[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දසරාජ ධර්මයෙන් රට පාලනය සෞභාග්‍යයේ් මාවතයි

දසරාජ ධර්මයෙන් රට පාලනය සෞභාග්‍යයේ මාවතයි

"බෞද්ධයන් හැටියට, භික්ෂූන් වහන්සේ හැටියට අද අපට සතුටට පත් වෙන්න පුළුවන්. ඒ ලෝකයම කොරෝනා වයිරසය අධි වසංගත තත්ත්වයක්ට විරුද්ධව සටන් කරද්දී, ජනතාව පීඩාවට පත් කරමින්, මරණයට ගොදුරු කර ගනිද්දී ශ‍්‍රී ලංකාව වයිරසයේ පැතිරීම පාලනයට ලක්් කිරීම නිසයි. එසේ පාලනයට ලක් කරන්නට අපට හැකි වුණේ දස රාජ ධර්මයෙන් රට පාලනය වන නිසයි."

අපේ සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් සියල්ලම යොමු වුණේ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙනි. උන් වහන්සේ මිනිසාගේ විමුක්තිය සදාතනිකව සලසා ගන්නට සහ මෙලොව වශයෙන් සැනසුම ලබා දෙන්නට අවශ්‍ය කරන ධර්ම මාර්ගය පැහැදිලි කර දුන් ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ නමක් වූහ. තථාගතයන් වහන්සේ අසමසම ය. උන් වහන්සේ විසින් ශ‍්‍රී සද්ධර්මය දේශනා කරනු ලැබුවේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට ලබාගත් අත්දැකීම් සම්භාරය, දැනුම් සම්භාරය ඇසුරිනි.

ඒ තුළින් උන්වහන්සේ දියුණු කරගත් ආධ්‍යාත්මික ගුණධර්ම සමුදාය පදනම් කරගෙන උන්වහන්සේ, මේ ලෝක සත්ත්වයාට සදාතනික වශයෙන් දුක් කෙළවර කොට මේ සසරෙන් එතෙර ව නිවන් සැපත ළඟා කර ගැනීමට අවශ්‍ය මාර්ගය කියා දුන්හ.

වරක් දීඝජානු කෝලිය පුත‍්‍රයා තමන්ගේ ලෞකික ජීවිතය හොඳින් ගත කරන ධර්මයක් පිළිබඳව දේශනා කරන ලෙස බුදු හිමියන්ගෙන් ඉල්ලා සිටියේ ය. එදා උන් වහන්සේ දීඝජානු කෝලිය පුත‍්‍රයාට පමණක් නොව සතුටින් සාමයෙන් යුතුව මේ සමාජයේ ජීවත් වීමට මනුෂ්‍යයකුට අවශ්‍ය කරන ගුණධර්ම විවිධ ස්ථානවල විවිධ ආකාරයට දේශනා කොට වදාළහ. උන් වහන්සේගේ එම දේශනාවන් විවිධ ආකාරයේ වෘත්තිකයන්ට තමන්ගේ ජීවිතයට ගලපා ගැනීමට පුළුවන.

භික්ෂුවක ලෙස භික්ෂුවකගේ භූමිකාවට, ගුරුවරයෙක් ලෙස ගුරු භූමිකාවට, තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් හැටියට එම භූමිකාවන්ට අවශ්‍ය කරන දැනුම මඟ පෙන්වීම සිදු කළහ. සමාජයේ යහපත් ආකාරයෙන් ජීවත් වීමට අවශ්‍ය කරන ගුණ ධර්ම රාශියක් දේශනා කළහ. ඒ වගේම තවත් වැදගත් අංගයක් වන්නේ මේ ලෝකයට අවශ්‍ය කරන්නේ, මේ සමාජයට අවශ්‍ය කරන්නේ නිවැරැුදි පාලනයක් සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීමක්. රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය කරන දැනමුතුකම් කොටසක්.

