Print this Article


ධනය ගොඩ ගැසුවොත් ප්‍රේතයෙක් වෙන්නත් පුළුවන්

ධනය ගොඩ ගැසුවොත් ප්‍රේතයෙක් වෙන්නත් පුළුවන්


ධනය නිසි පරිදි පරිහරණය නොකර හරිහම්බ කළ දේ දකිමින් මසුරු සිතින් මිය ගියේනම් පේ‍්‍රත ආත්මයක් ලබන්නට පුළුවන්.

ඒ අනුව අවසානයේ අප දුක් මහන්සියෙන් ධනය උපදවා ලබා ගෙන ඇත්තේ පේ‍්‍රත ආත්මයක් පමණක් නම් එයින් ඇති ඵලය කුමක්ද යන්න

සිතා බැලිය යුතුයි

දානය කියන්නේ අත් හැරීමයි. එසේ වුවත් අපේ ඇතැම් අය දානය ලබා දෙන්නේ තවත් වැඩි යමක් බලාපොරොත්තුවෙන්. එය හරියට පුංචි මාළුවෙක් බිලී පිත්තට අමුණා දියට දැමීමෙන් විශාල මාළුවෙක් අල්ලා ගැනීමට බලාපොරොත්තු වන්නා හා සමානයි.

එවැනි සිතිිවිලි ඇති කර ගතහොත් දානයේ නිසි කුසලය අත් වන්නේ නැහැ. එසේ දන් දීම තුළ ඇති වරද ආශාව මුල්වීම යි. මේ නිසා දානය ද අවබෝධයෙන් කළ යුතුයි. එහි පරමාර්ථය අත හැරීම මිස අල්ලා ගැනීම නොවිය යුතු යි. තමන් සතු ධනය තමා මෙන්ම අන් අයගේ යහපතටත් යෙදවිය යුතු බවයි බුද්ධ දේශනාව වන්නේ.

එසේ නොවුවහොත් ධනය කෙතරම් තිබුණද තමන් මෙන්ම අන් අයත් දැඩි දුකට මෙන්ම අපහසුතාවන්ට පත් වනවා. ඒ සඳහා බොහෝ අය දන්නා මච්ඡුරිය කෝසිය සිටුවරයාගේ කතාව ගෙන හැර දක්වන්නට පුළුවන්.

‘බුදුන් දවස මච්ඡුරිය කෝසිය නම් සිටුවරයෙක් සිටියා. අසූ කෝටියක් ධනයට හිමිකම් කීව ද සිටුවරයා කිසිවෙකුට අංශු මාත‍්‍රයක දෙයක් ලබාදෙන්නට ඉඩ දුන්නේ නෑ. තමන්වත් කෑවේ බීවේ නෑ. හරියට වස්ත‍්‍රයක් ඇන්දේ නෑ. ඔහුගේ ධනය රකුසන් අරක්ගත් විලක් වගේ. ඒ, මච්ඡුරිය කෝසිය සිටු රාජ සභාවට ගිය දිනයක්. ආපසු සිටු මැදුර බලා එන ගමනේ දී මග අසළ හිඳ කැවුම් අනුභව කරන මිනිසෙක් දුටුවා. සිටුතුමාටද කැවුම් කන්නට ආසා සිතුණා.

කැවුම් පිසීම වියදම් යන වැඩක් යැයි සිතා ආශාව යටපත් කර ගත්තා. ඒ ගැන කිසිවෙකුට කීවේ නෑ. එහෙත් වරින්වර කැවුම් කෑමේ ආශාව ඉස්මතු වුණා. ආශාව වැඩිකමට සිරුර සුදුමැලි වුණා. නහර මතු වුණා. සිතිවිල්ලේ කාලය ගත කළා. සිතින් පීඩා වින්ඳා. සයනයෙහි වකුටු වී නිදන්නට වුණා.

සිටුතුමාගේ වෙනස සිටු බිරිඳට දැනුණා. ඇයත්, සිටුවරයාත් අතර මෙවැනි කතාවක් සිදුවුණා.’

”හිමියනි, දින ගණනක් සිටම ඔබ වෙනස්වෙලා. අසනීපයක්වත් ද?”

” නැත, සොඳුර, මට කිසිදු අසනීපයක් නොවෙයි.”

”එසේ නම් ඔබට රජතුමාගෙන්වත් කරදරයක් ද? ”

”එසේත් නොවෙයි”

මෙසේ ප‍්‍රශ්නවලට වෙනත් පිළිතුරු ලබා දී අවසානයේ සිටු දේවිය ගැටලූව දැනගෙන සිටුතුමාට කැවුම් පිස දීමට අවශ්‍ය පියවර ගත්තා. එසේ වුවත් වෙනත් කිසිවකුටවත් කැවුම් නොදී තමන්ට පමණක් කැවුම් කෑමට හැකි වන පරිදි දෙදෙනා ම උඩුමහලට ගියා. දොර අගුළු දා කැඩුණු සහල් පිටි ස්වල්පයක් ගෙන කැවුම් පිසින්නට සූදානම් වුණා. දෙව්රම් වෙහෙර වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දිවැසින් දුටුවා. මුගලන් හිමි අමතා ඍද්ධියෙන් ගොස් මේ දෙදෙනාට කරුණු කියා දී තමන් වහන්සේ වෙත කැඳවාගෙන එන ලෙස වදාළා.

