Print this Article


මිනිසාගේ වටිනාකම මානසික ශක්තිය අනුවයි

මිනිසාගේ වටිනාකම මානසික ශක්තිය අනුවයි

ඔබ මොනවගේ පුද්ගලයකුදැයි යමෙක් විමසුව හොත්, එයට කෙබඳු පිළිතුරක් ඔබ ලබාදෙන්නේදැයි? සිතා බලන්න. ‘මට අයුක්තිය අසාධාරණය පෙන්වන්න බැහැ. මම සෘජු කෙනෙක්. මම හරි අවංකයි. මගේ ළඟ බොරු නැහැ‘. යනාදී වශයෙන් පිළිතුරු ලබාදේවි. සමාජයෙහි වැඩි පිරිසක් ලබාදෙන පිළිතුරු එවැනි ආකාරයක් ගනී. ඔබත් ඇතැම් විට, එබඳු ආකාරයේ පිළිතුරක් ලබාදෙන පුද්ගලයකු විය හැකි ය. සමාජයෙහි බොහෝ පිරිසක් යහපත් මිනිසුන් වන නිසා ඔවුන්ගේ සිත් සතන්වල මෙබඳු ආකාරයේ සිතුවිලි පැන නැගීම අරුමයක් නොවේ.

තමන් මෙවැනි ආකාරයේ පිළිතුරු ලබාදෙන්නේ ද, අයහපත් සිතිවිලි තමා තුළ නොමැති නිසා නොවේ. එම නපුරු සිතිවිලි ඉස්මතු නොවන අවස්ථාවල දී, කතා කරන විට මිනිසා කෙතරම් සොඳුරු ද? ඔහු වෙනස් වන්නේ ගැටලු සහගත අවස්ථාවන් පැන නැගුණ අවස්ථාවල දී ය. ඔබ වුණත්, සාමාන්‍ය ජීවිතයේ දී කටයුතු කරන ආකාරයත්, ගැටලුවක් පැමිණි අවස්ථාවල දී වෛරය, ක්‍රෝධය, ද්වේෂ සහගත සිතිවිලි පෙරදැරි කරගෙන කටයුතු කළ අවස්ථාවක් පිළිබඳව සිද්ධි මතකයේ තිබෙන්නට පිළිවන. මනසෙහි පවතින සාමාන්‍ය ස්වභාවය ඉක්මවා ක්‍රියාත්මක වන්නේ අදාළ ගැටලුවලට විසඳුම් සොයාගැනීමට අසමත් වූ විටදී ය.

එසේ නොවුණ සෑම අවස්ථාවකදී ම ඔබගේ සිතිවිලි අවුල් අපිළිවෙළට සිදු වුණේ නැත. ක්ෂණිකව පිළිතුරක් සොයාගැනීමට අසමත් වීම නිසා මානසික වික්ෂිප්ත බව ඇති වෙයි. එම ස්වභාවය වෛරය, තරහව, ද්වේෂය වැනි අකුසල් කෙරෙහි ද, නැඹුරු වෙයි. බොහෝ අවස්ථා එතරම් දුර යන්නේ නැත. තමාට සුළු හානියක් කර ගනිමින් හටගත් කේන්තිය නතර වෙයි. ඔබ හා අමනාප වී සිටි පුද්ගලයකු නැවත මිත්‍රත්වයට පැමිණි අවස්ථාවක් ඔබට සිහි කැඳවිය හැකි ය. තරහ සිතිවිලිවලින් ජීවත් වූ කාලයේ ඔහු හා ඔහුගේ ක්‍රියා කලාප කෙරෙහි ඔබ දැක් වූ ප්‍රතිචාරයත්, දැන් එම ක්‍රියාවන්ටම දක්වන ප්‍රතිචාරයත්, අතර කෙබඳු වෙනසක් පවතිනවා ද? එදා ඔබ දැක් වූ සියලු ප්‍රතිචාරවලට මුල් වුයේ දොම්නස හා තරහව නොවේ ද? ඒ ප්‍රතිචාරවලට මුල්වන්නේ සොම්නස හා මිත්‍රත්වය නොවේ ද? තරහව මිත්‍රත්වයක් බවට නැවත හැරුණේ වචන දෙක තුනක හුවමාරුවෙන් නොවේ ද? මෙයින් පැහැදිලිවන්නේ කුමක් ද? සිත හරිම පුදුම වස්තුවක් බවයි.

එයට අවශ්‍ය වූ විට කබරගොයා ද තලගොයා වෙයි. අනවශ්‍ය වූ විට හොඳ මිත්‍රත්වය ද, නරකට හරවා ගනී. මෙවැනි අත්දැකීම් ඕනෑතරම් ඔබගේ ජීවිතය තුළ තිබෙන්නට පිළිවන. නැතිනම් හෙට අනිද්දා ම එබඳු අත්දැකීම් ලැබෙන්නට පටන් ගනීවි. යමක් අවශ්‍ය යැයි සිතුණු අවස්ථාවල පින්සෙන්ඩුවෙමින් ද, බැගෑපත්වෙමින් ද, උපක්‍රමශීලීව ද එය ලබාගන්නට උත්සාහ වූ සැටිත්, එපා වූ විට සුබ දෙයෙහි අසුබ දකිමින් කළ උපකාරය ද, ප්‍රතික්ෂේප කරමින්, මුහුණ බලා සිනාසුන විට අහක බලමින් ද, කටයුතු කළ ආකාරය පිළිබඳ ව මතකයේ ඇති. එසේ කටයුතු කිරීමට උපදෙස් දෙනු ලබන්නේ අන් කවරෙකු හෝ නොව, ඔබගේ ම නොදැමුණු අවිනීත සිතයි. වංචාසහගත ලෙස කටයුතු කරමින් ඒවාට නිවැරැදි බවෙහි මුද්‍රාව තැබීමට උනන්දු වූයේ ඔබ යි.

