Print this Article


2564 රාජ්‍ය වෙසක් උත්සවයෙන්

2564 රාජ්‍ය වෙසක් උත්සවයෙන්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
අරලියගහ මන්දිරයේ පැවැති රාජ්‍ය වෙසක් උත්සවය අරඹමින්
ජනාධිපතිතුමා සධාතුක කරඬුව
පිරිත් මණ්ඩපයට වැඩම කළ අවස්ථාව
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔලබොඩුව රජමහා විහාරයේ පිරිත් පින්කමට ආරාධනා කළ අවස්ථාව

කොරෝනා වසංගත තත්ත්වය මත වුවද රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට මෙවරද කටයුතු යොදා තිබිණි. සෞඛ්‍ය ආරක්ෂාව හා නිරෝධායන රෙගුලාසි නීතීන්ට අනුව යමින් මෙවර වෙසක් උත්සවයේ ආගමික හා සංස්කෘතික කටයුතු සිදු කිරීමට රජය විසින් තීරණය කරන ලදී. එසේ වුවත් මේ මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා වෙසක් සතියක්ද රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ සියලු සුරාසැල් හා මස්මාංශ අලෙවිසල් පවා වෙසක් දිනවල වසා දමමිනි.

රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක වැඩසටහන අරලියගහ මන්දිරයේ දී පසුගිය 6 වැනිදා පැවැත්වුණු අතර 2564 වන වෙසක් සැමරුම් උත්සවයේ තේමාව වූයේ ‘ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං‘ යන්නයි.


මුද්දර හා මුල් දින කවර මල්වතු පාර්ශ්වයේ අනුනායක
නියංගොඩ විජිතසිරි අනුනායක හිමියන් වෙත පිළිගන්වමින්.

අරලිය ගහ මන්දිරයේ පැවැති සමාරම්භක රාජ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. ඒ සඳහා තෛ‍්‍රනිකායික අනු නාහිමිවරුන් වැඩම කර සිටියහ. එහිදී මිනිසාගේ මානසික හා කායික රෝගාබාධ සුවපත් කිරීමට බෞද්ධ භික්‍ෂුව විසින් කටයුතු කරන අයුරු දැක්වෙන රුපියල් 10, 15, 45 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර තුනක් සහ මුල් දින කවර දෙකක් නිකුත් කෙරිණි. 2564 වැනි රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජමහා විහාරයේ බිතු සිතුවමක් නිරූපණය වන පරිදි තවත් සමරු මුද්දරයක් නිකුත් කරන ලදී. ඒ අනුව සමරු මුද්දර 4ක් හා මුල් දින කවර දෙකක් නිකුත් කරන ලදී. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම මුද්දර හා මුල් දින කවර මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය වෙත ප්‍රථමයෙන් පිළිගන්වනු ලැබී ය.

පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ද මුද්දර හා මුල් දින කවර පිළිගන්වන ලදී. ඓතිහාසික ඔලබොඩුව, ශ්‍රී ජයවර්ධනාරාම රාජමහා විහාරයේ විහාරාධිපති උඩුවේ හේමාලෝක නා හිමියන් ට ඔලබොඩුව රජමහා විහාරය සහිත පින් බිම පූජා භූමියක් බවට පත් කළ බවට අදාළ සන්නස පිළි ගැන්වීම ද මෙහිදී සිදු කළ අතර විහාරස්ථානයේ භාරකාර ඔලබොඩුවේ ධම්මික හිමියන්ට ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය ගෞරව නාමය සහිත බස්නාහිර පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය පිරිනැමීමට අදාළ සන්නස් පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් පිළිගැන්විණ.

