Print this Article


යහපත් දිවියට මඟ පෙන්වන සම්මා ආජීවය

යහපත් දිවියට මඟ පෙන්වන සම්මා ආජීවය

"ඇතැම් පිරිස් ”මේ යුගයේ එකම සිල්පදයක්වත් නො කැඞී කිසිම රැකියාවක් කරන්න බෑ” යන මැසිවිල්ල ඉදිරිපත් කරති. එහි වගකීම තමා සතු ය. වෛද්‍ය වෘත්තිය උසස් මෙන් ම ධාර්මික රැකියාවක් වුවත් පෞද්ගලිකව ලෙඩුන් පීඩාවට පත් කරමින් ඔවුන් සූරා කමින් වැරැුදි ජීවන මාර්ගයක් ගත කරන්නේ නම් එය ධාර්මික නො වෙයි."

”සම්මා” යනු නිවැරැදි, යහපත්, හොඳ වැනි අර්ථ දෙන පදයකි. ”ආජීව” යනු රැකියාව, ජීවන වෘත්තිය ප‍‍්‍රකාශ කරන පදයකි. ”සම්මා ආජීව” යනු නිවැරැදි රැකියාව හෙවත් නිවැරැදි ජීවන වෘත්තියයි. මෙහි විරුද්ධ වචනය ”මිච්ඡා ආජීවය” යි. සම්මා ආජීවයට විරුද්ධ වූ ”මිච්ඡාජීවය” අධ්‍යයනය කිරීමෙන් සම්මා ආජීවය පැහැදිලි වෙයි. බුදුරජාණන් වහන්සේ මග්ගවිභංග සූත‍‍්‍රයේ දී සම්මා ආජීවය විස්තර කර ඇත.

”මහණෙනි සම්මා ආජීවය කවරේද? මේ ශාසනයෙහි ආර්ය ශ‍‍්‍රාවක තෙමේ මිථ්‍යා ආජීවය හැර සම්මා ආජීවයෙන් ජීවිකාව කෙරේද? මහණෙනි එය සම්මා ආජීවයයි.” යනුවෙන් පැහැදිලි කර දෙති.

මෙහි සම්මා ආජීවය යනු කුමක් දැයි පළමුව පැහැදිලි කර ගත යුතු ය. සිව්සත් දහම්වල සිවුවැනි සත්‍ය දුක්‍ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යයි. එයින් නිවනට පිවිසීමට අනුගමනය කළ යුතු කරුණු අටක් ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් පෙන්වා දෙයි.

මෙහි සම්මා ආජීවය ඇතුළත් වන්නේ සීලයට ය. සීලය යනු කය සහ වචනය සංවර කර ගැනීමයි. හික්මවා ගැනීමයි. කය සහ වචනය සංවර කරගත යුතු වන්නේ ජීවන වෘත්තිය පවත්වා ගැනීමේ දී ය. ජීවන වෘත්තියක නිරත නො වෙමින් ද කය සහ සිත සංවර කර ගත යුතු පිරිසක් සිටියි. එම පිරිස පබ්බජ්ජා හෙවත් පැවිදි කොටසට අයත් ය. ධනය උපයමින් සීලය සුරකින පිරිස ගිහි පාර්ශ්වයට අයත් ය.

මේ අනුව සම්මා ආජීවය ගිහි සම්මා ආජීවය සහ පැවිදි සම්මා ආජීවය යනුවෙන් ප‍‍්‍රභේද දෙකකින් යුක්ත වෙයි. දෙපිරිස ම ගමන් කරන්නේ නිවන ලබා ගැනීමේ මාර්ගයේ ය. එහෙත් ගිහි පිරිස අඹුදරුවන්, ඥාතීන්, වස්තු සම්පත් සහ කාමභෝගී ජීවිත ගත කරමින් ඉතා අඩු වේගයකින් ගමන් කරයි. ඒ සියල්ල අත්හැර පැවිදි දිවියට පත් පිරිස ඉතා වේගයෙන් නිවන් මාර්ගයේ ගමන් කරයි. එබැවින් මෙලෙස බෙදීමකට ලක් කර ඇත. සම්මා ආජීවයේ ප‍‍්‍රභේද දෙකක් පැවැතියත් මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ ගිහියා නිවන් මාර්ගයට ගමන් කිරීමේ දී අනුගමනය කළ යුතු සම්මා ආජීවය ගැන පමණි.

