Print this Article


මිල මුදල් පාරට විසි කරන යුගයක වංචනික වෙළෙඳාම් එපා

මිල මුදල් පාරට විසි කරන යුගයක වංචනික වෙළෙඳාම් එපා

අද සිටින මනුස්සයා හෙට නිරෝධායනයේ. එහෙමත් නැතිනම් මරණයට පත් වෙලා. ලංකාව කෙතරම් අගනේ ද බලන්න, රජය, යුධ හමුදාව, රාජ්‍ය පාලනයට අයත් සියලු දෙනා ඇප කැපවී කටයුතු කරන නිසා මරණ සහ රෝගීන් සංඛ්‍යාව සීමාසහිත වුණා.

අද කොරෝනා වයිරසය එක රටකින් පටන් ගෙන සමස්ත ලෝකයට ම විසිරී ගිහින්. දස දහස් ගණන් මරණයට පත් වෙනවා. ලක්ෂය ඉක්මවා මරණයට පත් වෙනවා.

කෙතරම් භයානක ද? මෙයට කිසිම ඖෂධයක් සොයාගෙන නැහැ. දිනපතා ම කෙතරම් පිරිසක් ව්‍යසනයට ලක්වෙනවා ද? මරණයට පත් වෙනවා ද? මේ ගැන කවුරුත් කල්පනාවෙන් මරණයට බිය විය යුතු යි.

මොකද? අපේ මරණය හෙට වෙන්න පුළුවන්. ‘මට නැහැ’ යනුවෙන් කිසි කෙනෙක් සිතන්න එපා. ඒ නිසා මරණයට සුදානම් වෙලා සැවොම පන්සිල් රකින්න.

සත්ත්ව ඝාතනය, සොරකම, කාමමිථ්‍යාචාරය, බොරුව, මත්ද්‍රව්‍ය භාවිතය ආදී වැරැදි පහෙන් වළකින්න. මව්පියන්ට, ස්වාමියාට, ස්වාමි දියණියට, සලකන්න. දානමාන පින්කම් කර න්න, උදේ සවස බුදුන් වඳීන්න. මේ ටිකම මරණින් මතු සුගතිගාමී වෙන්න ප්‍රමාණවත්.

මේ දවස්වල ඇතැම් වෙළෙඳුන් වස විස ආහාර ද්‍රව්‍ය විකුණනවා. ඇතැම් පාරිභෝගික භාණ්ඩ මිල වැඩි කර විකුණනවා. හොරට කිරුම් මිනුම් කරනවා. මේවා අති භයානක පව්. ඒ නිසා කවුරුත් දැහැමිව ජීවනෝපාය ගෙන යා යුතු යි. වැඩිය හම්බකරන පුද්ගලයාට මරණින් නිදහස් වෙන්න පුළුවන් ද? බැහැ. අද ලෝකයේ මහා ධනවතුන් මරණයට පත් වුණා. ඒ අය හම්බ කළ දේ දාලා ගියා. සමහර රටවල මිනිසුන් ‘මිල මුදල් වැඩක් නැහැ’ යනුවෙන් පාරට වීසි කළා. එවැනි වකවානුවක් තිබියදී වැඩි මුදලට බඩු විකුණන්න එපා. සොරට කිරුම් මිනුම් කරන්නට එපා. වස විස වර්ග, මත් ද්‍රව්‍ය විකුණන්න එපා. ගව ඝාතනය සම්පූර්ණයෙන් ම නවත්වන්න. නිර්මාංශී ජීවිතයක් උදෙසා දැන්වත් අධිෂ්ඨාන තබා ගන්න. මරණය පෙනි, පෙනී මිනිස්සු මත් ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම, සත්ත්ව ඝාතනය සිදු කරනවා. වංචාව, කපටිකම සීමාවක් නැහැ. මේ වේලාවේ කවුරුත් සමඟියෙන් සමාදානයෙන් ජීවත් වෙන්න සිතට ගන්න. අනුන්ට යමක් දෙන්න. ගමේ දුගී දුප්පත් අසරණ ළමයින් සිටින පවුල් වලට යමක් දෙන්න පුරුදු වන්න. දීම අති විශාල පිනක්. තමන් විතරක් ආහාර ගැනීමටවත් , එය මහා පරිමාණයෙන් ගැනීමටවත් පුරුදු වෙන්න එපා.

