[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිරවුල් ජීවිතයකට යහපත් අරමුණු

 නිරවුල් ජීවිතයකට යහපත් අරමුණු

"අප රටේ ජනතාවගේ සාමාන්‍ය සිරිත වන්නේ සියල්ල ඉතා කෙටි කාලයකදී අමතක කිරීමයි. කොරෝනා සම්බන්ධයෙන් නම් අපට එසේ කටයුතු කිරීම කිසිසේත්ම කළ නොහැකි වනු ඇත."

”ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං”

බුදුරජාණන් වහන්සේගේ එම ඉගැන්වීම අනුව මනුෂ්‍යයකු ලැබිය යුතු පරම සම්පත යනු කුමක්දැයි ඉතා මැනවින් හෙළි දරව් කොට ඇත. නිරෝගීකම සඳහා අතිශයින්ම මිනිස් ක‍්‍රියාකාරකම් හේතු වේ. මිනිස් ක‍්‍රියාකාරකම් තීරණය වීමේදී වඩාත්ම සමීප වන්නේ සිතේ හා මනසේ ක‍්‍රියාකාරීත්වයයි.

එබැවින් අවුල් වූ මනසින් හෝ අසංවර සිතින් හෝ කටයුතු කරන විට මිනිස් කි‍්‍රයාකාරකම් යොමු වන්නේ අකුසලයන් දෙසටයි. කුසල් පාර්ශ්වය සඳහා නිරවුල් හා තැන්පත් මනසත් සංවර සිතත් මූලිකත්වයක් ගනී. මනස හා සිත නිරවුල් කර ගැනීමට හා සිත සංවර කර ගැනීමට අරමුණ ප‍්‍රමුඛ වේ.

ශ‍්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම අද මුහුණ දෙන ඉතා බරපතළ අභියෝගය වී ඇත්තේ කොරෝනා වයිරසයයි. කොරෝනා වයිරසය හඳුන්වා දිය හැක්කේ ඇසට නොපෙනෙන යක්ෂයෙක් ලෙසයි. යක්ෂයා මිනිස්සු මරති. නොපෙනන කොරෝනා යක්ෂයා ඊටත් එහාට ගොස් මනුෂ්‍ය සම්පත් පමණක් නොව භෞතික සම්පත් හා ජනතාවගේ ජන ජීවිතයත්, ආර්ථිකයත් සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට හේතුවන අයුරින් කටයුතු කරනු පෙනේ. වයිරසයේ හැසිරීම් සිදුවන ආකාරය පිළිබඳව ලෝකයේ තොරතුරු ගෙන එන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සැමට තේරුම් ගත හැකිය. මෙයින් ආරක්‍ෂා වීමේ අභියෝගය අප ඉදිරියේ ඇත.

කවදාටත් වටිනා උපදෙසක්

දෑත් සේදීම, මුඛ ආවරණ යෙදීම, දෑත් මුව හා මුහුණේ පැතිකඩ අතින් ස්පර්ශ නොකිරීම, මීටරයක දුරින් සිටීම යන උපදෙස් අදටත්, හෙටටත් කවදටත් ඉතා වැදගත් වන්නේ මිනිස් ක‍්‍රියාකාරකම්වලදී පුමුඛව තිබිය යුතු විශේෂයෙන් කොරෝනා මර්දනයට මෙන්ම මිනිසාගේ පිරිසිදු නිරෝගීභාවය එයට හේතුවන නිසයි.

විශේෂයෙන්ම අප රටේ ජනතාවගේ සාමාන්‍ය සිරිත වන්නේ සියල්ල ඉතා කෙටි කාලයකදී අමතක කිරීමයි. කොරෝනා සම්බන්ධයෙන් නම් අපට එසේ කටයුතු කිරීම කිසිසේත්ම කළ නොහැකි වනු ඇත. ඒ එම වයිරසය ආරම්භ වූ චීනයේ වූහාන් නගරය අද වන විට යථා තත්ත්වයට පත් කිරීමට චීනය සමත් වුවත් වෙනත් නගරයක් වසා තැබීමට තරම් කොරෝනා චීනය තුළ තවමත් හොල්මන් කරන නිසයි. එම නිසා ඇසට නොපෙනෙන කොරෝනා වයිරසය සමඟ අපට සටන් කර ජය ගත හැක්කේ එයින් ආරක්ෂා වීමෙන්ම පමණි.