ඇත්තටම ශ‍්‍රී ලාංකිකයන් හැටියට, බෞද්ධයන් හැටියට, භික්ෂූන් වහන්සේලා හැටියට අප අද සතුටට පත්වෙනවා. කුමක් නිසාද? මේ ලෝකය පුරා කොරෝනා වෛරසය අධි වසංගත තත්ත්වයක් ව, ජනතාව පීඩාවට පත් කරමින්, මරණයට ගොදුරු කර ගනිමින් සිටින තත්ත්වයක දී අපේ ලංකාව එක පැත්තකින් මේ වයිරසය යම් පමණකට පාලනය කර තිබීම ගැන. එය අප කවුරුත් පිළිගන්නා දෙයක්.

ද්වේෂයෙන් තොරව, පක්ෂග‍්‍රාහී බවින් තොරව, මධ්‍යස්ථව බලනවා නම්, හදවතට එකඟව මේ ප‍්‍රශ්නය දෙස බලනවා නම් මේ කොරෝනා වයිරසය අධි වසංගත තත්ත්වයකට පත් නොවන්නට පාලනය කර තිබෙන බව පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්.

මෙය සිදුවුණේ රාජ්‍ය පාලනයේ ප‍්‍රතිඵලයක් ලෙස බව කියන්නට අප පසුබට වෙන්නේ නැහැ.

නායකයෙක් ලෙස රටට, ජනතාවට සේවය කරන්නට ඉදිරිපත් වනවා නම්, ඔහු තුළ තිබිය යුතු අනුගමනය කළ යුතු ධර්ම කොටසක් ‘දසරාජ ධර්ම’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

‘දානං සීලං පරිච්චාගං
අජ්ජවං මජ්ජවං තපං
අක්කොධො අවිහිංසාච
ඛන්තීච අවිරෝධතා’

නායකයෙක් ලෙස ‘දානං‘ දීම කළ යුතුයි. දිය යුත්තේ සුුදුසු අවස්ථාවේදියි. ‘සීලං’ සීලය පුද්ගලයාගේ කායික, වාචසික සංවරය, සංවර්ධනය ඇති කරනවා. පරිත්‍යාගය කියන්නේ සුදුසු අයට, සුදුසු වේලාවේදී දීමයි.

‘අජ්ජවං’ අවංක බවයි. ‘මජ්ජවං’ මෘදු බවයි. ‘තපං’ තපස් ගුණයයි. ‘අක්කොධො’ ක්‍රෝධ නොකිරීමයි. ‘අවිහිංසාච’ හිංසාවක් පීඩාවක් නොකිරීමයි. ‘ඛන්ති’ ඉවසීමයි. ‘ අවිරෝධතා’ කියන්නේ රාජ නීති තිබෙනවා පනවා ගත්, ලෝක නීති තිබෙනවා, මේවාට විරුද්ධව නොයාමයි. මේ දසරාජ ධර්මයන් ගැන කෙටි හැඳින්වීමක්. කොරෝනා වයිරසය චීනයේ වූහාන්වල ඇති වූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පිළිබඳව අවධානය යොමු කළා. එය ලෝකයේ පැතිරෙමින් යනවා, අපේ රටට ආවොත් අපි කොහොමද මුහුණ දෙන්න සැලසුම් කරන්නේ කියලා. පූර්ව සැලසුමක් ඇති කරගත්තා. හොඳ සංවිධානයක් ඇතිකර ගත්තා. ලංකාවට වයිරසය ආ පසු ඒ සැලැස්මට අනුව වැඩපිළිවෙළ ගෙන ගියා.

වයිරසය පැතිරීමේ ප‍්‍රධානම සාධකය සමූහ එක්රැස් වීමයි. එතුමා එය වැළැක්වීමේ මූලික පියවරක් ලෙස පාසල් නිවාඩු දුන්නා. විශ්වවිද්‍යාල නිවාඩු දුන්නා. ඉන් පසුවයි රාජ්‍ය ආයතන වලට නිවාඩු දුන්නේ. ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කළේ.