මේ කාලවකවානුව බිහිසුණු, දුර්භික්ෂ කාලයක්. ඒ නිසා සාධාරණ ජීවිතයක් ගත කරන්න. එවිට සංසාරික ජීවිත සුගතියක ඉන්න පුළුවන්. යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. තමා වස විස වර්ග විකුණනවා නම්, අධික මිලට භාණ්ඩ විකුණනවා නම්, කවදා සුගතියක් දැක ගන්න ද? සෑම දාම දුර්ගතියේ දුක් විඳීන්න සිදු වෙනවා. කවම දවසකවත් සැපයක් දැකගන්න පුළුවන් කමක් නැහැ. නරකාදිය වෙන්වෙලා තිබෙන්නේ මෙවැනි පාපකාරී පුද්ගලයන් සඳහා යි.

ඒ නිසා ලොව්තුරා බුදුවරයන් වහන්සේලා ලෝකයාගෙන් ඉල්ලන්නේ කරුණු පහයි. එනම් පංචශීලය යි. එය හොඳීන් රැකගෙන සිල්වත්, ගුණවත් කෙනෙක් ලෙස කටයුතු කළොත් අගෙයි.

බුද්ධ ශාසනය යනු කුමක් ද යනුවෙන් ඕනම කෙනෙක් ඇසුවොත් නිර්භීතව ප්‍රකාශ කළ යුත්තේ පව් නො කිරීම, පින් දහම් කිරීම, සිත සකසා ගැනීම යනු යි. එයට වචන තුනක් බුදු දහමේ පෙන්වා දෙනු ලබනවා. පව් නොකිරීම ශීලය යි. පින් දහම් කිරීම සමාධිය යි. සිත හදා ගැනීම ප්‍රඥාව යි. එසේනම්, බුදු දහම , බුද්ධ ශාසනය යනු සීල, සමාධි, ප්‍රඥාව යනුවෙන් පිළිතුරු සැපයිය හැකි යි. එතරම් අගනා ශාසනයක් ලැබුණ අපට දැහැමිව තමන්ගේ ජීවනෝපාය ගෙන ගියොත් හරිම වටිනවා. අද සිටින මනුස්සයා හෙට නිරෝධායනයේ. එහෙමත් නැතිනම් මරණයට පත් වෙලා.

ලංකාව කෙතරම් අගනේ ද බලන්න, රජය, යුධ හමුදාව, රාජ්‍ය පාලනයට අයත් සියලු දෙනා ඇප කැපවී කටයුතු කරන නිසා මරණ සහ රෝගීන් සංඛ්‍යාව සීමාසහිත වුණා. අන් රටවල් දෙස බලන්න, දවසකට දෙදහස් පන්සියයක් ඉක්මවා මිය යනවා. පැය විසිහතරකට එතරම් පිරිසක් මිය යන විට කෙතරම් බියකරු කරුණක් ද? යුද්ධයකදීවත් දවසට දෙදහස් පන්සියයක්,තුන්දාහක් මිය ගියේ නැහැ. අද මිය යනවා. ‘ජීවිතය අනියත යි, මරණය නියත යි.’ යනුවෙන් පැහැදිලි යි. සතර අපාය , ජාති, ආගම් භේද වලින් තොර යි. ඕනම ජාතියක ආගමක කෙනෙක් පව් කළොත් නරකාදියට යනවා ම යි. නවත්වන්න බැහැ. ඕනම ජාතියක ආගමක කෙනෙක් හොඳ දෙයක් කළොත්, හොඳ සිතින් මිය ගියොත් සුගතියකට යන්න පුළුවන්. සැපයන් දැකගන්න පුළුවන්. හැබැයි, ස්වල්ප දෙනාට යි. මේවා පිළිබඳ කවුරුත් හොඳට කල්පනා කර පිනට දහමට ගුණයට නැඹුරු ව තමාගේ සිත හදාගෙන මේ ගමන ඉදිරියට යන්න ඕනේ. ගේ දොර, දූ දරුවෝ, මිල මුදල් ගැනම කල්පනා කර සිටියදී මිය ගියොත් සුගතියක් දකී ද? දකින්න බැහැ. සුගතියක් දකින්න නම්, අත් හැරීම පුරුදු කරන්න ඕනේ. තණ්හාව අඩු කරගන්න ඕනේ. ගුණ ධර්ම දියුණු කළ යුතු යි. ලොවටම සෙත් පැතිය යුතු යි. හොඳ මනුෂ්‍යයකු වශයෙන් කටයුතු කළ යුතු යි. එවිට මොනම දෙයකින්වත් අඩු පාඩුවක් කරදරයක් නැතුව මේ සංසාර ගමන අපට හොඳීන් ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා.