ගිහියාගේ ජීවිතය සුඛෝපභෝගී ව ගත කිරීමට ධනය ඉපයිය යුතු ය. එය ජීවන මාර්ගය හෙවත් ජීවන වෘත්තිය එනම් රැකියාව නමින් හඳුන්වයි. ධාර්මික සහ අධාර්මික යනුවෙන් රැකියාවේ ප‍‍්‍රභේද දෙකක් වෙයි. බෞද්ධ දේශනාව අනුව කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, රාජ්‍ය සේවය, වෙළදාම ධාර්මික රැකියා ගණයට ඇතුළත් වෙයි. මෙම නිර්ණායකවලට අයත් නොවන රැකියා දහස් ගණනක් නූතන ලෝකයේ ඇත. ඒවා ධාර්මික රැකියා ගණයට අයත් වන්නේ දැයි විග‍‍්‍රහ කර ගත යුත්තේ ලෝභ, ද්වේශ, මෝහ සිතිවිලිවලින් තොරවීම සහ තමාටත් අන් අයටත් යහපතක් වන කටයුතු සිදුවන ආකාරය අනුව ය.

ජීවත්වීමට කරන රැකියාවෙන් තමාටත් අන් අයටත්, සමාජයටත්, ලෝකයටත්, පරිසරයටත් අයහපතක් දුකක් වන්නේ නම් එම රැකියාවෙන් වෙන් විය යුතු බව දක්වයි. මෙයින් ඉතා ම උසස් රැකියාව ලෙස බෞද්ධ ඉගැන්වීම් පෙන්වා දෙන්නේ කෘෂිකර්මාන්තයයි. ඒ බව කසීභාරද්වාජ බමුණාට ”ශ‍‍්‍රද්ධාව මගේ බිජුවටයි. තපස වැස්සයි. ප‍‍්‍රඥාව මගේ නගුල සහ වියගසයි. ලජ්ජාව නගුලිසයි. සිත බාන් වැලයි. සිහිය හී වැල සහ කෙවිටයි...” යනුවෙන් තමන් වහන්සේගේ ශාසනය ගොවිතැනට උපමා කර දැක්වීමෙන් ම තහවුරු වෙයි. තමන්ට සහ අන්අයට හානියක් දුකක් අගතියක් සිදු නොවන අයුරින් ජීවන මාර්ගය සලසා ගත යුතු බව මෙයින් පෙන්වා දෙයි. සම්මා ආජීවය සුරකින පුද්ගලයා සීලයෙහි අනිවාර්ය අංගවන කරුණාව සහ මෛත‍‍්‍රි‍‍්‍රය පුහුණු කළ යුතු ය. සීලයට මුල් තැන දෙමින් ධනෝපායනයට පෙළඹවීම බුදු දහමේ සම්මා ආජීවය ලෙස ගිහියන් උදෙසා දේශනා කර ඇත.

සම්මා ආජීවය හෙවත් යහපත් ධනෝපායන කළ යුතු ආකාරය පෙන්වා දෙන විට ඇතැම් පිරිස් ”මේ යුගයේ එකම සිල්පදයක්වත් නො කැඞී කිසිම රැකියාවක් කරන්න බෑ” යන මැසිවිල්ල ඉදිරිපත් කරති. එහි වගකීම තමා සතු ය. වෛද්‍ය වෘත්තිය උසස් මෙන් ම ධාර්මික රැකියාවක් වුවත් පෞද්ගලිකව ලෙඩුන් පීඩාවට පත් කරමින් ඔවුන් සූරා කමින් වැරැදි ජීවන මාර්ගයක් ගත කරන්නේ නම් එය ධාර්මික නො වෙයි. වෙළඳාම සාධාරණ වෘත්තියක් වුවත් කිරුම්, මිනුම් ආදියෙන් සහ අගය අඩු භාණ්ඩ අගය වැඩි භාණ්ඩ ලෙස විකිණීම් ආදිය කිරීමෙන් ධනය උපයයි නම් එය ද අධාර්මික ජීවන මාර්ගයකි. සෑම රැකියාවක ම ධාර්මික සහ අධාර්මික බව තීරණය වන්නේ යහපත් සහ අයහපත් සිතිවිලි අනුව ය. වෙළදාම ධාර්මික රැකියාවක් වුවත් ආයුධ වෙළඳාම, මාංශ වෙළඳාම, මත් ද්‍රව්‍ය වෙළඳාම, විෂ වෙළඳාම සහ වහල් හෝ සත්ත්ව වෙළඳාම යන පංච වෙළදාම බුදු දහම අනුමත නො කරයි.

