහාසය කෙසේ වෙතත් වර්තමානයේ බොහෝ මිනිසුන් පස්කම් සැපත මේ ලෝකයේ උපරිම සැපත යැයි සිතමින් කටයුතු කළත් අවසානයේ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව අවබෝධ වන්නේ ඉතාම සුළු පිරිසකට ය.