Print this Article


ආහාර රටාවයි නිරෝගී ජීවිතයයි

ආහාර රටාවයි නිරෝගී ජීවිතයයි

"අද ඇතැම් අය ආහාර ගන්නේ පොතක් බලමින්. නැත්නම් රූපවාහිනිය බලමින්. එය කිසිසේත්ම සුදුසු නැහැ. ආහාරය නිසි පරිදි ජීරණය වන්නේ එය සිහි බුද්ධියෙන් අනුභව කළහොත් පමණක් බවයි බුදු දහමේ දැක්වෙන්නේ."

මේ දිනවල ලොව පුරා පැතිර යන වසංගත රෝග තත්ත්වය හමුවේ ඉදිරියේදී ලෝකයටම ආහාර පිළිබඳ අර්බුදයක් මතු වෙන්නට පුළුවන්. එම නිසා ආහාර සංරක්ෂණය පිළිබඳව අප කවුරුත් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වනවා.

ආහාර පිළිබඳ බෞද්ධ මතයද මෙහිදී අප විසින් අවබෝධාත්මකව අවධානය යොමු කළ යුතු වනවා.

බුදුරජාණන් වහන්සේ සාමණේර දස ප‍්‍රශ්නවල දක්වා ඇති, ලෝකයේ පළවෙනි දේ කුමක්ද? (ඒක නාමකිං?) යන්න ගැන විමසා බැලිය යුතුයි. එහිදී ලබා දී ඇති පිළිතුර වන්නේ ‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ එනම් ලෝකයේ සියලූ සත්ත්වයන් ආහාරයෙන් ජීවත් වන බවයි.

වෙනත් කිසිදු දර්ශනයක ආගමක විග‍්‍රහ කර නොමැති ලෙසින් ආහාර පිළිබඳ පූර්ණ විග‍්‍රහයක් එසේ බුදු දහමේ දක්වා තිබෙනවා. ඒ අනුව ප‍්‍රධාන වශයෙන් ආහාර වර්ග හතරක් බුදු දහමේ දක්වා තිබෙනවා.

එහි පළමු ආහාර වර්ගය කබලිංකාර ආහාරයයි. දෙවැන්න ඵස්සාහාරයි, තුන්වැන්න මනෝ සංචේතනික ආහාර වන අතර සිවුවැන්න විඥාන ආහාරයි.

මෙහිදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා යන මේ සියල්ල අපට ලබා දෙන්නේ ආහාරවලින්.

පඨවි යන තද ගතියෙන් යුක්ත දේ වන අස්ථි, නිය, ආදිය පෙන්වා දෙන්න පුළුවන්. එසේම ආපෝ යන්නට රුධිරය, මුත‍්‍ර, දහදිය ආදිය පෙන්වා දෙන්න පුළුවන්. උෂ්ණත්වය ලැබෙන්නේ ද ආහාරවලින්, වායෝ අපට හුස්ම ගැනීම ඇතුළු ශරීරයේ විවිධ කාර්යයන්ට උපකාරී වෙනවා.

එමෙන්ම වර්ණය ලැබෙන්නේ ද ආහාරවලින්. නිසි පෝෂ්‍යදායී ආහාර ලැබුණේ නම් ප‍්‍රියමනාප වර්ණයක්ද නිසි පෝෂ්‍ය ගුණයක් නොලැබුණහොත් දුර්වර්ණ වර්ණයක් ඇති වන්න පුළුවන්. එමෙන්ම ශරීරයේ ගන්ධය තීරණය වන්නේද අප ලබා ගන්නා ආහාරවලින්.

මෙහිදී රසද විවිධාකාරයෙන් අපට ලැබෙනවා ඇඹුල්, පැණි රස ආදී ලෙසින්. අට වෙනුව දක්වා ඇති ඕජෝ ගුණය හෙවත් බලය, ජවය ශක්තිය ලැබෙන්නේ ද ආහාරවලින්. මේ අනුව ආහාර අපගේ පැවැත්මට අත්‍යවශ්‍යම බව දහමේ පැහැදිලිව දැක්වෙනවා.

කැබලිකර කන මේ කබලිංකාර ආහාරවලට අමතරව ඕලාරික මෙන්ම සුඛුම ආහාරත් තිබෙනවා.

උදාහරණ ලෙසින් අභ්‍යවකාශයට ගමන් ගන්නා අයට අප ගන්නා ලෙසින් ප‍්‍රමාණයෙන් විශාල ආහාර ගෙන යන්න බැහැ. ඒ සඳහා ආහාර කුඩා බෙහෙත් පෙත්තක් තරම් වන ප‍්‍රමාණයෙන් සියුම් තත්ත්වයට පත් කළ යුතු වෙනවා.