එසේ වුවත්, සමාජයට පෙන්වන්නට උත්සාහ කරන්නේ ඔබ පිළිබඳ ව අමුතුම ප්‍රතිරූපයකි. ඒ අනුව තමාගේ අවංකකම් ආදිය කියයි. සැබෑ පුද්ගලයාත් සමාජය හමුවේ පෙනී සිටින්නාත්, ඇතැම් විට අන්ත දෙකකි. ධර්මයෙහි වංචක ධර්ම ලෙස දක්වා තිබෙන්නේ පුද්ගලයකු විසින් කරණු ලබන රහස් අකුසල ක්‍රියාවන් ය. අන්‍යයාගේ චරිතයේ පවතින දුර්ගුණ පිළිබඳව අවධානයෙන් කතාකරන ඔබ තුළ ඒවා ඇති විට එයට හේතු කියමින් සාධාරණීකරණය කරනු ලබයි.

පුද්ගලයා මේ සියල්ල කෙරෙහි නැඹුරු කරවනු ලබන්නේ සිත විසිනි. එය මැනවින් සකස් කරණු ලැබුව පුද්ගලයා ඉන් සමාජ අර්ථවත් දෙය ලබයි. එසේ නො වුණ විට ඉන් හානියක්ම ලබයි. මිනිසා වඩා වැඩියෙන් කාලය, ශ්‍රමය, ධනය විය පැහැදම් කරමින් උනන්දු වනු ලබන්නේ බාහිර ශරීරය පිළිවෙළකට තබා ගැනීමට ය. එසේ වුවත්, පුද්ගලයාගේ සිත සකස් කරගැනීම විෂයෙහි ද, කාලය ශ්‍රමය, ධනය වියපැහැදම් කරනු නො ලබයි.

පවතින ස්වභාවයෙන්ම උපරිම ප්‍රයෝජන ලබා ගනී. බාහිර ශරීර ශක්තියෙහි උපරිම ඵල නෙළාගත හැකිවන්නේ සිත සකස් වූ විට ය. ඒකාග්‍රතාවයට පත් කරනු ලැබූ විට ය. සිතෙහි ශක්තිය හා ප්‍රබලතාව ශරීර ශක්තිය ඉක්මවා යයි. සිත දියුණු කරගැනීම පිණිස වෙහෙස මහන්සි වන බොහෝ යෝගාවචරයෝ සිටිති. සකස්කර ගනු ලැබූ තැන්පත් කළ සිත විසින් තමාගේ දෛනික කටයුතු පහසු කරනු ලබනවා මෙන් ම සුවිශේෂී ලෙස සකස් කළ සිත පුද්ගලයා විශේෂ තත්ත්වයකට රැගෙන යයි. යම් යම් පුද්ගලයන් ඒ ඒ විෂයයන් විශේෂඥාතාවයට පත් වී තිබෙන්නේ සිත දියුණු කිරීම මගිනි. එය ඒකාග්‍රතාවයට පත්කර ගැනීමේ සුවිශේෂී හැකියාව විසිනි.

පුද්ගලයා උපතින්ම අරගෙන එනු ලබන්නේ ලෝභ, දෝෂ, මෝහ යන ප්‍රේරණයන් ය. එනිසා ඒවා සමඟ එකතුවන සිත සහ සිතිවිලි නිතර නැඹුරු වනු ලබන්නේ අයහපත විෂයෙහි ය. අයහපත අපචාරය වැනි දේවල් සිදු කිරීමට අධ්‍යාපනය අවශ්‍ය නො වන්නේ එම නිසා ය. නමුත් හොඳ දෙය, යහපත් දෙය එසේ නොවෙයි. ආයාසයෙන් ම කළ යුතු වෙයි. කොපමණ කළත්, එය යළිත් කිරීමේ දී අයාසයෙන් ම කළ යුතු වෙයි. සමාජයට හිතකාමී අර්ථවත් දෙයකිරීම අපහසු ය. එයට හේතුව උපතින් අරගෙන එන අකුසල ප්‍රේරණයන් ට එරෙහිව කටයුතු කිරීමට , එතරම් ලෙහෙසි පහසු නො වන නිසා ය.

දුර ගමන් බිමන් නිතර ඇවිදින, තනිව හැසිරෙන සිත තමන්ට අවශ්‍ය ලෙස සකස් කර ගැනීමට බුද්ධිමත් අය කටයුතු කරති. සිතට අවශ්‍ය ආකාරයට කටයුතු කරන අය වහලුන් ලෙස සලකති. ඒ සිතට වහල් වී කටයුතුකරන නිසා ය.

මිනිසාගේ වටිනාකම රැඳී ඇත්තේ භෞතික ශරීරයෙහි හෝ අඳීන පළඳීන වස්තුවෙහි නොව මානසික ශක්තිය අනුව, සිදුවන ප්‍රසන්න බව අනුව ය. සමාජ ගැටලු හමුවේ දක්වන මානුෂික ප්‍රතිචාර අනුවය. ප්‍රශ්නයකට මුහුණ දෙන අර්ථවත් ක්‍රියාකාරිත්වය මත ය. තමා පිළිබඳව තමාම කරන ඇගයුමක දී වුව ද, මූලිකම සාධකය ලෙස ගත යුත්තේ සමාජ අර්ථය පිණිස කොපමණ ක්‍රියාදාමයන්ට තමාගේ දායකත්වය ලබාදී තිබේ ද, නො තිබේ ද, යන වග සොයාබැලීම පිළිබඳව ය.