මෙම අවස්ථාවේදී අදහස් පළකළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසුවේ වෙසක් පොහොය සිංහල බෞද්ධ ජනතාවගේ පොහෝ දිනයක් පමණක් නොවන බවත් එය සමස්ත ලෝක වාසීන්ටම වැදගත් දිනයක් වන බවත් ය. එසේම වෙසක් පොහෝ දින අන්තර්ජාතික නිවාඩු දිනයක් ලෙස පත් කර ගන්නට කටයුතු කෙළේ හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතා බවත් යටත් විජිත යුගයේ වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කරන ලෙස යෝජනා කෙළේ පොන්නම්බලම් රාමනාදන් මහතා බවද සිහි ගැන්වී ය.

පසුගිය වසරේදී ද වෙසක් උත්සවය සැමරීමට නොහැකි වූ බවත් මේ වසරේදී ද එය සැමරීමට නොහැකි වීම අපට කනගාටුවක් වන නමුත් බෞද්ධයන් ලෙස ලෝක ස්වභාවය අප කවුරත් දන්නා බවත් පෙන්වා දුන් අගමැතිතුමා මේ විපත්තිය ස්වභාව ධර්මයා විසින් ලබා දුන් බවට බොහෝ දෙනාගේ මතය වන බවද කීවේ ය.

එසේම මේ වසංගත විපත්තියට දුප්පත් පොහොසත් ඇති හැකි සියලු රටවල් පවා ගොදුරුව ඇති බව පෙන්වා දුන් අගමැතිතුමා ලෝකයේ ලොකුම බලවතුන් ලෙස සිතා ස්වභාව ධර්මය වෙනස් කිරීමට හැකි යැයි සිතූ රටවලට මේ ධර්මතාවය පෙන්වා දෙන්නට හැකිනම් මේ වෙසක් සමයේ අපට කළ හැකි හොඳම පූජාව එය බවද පෙන්වා දුන්නේ ය.

මෙම අවස්ථාවට සහභාගි වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සී අනු නා හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක මාතලේ ධම්මකුසල අනු නා හිමි, අමරපුර නිකායේ ලේඛකාධිකාරී ආචාර්ය පල්ලේකන්දේ රතනසාර නා හිමියෝ ද අනුශාසනා පැවැත්වූහ.

මෙම අවස්ථාවට ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි, ආචාර්ය දිවියාගහ යසස්සි නාහිමි‍, මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි, උඩුවේ ධම්මාලෝක නා හිමි, ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, ගෝණදුවේ ගුණානන්ද නා හිමි, අග්‍රහැරේ කස්සප නා හිමි, තලගල සුමනරතන නා හිමි, කරගස්කඳුරේ සීලවිසුද්ධි නා හිමි, වටිනාපහ සෝමානන්ද නා හිමි, ගැටමාන්නේ ගුණානන්ද නා හිමි, එගොඩඋයනේ ඥාණවිමල නා හිමි‍්, ගලගම ධම්මරංසි නා හිමි ඇතුළු ව දේශපාලන නියෝජිතයින්ද රාජ්‍ය නිලධාරීහු ද සහභාගි වූහ.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව හොරණ ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ වෙසක් පුන් පොහෝ දින එනම් 7 වැනිදා රාත්‍රියේ පැවැති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනව පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපතිතුමා සධාතුක ධාතු කරඬුව පිරිත් මණ්ඩපයට වැඩම කරවීම සිදු කරන ලදී. එමෙන්ම එහිදී පිරිතට ආරාධනා කිරීමේදී ජනාධිපතිතුමා විසින් සකල ලෝක සත්ත්වයාට දුක් කම්කටොලු නිවී සැනසීම පිණිස හේතු වන ලෙස පිරිතට ආරාධනා කෙළේ ය. එතුමා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වන උඩුවේ හේමාලෝක නාහිමියන් හා විහාර භාරකාර ඔලබොඩුවේ ධම්මික හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සමඟ කෙටි පිළිසඳරක ද නියැළී සිටියේය.

ජනතා සහභාගිත්වයෙන් තොරව පැවැත්වුණු රාජ්‍ය වෙසක් උත්සවයේ වැඩ කටයුතු සරල චාම් ලෙසින් වුවත් ප්‍රතිපත්ති ගරුකව පවත්වන ලදී.