දෙවියන් ආහාරයට ගන්නේ ද ඉතාම සියුම් දේ බවද මෙහිදී පෙන්වා දිය යුතුයි. ආභස්සර ලෝකයේ ඉන්නා අය ආහාරයට ගන්නේ ප‍්‍රීතියයි.

අපට වුණත් විභාගයක් සමත් වීම වැනි විශේෂ සතුටක් ඇති වුවහොත් දිනක් පමණ ආහාර නොගෙන ඉන්න පුළුවන්.

බුදු දහමේ දැක්වෙනවා, ඇතැම් යක්ෂ වර්ග ක්‍රෝධය ආහාරයට ගත් බවක් ගැන. ඒ වගේම අපේ සමාජයේ ඇතැම් පුද්ගලයින් ආහාර පාන නොමැතිව පැය ගණන් තැන් තැන්වල අනුන්ගේ ඕපා ¥ප සොයමින් සිටිනවා. ඒකත් එක් ආකාරයක් ලෙස පෙන්වා දිය හැකියි.

අප ආහාර ලෙස ප‍්‍රායෝගිකව ලබා ගන්නා දේට අමතරව ඵස්සාහාර ලෙසින් පංචේන්ද්‍රීයන්ට අරමුණු වන රූප ආදිය පෙන්වා දීමට පුළුවන්. එම සිතිවිලි සමුදාය ඵස්සාහාර ලෙසින් දැක්වෙන්නේ.

කර්මයත් ආහාරයක් ලෙස දැක්වෙන්නේ මනෝ සංචේතනික ආහාර ලෙසින්.

එමෙන්ම මතු භවයට හේතු වන විඥානයත් ආහාරයක් ලෙස බුදු දහමේ දක්වා තිබෙනවා. නිවන් දැකීම යනුවෙන් අප අදහස් කරන්නේ එම විඥාන ආහාරය ඉවත් කිරීමයි.

ආහාර වර්ගීකරණය මෙසේ දක්වා තිබුණත් අප වැඩි අවධානයක් යොමු කළ යුත්තේ නීරෝගීව සිටින්නේ කෙසේද යන්න ගැනයි.

අප ආහාර වැඩි වශයෙන් ගතහොත් සිදු වන්නේ කුමක්ද? අධි පෝෂණයක් ලැබීමයි. ඒ හරහා අපට නිරෝගීකම ලබා ගන්න බැහැ. එමෙන්ම ආහාර අඩු වුණොත් නිසි පෝෂණය නොලැබී අපට විවිධ රෝගාබාධ වැළඳීමට පුළුවන්. උදාහරණයක් ලෙසින් නිසි පරිදි පඨවි ගුණය නොලැබුණහොත් අපේ අස්ථි දුර්වල වෙනවා. නිසි පරිදි ආපෝ ගුණය නොලැබුණහොත් ලේ ධාතුව දුර්වල වෙනවා. එම නිසා මේ අට වැදෑරුම් ගුණයන් ආහාරයෙන් ලබා ගත යුතු වනවා.

ආහාරය නිසි පරිදි මෙන්ම සුදුසු ප‍්‍රමාණයක් ලබා ගැනීම බුදු දහමින් දක්වා තිබෙනවා. එසේම ආහාර සිහිබුද්ධියෙන් අනුභව කිරීමත් මෙහිදී ඉතාම වැදගත් බව පෙන්වා දිය යුතුයි.

අද ඇතැම් අය ආහාර ගන්නේ පොතක් බලමින්. නැත්නම් රූපවාහිනිය බලමින්. එය කිසිසේත්ම සුදුසු නැහැ. ආහාරය නිසි පරිදි ජීරණය වන්නේ එය සිහි බුද්ධියෙන් අනුභව කළහොත් පමණක් බවයි බුදු දහමේ දැක්වෙන්නේ. එමෙන්ම එහි නිසි රසය දැනෙන්නේ ද සිහි බුද්ධියෙන් ලබා ගතහොත් පමණයි. එහෙත් අද රස වැඩි කර ආහාර උත්තේජනය පිණිස විවිධ ක‍්‍රියාමාර්ග මෙන්ම විවිධ රසකාරක යොදා තිබෙනවා. එම නිසා රෝගාබාධ වැළඳීමත් ආයුෂ අඩු වීමත් ඇති වෙන්න පුළුවන්. වර්තමානයේ පිළිකා වැනි රෝග බහුල වීමටත් එය හේතු සාධක වී තිබෙනවා.

රස අපට අවශ්‍ය වන නමුත් එය තෘෂ්ණාවක් ලෙසින් උපදවා නොගතයුතු බවයි බුදු දහමේ දැක්වෙන්නේ.