එපමණක් නොවෙයි මේ අවස්ථාවේ විවිධ වෘත්තීන් කරලා ජීවිකාව කරගෙන යන විවිධ මට්ටම්වල අය සිටියා. දවසේ වියදම සොයා ගත්තේ නැතිනම් දරුවන්ට කන්න දෙන්න විදිහක් නෑ. මේ අයගේ අවශ්‍යතා සඳහා වැඩපිළිවෙළක් සකස් කළා. මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවලා එතුමා රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළට ගලාගෙන යන සියලූම අය සම්බන්ධ කරගෙන, ජාලයක් ලෙස පවත්වාගෙන යමින් ජනතාවට සේවය සැලසීමට කටයුතු කළා.

එතුමා එදා රාජ්‍ය නායකයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ ප‍්‍රකාශ කළේ ‘මා බෞද්ධයෙක් ලෙස බෞද්ධ ප‍්‍රතිපත්ති මත රාජ්‍ය පාලනය කරනවා’ යනුවෙන්. ‘මම මුළු රටේම සෑම දෙනාගේම ජනාධිපති, මම මගේ සියලූම ජනතාව බලා ගන්නවා. සියලූම දෙනාට අවශ්‍ය කරන දේ සිදු කරනවා’ ඒ එතුමාගේ දැක්මයි.

එතුමාගේ ඒ නිවැරැදි දැක්මට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ සහයෝ්ගයත් ලැබුණා. එම නිසා සමඟිව රැස්වී සමඟිව සාකච්ඡුා කර සමඟිව විසිර යන්නට හැකි වුණා.

ඒ නිවැරැදි දැක්ම හා සහයෝගයෙන් කටයුතු කිරීම මත දෛනික වෘත්තීන්හි නියැළුණු විවිධ වෘත්තිකයන්ට, සමෘද්ධිලාභීන්ට රුපියල් 5000 බැගින් මුදල් ලබා දුන්නා. පක්ෂයක්, පාටක්, පළාතක්, ආගමක් ජාතියක් බලා නොවෙයි. රටේ මුළු මහත් ශ‍්‍රී ලාංකිකයන් ලෙස ජීවත් වන ඒ හැම කෙනෙකුටම සැලකුවේ රටේ සියලූම ජනතාව මගේ වැසියන් යන හැඟීමෙන්. පරිත්‍යාග සිදු කළා. අවංකව තීරණවලට එළඹුණා. මේ සැලකීමේදී කිසිදු බෙදීමක් වෛරීභාවයක් තිබුණේ නෑ. මගේ පක්ෂයේ කෙනා නෙමෙයි කියලා කිසිවකු කෙරෙහි ක්‍රෝධයක් තරහක් ඇතිකරගත්තේ නෑ. පළිගැනීමක් කළේ නෑ. අවිහිංසකව ක‍්‍රියා කළා.

ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සියලූ පක්ෂ කැඳවා ඔවුන්ගේ අදහස් විමසුවා. එහිදී එම අදහස් අනුව සුදුසු ක‍්‍රියා මාර්ග ගන්නත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කටයුතු කළා. අපට ඉක්මනින් යථා තත්ත්වයට පත් වන්නට හැකි වුණේ ඒ සාමකාමී බව, සහයෝගය, අන්‍ය මතවලට ගරු කිරීම වැනි බුදු හිමි වදාළ ගුණාංග ජනාධිපතිතුමා හා අගමැතිතුමා අනුගමනය කළ නිසයි.

අප දුටුවා ඇතැම් අය මේ අවස්ථාවේදී යම් යම් චෝදනා කළා. ‘එය කරන්නට තිබුණේ මෙලෙසින් යයි‘ කියමින්. ඒ චෝදනා හමුවේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඉවසීම පුරුදු කළා. ඒවාට කිසි විටෙක පිළිතුරු දෙන්නට ගියේ නෑ. කෝප වූයේ නෑ විවේචනය කරන්න ගියේ නෑ. නිහඬව ඉවසීමෙන් කළ යුත්ත කළා. රජයේ චක‍්‍රලේඛ අණ පනත් තිබෙනවා. නීති රීති තිබෙනවා. ඒවා පිළිබඳව එකඟත්වයක් ඇතිව, කිසිදු වංචාකාරී බවක් නොමැතිව සියල්ල නීතියට අනුවයි සිදු කෙළේ.

