Print this Article


පසුපස ආ පාපය

පසුපස ආ පාපය

රජගහනුවර ගිජ්ඣකූට පර්වතය කියන්නේ බුදුරජාණන් වහන්සේ වගේම මහ රහතන් වහන්සේලා නිතර විවේකීව වැඩ සිටින තැනක්. මෙම පර්වතය පා මුල නිගන්ඨයන් ද වාසය කළා.

දවසක් මුගලන් මහ රහතන් වහන්සේත් ලක්ඛණ තෙරණුවොත් පිණ්ඩපාතේ වඩිමින් සිටින කොට සෘද්ධිමතුන් අතර අග තැම්පත් මුගලන් හාමුදුරුවෝ සිනහ පහළ කළා. මොකද දන්නව ද බියජනක පිළිකුල් සහගත දර්ශනයක් දැකීම නිසා. හැබැයි මේක ලක්ඛණ හාමුදුරුවෝ දැක්කේ නැහැ. මුගලන් මහ රහතන් වහන්සේගේ සිනහ පහළ කිරීම ලක්ඛණ හාමුදුරුවෝ දුටුවා. ලක්ඛණ හාමුදුරුවෝ අහනවා මොකටද ස්වාමීනි සිනහ පහළ කළේ කියලා. මුගලන් මහ රහතන් වහන්සේ කියනවා ඒක කියන්න මේ වෙලාව නොවෙයි. අපි දැන් බුදුහාමුදුරුවෝ වෙත යනවානේ එතකොට අහන්න කියලා.

ගිජ්ඣකූට පර්වතයෙන් බැහැලා පිණ්ඩපාතේ වැඩම කරලා දන් වළදා බුදු හාමුදුරුවෝ බැහැදකින්න වැඩම කළා. දැන් ලක්ඛණ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ඉදිරියේම මුගලන් මහරහතන් වහන්සේගේ සිනහ පහළ කිරීම ගැන විමසුවා. මුගලන් මහ රහතන් වහන්සේ කියනවා මම හිනාවුණේ බියජනක පිළිකුල් සහගත පෙරේතයෙක් දැක්ක නිසයි කියලා. ඒ පෙරේතයා මහ පුදුම කෙනෙක්. හිස මිනිස් හිසක්, ශරීරය සර්පයෙක් වගේ, ඒ නිසා එයාගෙ නම තමයි අහිපේ‍්‍රතයා. මෙයාගේ සිරුර යොදුන් කිහිපයක් දිගයි. හිසෙන් නගින ගින්න වලිගය දක්වා දිව යනවා වලිගයෙන් හට ගන්න ගින්න හිස දක්වා දිව යනවා. සිරුර මැදින් හට ගන්න ගින්න දෙපසටම විහිදිලා යනවා. මේ කථාව අසා සිටි බුදුහාමුදුරුවෝ හිස සලමින් එම කථාව අනුමත කරමින් මෙහෙම දේශනා කළා. ”මොග්ගල්ලාන කියන්නේ සැබෑවක් මමත් බුදු වුණු දිනයේ දී මෙම අහිපේ‍්‍රතයා දැක්කා. මම ඒ ගැන නොකිව්වේ මෙය පිළි නොගත්තොත් ඔවුන්ට අවැඩ පිණිස පවතින නිසා”. මුගලන් මහ රහතන් වහන්සේ දේශනා කළ තොරතුරු අහලා පූරුවේ මෙම පේ‍්‍රතයා කළ අකුසල කර්ම කුමක් ද කියලා බුදු හාමුදුරුවන්ගෙන් විමසා සිටියා.

මහණෙනි, අතීතයේ බරණැස් නුවර නදියක් අසල පසේ බුදුරජාණන් වහන්සේ නමකට පන්සලක් හදලා දුන්නා. ඒ පන්සලේ ඉදලා උන් වහන්සේ නිතර නගරයට පිඬු පිණිස වඩිනවා. නගරවාසීන් ද දිනපතා මල්පහන් රැගෙන උන් වහන්සේට උපස්ථාන කරන්ට යනවා. මේ අතර එක් පුද්ගලයෙක් පන්සලට යන පාර අසල කුඹුරක් තනා ගොවිතැන් කරන්නට වුණා.

උදේ සවස පන්සලට යන මිනිසුන් නිසා කුඹුර පෑගිලා විනාශ වුණා. මිනිසුන්ට කොතෙකුත් දේ කීවත් පලක් වුණේ නෑ. මේක නවතන්ට කෙටි මාර්ගයක් කල්පනා කළා. හැබැයි ඒක හරිම භයානක එකක් වුණා.

පන්සල තිබෙන නිසානේ මේ විනාශය කියා හිතලා පසේ බුදුහාමුදුරුවෝ පිඬු පිණිස වැඩියට පස්සේ පන්සලේ බඩු විනාශ කරලා පන්සලට ගිනි තිබ්බා. පිණ්ඩපාතේ වැඩම කරලා බලනකොට පන්සල පිලිස්සිලා තිබූ නිසා වෙනත් තැනකට වැඩම කළා. සුපුරුදු පරිදි මිනිසුන් තෙල් මල් පහන් රැගෙන පන්සලට යනකොට දැවී සුන්වී ගිය ආකාරය දැකලා මහත් කම්පාවට පත්වුණා. මිනිසුන් පසේ බුදු හාමුදුරුවෝ කොහේ වැඩියාද කියමින් සොයන අතර කුඹුරු හිමියා ද ඒ අතර වුණා. පන්සලට ගිනි තැබූවේ තමා බව පවසා සිටියා. කෝපවූ මිනිසුන් මේ දුෂ්ඨයා නිසා අපට පසේ බුදුහාමුදුරුවෝ නැතිවුණා කියලා ඔහු අල්ලාගෙන දඬු මුගුරුවලින් පහර දීලා මරා දැම්මා.

පන්සලට ගිනි තැබීමේ පාප කර්මය නිසා අවීචි මහා නරකයේ ඉපදිලා මහ පොළොව යොදුනක් වැඩෙන තුරු අනන්ත දුක් විඳලා ගිජ්ඣකූට පර්වතයේ මෙසේ ප්‍රෙතයෙක්ව ඉපදිලා දුක්විදින බවත් දේශනා කළා. මහණෙනි පාපකර්මය නම් කිරිවැනිය දොවාගත් පමණින් නොමිදෙයි, එසේම පාප කර්මද වෙනසක් නොවී විපාක දෙයි.

ඒ නිසා දරුවනේ මේ සිංහල අලූත් අවුරුදු සමයේ අලූතින් හිතලා ස්වභාව ධර්මයට එරෙහි නො වී ගස්වැල්වලට, සතා සිව්පාවාට ආදරය කරමින් අකුසල් දුරු කොට කුසල් කරමින් නිවැරැදි දිවියක් ගත කිරීමට අධිෂ්ඨාන කරගන්න ඕනේ.