ආහාර ලබා ගැනීම සම්බන්ධව බුදු දහමේ ඕනෑ තරම් උදාහරණ දක්වා තිබෙනවා. තුවාලයක් සනීප වීමට නම් ඒ සඳහා ඖෂධ ගැල්විය යුතුයි. එහෙත් වැඩියෙන් ඖෂධ යෙදුවහොත් සිදු වන්නේ කුමක්ද? අඩුවෙන් යෙදුවහොත් සිදුවන්නේ කුමක්ද? නිසි මාත‍්‍රාව දැන ගත යුතුයි. එසේම ගැලක රෝදයක් කැරකැවීමට තෙල් යෙදිය යුතු බවත් බුදු දහමින් දැක්වෙනවා. තෙල් නොයෙදුවහොත් එයින් කාර්යක්ෂම සේවාවක් ලබා ගන්නට බැහැ. එමෙන්ම රෝදයේ ආයු කාලය පවා අඩුවන්න පුළුවන්.

ආහාරය නිවන් දැකීම පිණිස පවා අවශ්‍ය වන බව බුදු දහමින් පැහැදිලිව දැක්වෙනවා. සිදුහත් තවුසාට පවා දුෂ්කර ක‍්‍රියා කර බුදු බව ලබා ගන්නට හැකි වුණේ නැහැ. එමෙන්ම ධම්මපදයේ මාතික මාතා කතා වස්තුවෙන්ද එවන් උදාහරණයක් අපට ලබා ගන්න පුළුවන්. එක් කාන්තාවක් වස් කාලයේ භික්ෂුන් වහන්සේ 30නමකට දානය ලබා දෙනවා එම කාන්තාව නිරතුරුව මේ ධාර්මික ඇසුර නිසා භාවනා කර අනාගාමී තත්ත්වයට පත් වෙනවා. එසේ අනාගාමී තත්ත්වයට පත්ව භික්ෂූන් වහන්සේ දෙස පරසිත් නුවණින් සොයා බලනවා. එවිට ඇයට පෙනෙනවා මේ එකදු භික්ෂූන් වහන්සේ නමක් හෝ නිසි සමාධියට පත්ව නැති බව. එයට හේතුව සොයා බලන ඇයට, නිවන් මඟට යෑමට, පෙර වාසනා ගුණය එම භික්ෂූන්ට තිබෙන බවත්, කල්‍යාණ මිත‍්‍රත්වය තිබෙන බවත් පෙනෙනවා. එසේම නිසි පාරිසරික සාධකත් තිබෙන බව පෙනෙනවා. එසේ නම් හේතුව කුමක්දැයි ඇය විමසා බලනවා.

නිසි පෝෂණ ගුණයෙන් යුක්ත ආහාර නොලැබීම බව ඇයට පෙනී යනවා. එම නිසා ඇය නිසි පෝෂ්‍ය ගුණයෙන් යුක්ත ආහාර සපයනවා. ටික දිනක් ගතවන විට ඒ සියලූ භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයට පත් වෙනවා. එම නිසා අපට පෙනී යනවා නිවන් දැකීම දක්වාම පෝෂ්‍යදායි ගුණයෙන් යුතු ආහාර අවශ්‍ය බව.

ආහාර ගත යුතු ක‍්‍රමවේදය පවා අපට බුදු දහමින් දක්වා තිබෙනවා. ඒ අතර විශේෂයෙන්ම අප අද නොසලකා හරින මෙන්ම බොහෝ දෙනා නොදන්නා කරුණක් ගැන මෙහිදී පෙන්වා දිය යුතුයි. බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ එක් බත් පිඬක් මුඛයේදී තිස් දෙවතාවක් හොඳින් සපා අනුභව කළ යුතු බවයි. එය අප සිදු කරනවාද? එසේ කළහොත් පමණයි නිසි පරිදි පෝෂ්‍ය ගුණය ලැබෙන්නේ. එමෙන්ම දිරවීමට පවා පහසු වෙන්නේ.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ආහාර විශාල වශයෙන් අපතේ යවනවා. අප ප‍්‍රමාණයට වඩා ආහාර බෙදා ගෙන ඉවත ලනවා. එය ශ‍්‍රී ලංකාව වැනි රටකට ඉතාම අහිතකර තත්ත්වයක් බව පෙන්වා දිය යුතුයි.

විශේෂයෙන්ම මෙවන් තත්ත්වයන් මත ඉදිරියේදී ඇතිවන යම් ආහාර අර්බුදයකදී අපට විශාල ගැටලූවක් විය හැකියි. දියුණු රටවල පවා ආහාර ඉවත දැමීම ඉතාම අඩුවෙන් සිදු වන්නේ. ආහාරයෙහි පමණ දැන මෙන්ම නිසි පෝෂ්‍ය ගුණයෙක් යුක්ත ව ලබා ගත යුතුයි.