ජනාධිපතිතුමා දස රාජධර්ම අනුව රට පාලනය කරන කෙනෙක් බව, නියම නායකයෙක් බව මේ මොහොතේ ඔප්පු කොට තිබෙනවා. රාජ්‍ය නායකයෙක් වුවත් ආයතනයක. නායකයෙක් වුණත්, පවුලක ප‍්‍රධානියෙක් වුවත් ඒ කෙනා අගතියට නො යා යුතු බව සිඟාලෝවාද සූත‍්‍රයෙහි කරුණු හතරක් උගන්වනවා. ඒ සතර අගතිය යනුවෙන්. ඡුන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් කටයුතු කර සමහරු අගතියට යනවා. දේශපාලන ඉතිහාසය තුළ අප එවැනි අවස්ථා කොතෙකුත් දැක තිබෙනවා.

රැුකියා හෝ උසස් තනතුරු දීමේදී ආධාර උපකාර කිරීමේදී පක්ෂය පාට බලනවා. ‘තමන්ට උදව් කළේ නෑ, තමන් විවේචනය කළා’ කියමින් ද්වේෂයෙන් කටයුතු කරනවා. බලයට පත්වූ විට පළිගැනීම් කරනවා. එහෙත් අප දන්නවා වත්මන් ජනාධිපතිතුමා කිසිම අවස්ථාවක කිසිවෙක් වෙන් කර කටයුතු කළේ නැති බව. ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන් බැලූවේ නෑ. බිය වුුණේ නැහැ.

 නිවැරැුදි තීන්දු තීරණ ගත්තා. විශේෂයෙන්ම සුදුසු අවංක පුද්ගලයින් ඒ ඒ තනතුරුවලට පත් කර ගත්තා. ඒ වගේම කිසිම වෙලාවක නිලධාරීන්ටත් බයක් ලබා දුන්නේ නෑ. නිර්භයව පියවර ගන්න, ඒවා ක‍්‍රියාත්මක කරන්න බලය, විශ්වාසය ලබා දුන්නා. ජනාධිපතිතුමා හා අගමැතිතුමා නිවැරදිව, බියක් නැතිව ක‍්‍රියාත්මක වුණා. එතුමා යටතේ වැඩ කරන සියලූම අයට වගකීම් පැවරුවා බියෙන් සැකෙන් තොරව කටයුතු කරන්න අවශ්‍ය පසුබිම සැකසුණා.

යම් කෙනෙක් බයෙන් අගතියට යනවා නම් ඔහුගෙන් සාධාරණයක් ඉටු කර ගත නොහැකියි. මෝඩකම ඇති විට ගන්නා තීන්දු තීරණ වැරැදියි කිසිවකුගේ උපදෙස් නොගෙන තමන් හරි යැයි සිතා කටයුතු කරනවා නම් එහි හානිය බරපතළයි.

නමුත් අපේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා කටයුතු කළේ බුද්ධිමත්ව සැලසුම් සහගතවයි.

අප දන්නවා එතුමාගේ ජීවිතය පුරා අත්දැකීම් තිබෙන බව. එතුමා ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කළ කාලයේ සිටම මේ රටේ ජනතාව තුළ එතුමා ගැන බලාපොරොත්තුවක්, විශ්වාසයක් තිබුණා. නිවැරදිව, බුද්ධිමත්ව සැලසුම් සහගතව කටයුතු සිදුකරන බවට.