මුගලන් මහරහතන් වහන්සේ ඔවුන් දෙදෙනාට ප‍්‍රායෝගිකව අත් දැකීම් ලබා දී දෙදෙනාටම ධර්මය දේශනා කළා. දහම් අසා පැහැදුණු මච්ඡුරිය කෝසිය සිටු මුගලන් මහරහතන් වහන්සේ ට දානය සඳහා ආරාධනා කළා. එහෙත් මුගලන් මහරහතන් වහන්සේ ඔවුන් ජේතවනාරාමය කරා කැඳවාගෙන ගියා.

බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේට ඔවුන් ආහාර පිළිගැන්වූවා. ඉතිරි වූ කැවුම් බිරිඳත් සමඟ ආහාරයට ගත්තා. යාචකයන්ටත් බෙදා දුන්නා. තවත් ඉතිරි වුණා. ඒවා ජේතවනාරාමයෙහි දොරටුව අසල තැබුවා.

බුදුරජාණන් වහන්සේ ඔවුන් දෙදෙනාට ධර්මය දේශනා කළා. දහම් අසා දෙදෙනා ම සෝවාන් වුණා. එදා පටන් නිර්ලෝභ සිත් වූ සිටුවරයා සිය ධනය බුද්ධ ශාසනයේ දියුණුවටත්, පින් දහම් කටයුතු වලටත් යෙදවූවා.

මච්ඡුරිය කෝසිය සිටුවරයා තරමටම නොවුව ද අදටත් එවැනි චරිත සමාජයේ ජීවත් වෙනවා. මහන්සි වී ධනය උපයනවා, සේ ම තමන් ඒවායින් නිසි ප‍්‍රයෝජන ගත යුතුයි. අඹුදරුවන්, මවුපියන් පෝෂණය කළ යුතුයි. වෙනත් යුතුකම්, ඉටු කළ යුතුයි. අවශ්‍ය තැන අවශ්‍ය පමණට පරිත්‍යාගශීලි විය යුතුයි. අන්‍යයන්ට උදවු උපකාර විය යුතුයි.

වර්තමානයේ සමාජය මුහුණ පා ඇති අර්බුදය හමුවේ තමන් පමණක් නොව අනුන්ද ජීවත් කරවීමට හැකි පමණ උදවු උපකාර කළ යුතු වෙනවා. ශ‍්‍රී ලංකාවේ පමණක් නෙමෙයි මේ වන විට ලොව පුරා සිටින සියලූම ජාතීන් එසේ පරිත්‍යාග සිිදු කරනවා. එසේ වුවත් අපේ රටේ තවමත් ඒ තත්ත්වය තේරුම් නොගත් පිරිසකුත් සිටිනවා.

ජීවිතය කවර මොහොතක හැර යන්නට වේදැයි දන්නේ කවුරු ද? ධනය දෙස බලා, හරිහම්බ කළ දේ දකිමින් මසුරු සිතින් මිය ගියේනම් පේ‍්‍රත ආත්මයක් ලබන්නට පුළුවන්. ඒ අනුව අවසානයේ අප දුක් මහන්සියෙන් ධනය උපදවා ලබා ගෙන ඇත්තේ පේ‍්‍රත ආත්මයක් පමණක් නම් එයින් ඇති ඵලය කුමක්ද යන්න සිතා බැලිය යුතුයි.

ධනය උපයා ගත යුතු වන්නේ ගොඩ ගසන්නට නොවේ. අවශ්‍යතා ඇති දේට වියදම් නො කළේ නම් ඉන් ඇති ප‍්‍රයෝජනය කුමක් ද?

කාලාම සූත‍්‍රයේ් දී බුදුරජාණන් වහන්සේ විසින් කාලාමයන්ගෙන් මෙසේ විමසනු ලැබුවා.

‘කාලාමයිනි. මිනිසෙකු තුළ ලෝභය හට ගත් කල්හි තෙපි කුමක් සිතන්නෙහු ද? එය හට ගන්නේ යහපත පිණිස ද? අයහපත පිණිස ද? එවිට කාලාමයන් මෙසේ පිළිතුරු දුන්නා.

”ස්වාමිනී. භාග්‍යවතුන් වහන්ස, හානිය පිණිස ම ය.”

ලෝභී පුද්ගලයකුට සතුන් මැරීමට පුළුවන්. ඔහු නොදුන් දෑ ගනී. පරදාර සේවනයෙහි යෙදේ. බොරු කියයි. සසර දිගු කරන දුකට වේදනාවට පත්වන ක‍්‍රියාවන් හි නිරන්තරව ම යෙදෙයි. පවට බිය නො වෙයි. ලැජ්ජා නො වෙයි.

මේ නිසා තමන්ගේ අඩුපාඩු, දුර්වලතාවන් තමන් ම හඳුනාගත යුතුයි. නිවැරැුදි විය හැකි තමන්ටම යි. අපට සිතන්නට හැකියාව තිබෙනවා. ඒ අනුව හැදෙන්නට ද අවස්ථාව තිබෙනවා. පසුතැවිලි වන්නට සිදුවන්නේ එය තේරුම් නො ගෙන කටයුතු කිරීමෙනි.