ජනාධිපතිතුමන් අගමැතිතුමා ඇතුළු භාරකාර රජයේ කැබිනට් මණ්ඩලය විසින් කොරෝනා මර්දනය වෙනුවෙන් ගෙන ඇති පියවර දෙස අප අවධානය යොමු කළ යුතුය. රටේ ජනතාව මූලික කරගෙන ජන පීඩනය අවම වන අයුරින් නීතිය යොදවමින් කොරෝනා මර්දනයට පියවර ගෙන ඇත.

භේද අමතක කරමු

මේ තත්ත්වය දිගින් දිගටම ආරක්‍ෂා කර ගැනීම පක්‍ෂ පාට භේදයකින් තොරව සියලූ දෙනා සමගියෙන් හා එකමුතුවෙන් කටයුතු කළ යුතුය. මේ කොරෝනා තත්ත්වය ලොව සිසාරා ක‍්‍රියාත්මක වන විට අප රට තුළ කොරෝනා මර්දනය කර ගත්තත් අනාගතයේ අප රටේ ආර්ථිකයට ඇති බලපෑම අවම කර ගැනීමට නම් ජනාධිපතිතුමා හා අගමැතිතුමා මේ වනවිටත් උපදෙස් දුන් ආකාරයට හැකි අයුරින් ඉඩ තිබෙන තැන්වල ප‘තුරු, එළවළු ආදී වගාවන් වගා කරන්නට ලබා දුන් උපදෙස් මෙරට ජනතාව දැඩි වශයෙන් සිතට ගෙන ඇති ආකාරය දැනට නොවවන කුඹුරුවල පවා පාත්ති යොදමින් භෝග වගාකිරිම තුළින් මනාව පැහැදිලි වේ.

ඒ අතරම භික්‍ෂූන් වහන්සේලා පවා විහාරස්ථාන භූමිවල හැකි හැම තැනකම භෝග වවන්නට කටයුතු කර තිබීම අගය කළ යුතුය. විශේෂයෙන්ම පොඩි හාමුදුරුවරු ඇතුළු මහා සඟරුවන පෙරමුණ ගෙන ඇති ආකාරය මැනවින් පෙනේ. මේ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාමට අප ඉදිරිපත් විය යුතු ය. මසකින් දෙකකින් කොරෝනා අමතක නොකොට කොරෝනා දුන් පාඩම අඩුම වශයෙන් අප රට සංවර්ධනය කරා යන මාවතට එන තෙක්වත් අඛන්ඩව පවත්වාගෙන යන ආකාරයට කටයුතු කළ යුතුය.

බුදුරජාණන් වහන්සේගේ දේශනා කිරීමට අනුව මනුෂ්‍යයන් වන අපගේ පරම ධනය වන්නේ සතුටයි. එය ලෝකෝත්තර වශයෙන් මාර්ග ඵල අවබෝධ ලැබීමෙන් ලබන සතුටයි. ලෞකික වශයෙන් ඉහත සඳහන් කළ ආකාරයට කොරෝනා වැනි වයිරසයක් ශරීර ගත වුවහොත් කරන්නට වන වියදම් සීමාවක් නැත. එසේ කළත් ජීවිතය බේරා ගන්නට නොහැකි බව කොරෝනා මර්දනයට කටයුතු කළ ලොව පුරා වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් තිබීමෙන් පැහැදිලිය.