දරුණු ලෝක වසංගතයක් අපට මේ ලෙසින් පාලනය කරගන්න ලැබුණේ රාජ්‍ය නායකත්වය තුළ මේ ගුණාංග තිබූ නිසයි. ලෝකය සමග සංසන්දනය කිරීමේ දී මේ වයිරසය වළක්වා ගැනීමේ 9 වන ස්ථානයේ අප ඉන්නවා. සෞඛ්‍ය අංශයෙන්, බලයෙන්, විද්‍යා තාක්ෂණයෙන් උපරිමයට ගිය රටවලට වඩා ඉහළට ඒමට අපට හැකි වුණාා. ඔවුන් විශාල ප‍්‍රශ්නයකට මුහුණ දෙමින් සිටියදී අපේ රටේ අඩු තාක්ෂණය, අඩු ධනය, අඩු පිරිස් බලයෙන් මේ රෝග තත්ත්වය පාලනය කර ගන්නට පුළුවන්කම ලැබුණේ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු මේ වසංගතය පාලනයට පියවර ගත් සියලූ දෙනාගේ දුර දක්නා නුවණ නිසයි.

ජනාධිපතිතුමාගේ ඉවසීම, සෘජු බව, අවංක බව නිසයි. මේ රටේ ජනතාව එය පිළිගන්නවා. සමාජ මාධ්‍යවල පළවන වාර්තා අනුව ජනතාව පවසන්නේ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන බවයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා, හමුදාපතිවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ පමණක් මේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.

එම විශ්වාසය ජනතාව තුළ ඇති වී තිබෙනවා. ඒ ආගමානුකූලව ගත කරන ජීවිතයක්, පාලනයක් නිසයි. රටේ ජනතාවට බියක් නැහැ. සැකයක් නැහැ. ධර්මානුකූල සංකල්ප නිසා රටට හානියක් නොවන බවට ජනතා විශ්වාසයක් තිබෙනවා.

කොරෝනා වයිරසයක් සමඟ ජනතාවට ලැබුණු හොඳම අවස්ථාව වන්නේ හොඳින් රට පාලනය කරන්නේ කවුද යන්න වටහා ගැනීමයි. එසේම මේ අවස්ථාවේ නිවෙස්වල ඉන්නා විට තමන්ගේ ආහාර තමන් නිෂ්පාදනය කර ගැනීමට, මොනවා හෝ වවාගන්නට ලබාදුන් උපදෙස්. ගෙදරට වැඩක් වෙන විදිහට, ජනතාවට වැඩක් වෙන විදිහට, ක‍්‍රියා කළා එය අප දකින්නේ වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙයසි.

අනෙක් පැත්තෙන් අපේ දරුවෝ හරිම බුද්ධිමත්. පුදුම නිර්මාණ ශක්තියක් තිබෙනවා. අටේ පන්තියේ ඉගෙන ගන්න දරුවෙක් පවා විද්‍යාත්මක නිර්මාණයක් කළා. තමන්ගේ අම්මා මාතර රෝහලේ සේවය කරනවා. සැමවිටම අත් සෝදන්නට වෙනවා. අම්මාගේ ආරක්ෂාවට ජල කරාමයක් හැදුවා, ඉබේ ක‍්‍රියාත්මක වන.

එවැනි නිපැයුම් මොන තරම් මේ කාලය තුළ ඇති වුණාද? පෙරත් මෙවැනි දේ නිර්මාණය වුණා. එහෙත් ඒවාට තැනක් ලැබුණේ නෑ. ඒත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එවන් අයට යම් ශක්තියක් වෙමින් අත්වැලක් වෙමින් නව නිපැයුම් සඳහා ඔවුන් දිරි ගැන්වීමට මෙය අවස්ථාවක් කරගත්තා. අපට නොපෙනෙන ආශිර්වාදයක් මේ අවස්ථාව. අපේ රටේ එවැනි දේ නිෂ්පාදනය කරගෙන සාධාරණ, යහපත් ආර්ථිකයක් ගොඩනඟා ගෙන, රටේ ජනතාවට ස්වර්ණමය අනාගතයක් ඇති කරගන්න ශක්තිය මේ රටට ලැබේවා කියන ප‍්‍රාර්ථනයයි අප මේ මොහොතේ කළ යුතු වන්නේ.

 බක් අමාවක පෝය 

   බක් අමාවක පෝය
අපේ‍්‍රල් මස 22 බදාදා පූර්ව භාග 5.37 න් අමාවක ලබා 23 වැනිදා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 7.55 න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බදාදා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

Second Quarterඅව අටවක

මැයි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]