එහෙත් නූතනයේ බලපත‍‍්‍රයක් ලබාගෙන මේ කටයුතුවල නිරත වෙයි. එයින් ධනය ඉපයීමේ කාර්ය සිදු කළත්, මෙලොව සහ පරලොව ආධ්‍යාත්මික සුවය අතින් පරාජය වීමකි. අවසර සහිතව කළ මුත් එය සම්මා ආජීවයට ඇතුළත් නො වන්නෙකි. ධාර්මික හෙවත් සම්මා ආජීවය සහිත රැකියාවක් කරන පුද්ගලයාට සන්තුෂ්ටීන් පහක් හිමි වෙයි. එනම් : 1. අත්ථි සුඛය (යහපත් ආදායම් මාර්ගයක් තමන්ට ඇතැයි සතුටුවීම*, 2. භෝග සුඛය (උපයා ගත් ධනය තමාගේ, අඹුදරුවන්ගේ, දෙමාපියන්ගේ ඥාතීන්ගේ, සහ අසල්වැසියන්ගේ මෙන් ම සමාජයේ වෙනත් අවශ්‍යතා සඳහා නිවැරැදිව භාවිත කිරීමේ සතුට*, 3. අණණ සුඛය (තමන් කිසිවකුටත් ණය නැතැයි ඇතිවන අභිමානය සහිත සතුට.*, 4. අනවජ්ජ සුඛය (තම ජීවන මාර්ගය ගැන කිසිවකුගෙන්වත් අපවාදයක් නො අසා කයින්, වචනයෙන් සහ මනසින් වරදක් නො කරමින් ජීවත්වීමේ සතුට* යනුවෙනි.

අධාර්මික සිතුවිලි පෙර දැරිව ධාර්මික යැයි සම්මත රැකියාවක නිරත වුවත් මෙම සන්තුෂ්ටීන් පහ ලබා ගත නො හැකි වෙයි. මෙයින් පෙන්වා දෙන්නේ යහපත් ජීවන මාර්ගය අවශ්‍ය වන්නේ ලෝකයට පෙන්වීමට නො වන බවයි. අධාර්මික ව ධනය උපයන්නේ අධිසුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට ය. මෙයට පුහුණු කර ගත යුතු නිවැරැදි ම දෙය වන්නේ අල්ප ආශාවලින් ජීවත්වීම සහ සරල දිවි පැවැත්මයි. යහපත් ජීවන මාර්ගය යනු ලෝභය, ද්වේශය, මෝහය තුරන් කිරීම අරමුණු කරගත් ශීලය සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙළක් බව මෙයින් පෙනෙයි.

ගිහියා විසින් සම්මා ආජීවය පවත්වා ගැනීමට සතුන් මැරීම, සොරකම් කිරීම, දුසිරිත් ජීවිතයක් ගත කිරීම, බොරු කීම, කේලාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම නො කළ යුතු ය. සරලව පැවසුවහොත් පංචසීලය නිරතුරුව ම රැකිය යුතු ය. වෙළදාම් කිරීමේ දී වංචා කිරීම් නො කිරීම සේ ම වෙළඳ ද්‍රව්‍යවලට නුසුදුසු දේ කලවම් කිරීම් නො කළ යුතු ය. රාජ්‍ය සේවයේ දී හෝ ශ‍‍්‍රමය මුල්කරගත් වෘත්තියක දී පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීම, අල්ලස් ගැනීම, අනාථාධාර සහ සහනාධාර වංචා කිරීම නො කළ යුතු ය. සම්මා ආජීවය ගොඩනගා ගැනීමේ දී තරගයෙන් ම ජීවිතය ජයගත නොහැකි බව, ආත්මාර්ථකාමීත්වය තමාටත් සමාජයටත් අයහපත ගෙන දෙන බව, සම්මා ආජීවය සුරකින බෞද්ධයා විසින් සිය දරුවන්ට ඉගැන්විය යුතු ය.

සමාජයට හොඳ දරුවන් දායාද කිරීමට නිවැරැදි දිවි පැවැත්ම උපකාර කර ගත යුතු ය. දෙමාපිය ආභාසය ම දරුවන් පුරුදු කරගනියි. එබැවින් දෙමාපියන් ආදර්ශමත් විය යුතු ය. සෞඛ්‍යයේ පරිහානිය, මිනිසුන් එකිනෙකාට සංවේදී නොවීම, බලකාමය, අධික තෘෂ්ණාව පෙරටුකරගත් සමාජයක් බිහිව ඇත්තේ සම්මා ආජීවය ක‍්‍රියාත්මක නොවීමේ විපාක ලෙස ය.