ලෞකික වශයෙන් පරම ධනය වන සතුට උපදවා ගැනීමට නම් අප ජීවත්වන මේ කාලයේ නිවැරදි වත්පිළිවෙත් ලබා දී ඇති උපදෙස් මැනවින් පිළිගෙන කටයුතු කිරීමෙන් ලබන සතුට ලැබීමට අපගේ ජනතාව විසින් කටයුතු කළ යුතු ය.

විශ්වාසය ඕනෑ

විශ්වාසවන්තයා වැදගත් පරම ඥාතිවරයෙක් ලෙස සැලකීම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි. සිංහල, දෙමළ, මුස්ලිම්, ක‍්‍රිස්තියානි, බර්ගර්, හින්දු ආදී අප සියලූ දෙනාම එකිනෙකාට විශ්වාසවන්තයන් වීමෙන් එකිනෙකා පිළිගැනීමෙන් එකිනෙකාට ගෞරව කර ගැනීමෙන් රටක් හැටියට විශ්වාස සිතින් කොරෝනා වළක්වා ගැනීමට යෝධ සමගියකින් අප එකතු විය යුතුය.

රජය පනවන යම්යම් නීති රීති කිසිදු ජනවර්ගයක් ඉලක්ක කරගෙන නොව සමස්ත රට හා ජනතාව වෙනුවෙන් බව අපට පැහැදිලිය.

එබැවින් සැකය දුරුකොට විශ්වාසය තහවුරු කරගෙන ඉහත සඳහන් කළ ලෝකවාසී සියල්ලන් එකම නෑ පරපුරක් සේ එකමුතු වී ශක්තිමත් වී කොරෝනා මැඬලීමට රජයට සහය දක්වමු.

ඉදිරියේ මතුවිය හැකි ආර්ථික අර්බුදයට යම් පමණින් මුහුණ දීමට නම් කෙත්වතු භෝග වගාවන් හා එළවළු පලතුරු වගාවන් වැවීමෙන් යම් පිටුබලයක් ජීවත් වීමට ලැබෙනු ඇත.

එපමණක් නොව පිටරටින් කෑම එනතෙක් බලා සිටි අපට දේශීය භූමිය වගා කර ගැනීමෙන් අදීන එසේම සම්පත්

පිරි රටක් නිර්මාණය කර ගැනීමේ වාසනාව ලක් ජනතාවට උදාවීමද තවත් ප‍්‍රතිලාභයකි.

නීතියට ගරු කිරීම

ශ‍්‍රී ලංකාවේ සියලූ ජනතාව යෝධ මිටක් සේ එක් වීමෙන් ජාතිය ගොඩ නගන්නට වෙර දරන රජය ඇතුළු සියල්ලන්ටම සහාය වෙමු. ඇඳිරි නීතිය පැනවූයේ කොරෝනා මැඬලීමටයි. එහෙත් දුරදිග නොබැලූ සමහර ජන කොටස් ඇඳිරිනීතිය කඩ කිරීමට යොමු වී ඇති බව පෙනේ. මෙය කුඩා ළමයකුටවත් නීතියට ගරු කිරීම පිළිබඳ ආදර්ශයක් නොවේ.

එබැවින් වැඩිහිටියන් වන අප හැම දෙනාගේම වගකීම වනුයේ ඊළඟ පරම්පරාවට ආදර්ශමත් අයුරින් රටේ නීති නොකඩා නීතිවලට ගරු කරමින් උත්සාහයෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කම තහවුරු වන අයුරින් කටයුතු කිරීමයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ කොරෝනා වයිරසය විසින් අපට ලබා දී ඇත්තේ අලූත්ම පාඩමක් බවයි. අප කළ යුත්තේ ඒ පාඩම හොඳින් අධ්‍යයනය කිරීමයි. ශ‍්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ ඒ පාඩමට අනුගත වුවහොත් පමණි.

 බක් අමාවක පෝය 

   බක් අමාවක පෝය
අපේ‍්‍රල් මස 22 බදාදා පූර්ව භාග 5.37 න් අමාවක ලබා 23 වැනිදා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 7.55 න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බදාදා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

Second Quarterඅව අටවක

මැයි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]