අද මේ කාලවකවානුවමුළු මහත් ලෝකවාසී ජනතාව විඳීන දුක සීමාවක්නැහැ.එසේනම්, මෙවැනි රෝගී ජනතාවට සෙත් පැතිය යුතු යි. අනන්ත බුදු ගුණ බලයෙන්, පසේ බුදු, මහරහතන් වහන්සේලාගේ ආනුභාවයෙන්, මා රැස් කරගත් පින් බලයෙන් කොරෝනා රෝගීන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, යනුවෙන් නිබඳව ම සැවොම සෙත් පැතිය යුතු යි. එවිට රෝගීන්ට නොමැරී ,නිරෝගී භාවය ලබන්න පුළුවන්. කොරෝනා වෛරසයෙන් මරණයට පත් වුණ අයත් අප රැස්කරගත් පින් ලබාගෙන සැපයට පත් වේවා යනුවෙන් සිතනවා නම්, හරිම වටිනවා. ඒ අයට සරණක් පිහිටක්, නැහැ.ඇතැම් විට ආගමක් දහමක් නැහැ. ඒ නිසා තමයි වේදනාවෙන් කෑගසා, සරණක්, පිහිටක් නැතුව පරලොව යන්නේ.

ඔබ අප සියලු දෙනාටම නිවැරැදි දහමක් තියෙනවා. දන්දීම, බුදුන් වැඳීම, භාවනා කිරීම, බණ ඇසීම තියෙනවා. අප ළඟ යහපත් වැඩකටයුතු සම්භාරයක් තිබෙනවා. මේවා හොඳට දියුණුවෙන් හැකිතාක් පිළිවෙළකට දියුණු කරගෙන, සිල, සමාධි, ප්‍රඥා, ගුණ හොඳීන් වඩා ගත්තොත් අපට හොඳ තැනකට යන්න පුළුවන්.

රතන සූත්‍රය නිතරම සජ්ඣායනා කරන්න. තමන්ටත් සෙත් පතා සැමටම සෙත් පතන්න. ලංකාවේ සෑම තැනම පිරිත් දේශනා, බෝධි පූජා අනන්ත යි. ඒ නිසාදෝ අපේ රටට යම් තරමේ හෝ යහපතක් වෙලා තිබෙනවා. අනිත් රටවල කෙතරම් මිනිස්සු පීඩනයට පත් වෙලා ද? රෝගීන් පෙනෙනවා, මරණයට පත්වෙනවා, අඬනවා, වැළපෙනවා, අලාභ හානි විපත්, කෑම බීම නැහැ. එතරම් මහා අසරණ තත්ත්වයට පත් වෙලා. මේවා ගැන කවුරුත් සිතා කල්පනාවෙන් පව අඩු කරගන්නම මහන්සි ගත යුතු යි.

අනාථ පිණ්ඩික සිටුතුමා බුදු දහම වැළඳගෙන දවස පටන් අවසන් හුස්ම දක්වා ම පස් පව් කළේ නැහැ. දන් දුන්නා, දන්සල් පැවැත්වූවා. කවදාකවත් වැඩි මිලට බඩු විකුණුවේ නැහැ. සත්ත්ව ඝාතන කළේ නැහැ. වෙහෙර විහාර හැදුවා. බණ ඇසුවා. බුදුන් වැන්ඳා. දාන මාන පින්කම් කළ එතුමා දෙව්ලොව මහා දිව්‍ය රාජයෙක් ලෙස වාසය කරනවා. එලෙසම අපත් ජීවත්වන ටික කාලයේ බොහොම හොඳීන් කටයුතු කර, හොඳ සිතින් අවසන් ගමන් ගියොත්, සුගතිගාමී වෙන්න පුළුවන්. ඒවා ගැන සිහිකල්පනාවෙන් බුදු දහමේ තිබෙන වැදගත්කම, මනුස්ස ජීවිතයේ තිබෙන වැදගත්කම නිතර සිතන්න ඕනේ.