Print this Article


සුවපත් දිවියකට අවුරුදු චාරිත‍්‍ර

 සුවපත් දිවියකට අවුරුදු චාරිත‍්‍ර

සිංහල අලූත් අවුරුද්දේ සදාචාරාත්මක අගය රඳා පවතින්නේ ඒ හා බැඳණු ලක්වැසි ජනතාවගේ එකමුතුකම, වැඩිහිටි ගෞරවය, ආචාර සමාචාර විධි අනුව කටයුතු කිරීමෙනි.

මේ උදාවූ නව වසර මෙයින් පෙර වසරවලට වඩා වෙනස්ම අත්දැකීමක් ගෙන දෙන්නකි. සති තුනක පමණ කාලයක් බෝවන රෝගයකින් ජනතාව බේරා ගැනීමට රජයේ නීතියට අනුව ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වී ඇති අවස්ථාවක රට වැසියන්ට අවුරුදු සමරන්නට වී තිබේ. සූර්යයා සහ චන්ද්‍රයා මූලික කරගත් ඉන්දියානු හින්දු බැතිමතුන්ගේ පුදපූජා චාරිත‍්‍රවලට අනුව මෙම සිංහල අවුරුදු චාරිත‍්‍ර බෞද්ධ සම්ප‍්‍රදාය හා බැඳී සංස්කරණය වූවකි.

අප මේ නව අවුරුදු ගැන සිතන මොහොතේදීත් රාජ්‍ය නායකයා ඇතුළු බලධාරීන්, වෛද්‍යවරුන් සහ එහි කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවෝ සේවයේ නියුක්තව සිටිති. රටේ ආරක්ෂක අංශය ලෙස සැලකෙන පොලීසිය සහ හමුදාව ද තම දිවි පරදුවට තබා ජිවිත සුරක්ෂිත කරවීමේ යෙදී සිටිති. රටේ සියලූ දෙනාගේ ජීවිත සුරක්ෂිතතාව වෙනුවෙන් ක‍්‍රියාත්මක වන මව්වරු පියවරු වූ සෞඛ්‍ය හා ආරක්ෂක, වෙළඳ ක්ෂේත‍්‍රයන්හි නියුක්ත පිරිස ඇතුළුව නිවසේ සිටින කාන්තාවන්ගේ වගකීම සුළුපටු වූවක් නොවේ. නිවසේ විවිධ සාමාජික සාමාජිකාවන් එනම් මව, පියා, දියණිය, සොහොයුරා, සොහොයුරිය සේවයේ නියුක්ත්ව සිටින අවස්ථාවක වුව ඔවුනට ආශීර්වාද කිරීම මව්පියන්ගේ මෙන්ම රටවාසී අපගේ යුතුකමකි. මේ නව වසරේ මුළු රට එකම පවුලක් ලෙස සිතූ විට කොහේ සිටියත් මේ චාරිත‍්‍ර ටික සිදු කර ගැනීමට ද පිළිවන. සමහර විට පියා එම රැුකියාවන්හි නිරත වී ඇත්නම් පවුලේ සියලූ දෙනා ඒකරාශී නොවන අවුරුද්දක් විය හැකියි.

ලංකාවාසී සියලූ දෙනාට විශේෂ වගකීම් රැසක් පැවතිණි. ඒ අතර ගෙදරක ගෘහිණිය ලෙස මවක ලෙස බිරිඳ ලෙස සහෝදරියක ලෙස කාන්තා ඔබට විවිධ වගකීම් පැවරී තිබුණාට කිසිදු සැකයක් නැත. මේ නව වසර එළැඹෙන විට නිවසක ප‍්‍රධාන වූ පියා හැරුණු විට මවගේ භූමිකාවට පැවරී ඇති වගකීම කෙබඳුදැයි විමසා බලමු.

නැකතට ගිනි මෙළවීම ආහාර අනුභවය හා ගනුදෙනු කිරීම වැඩ ඇල්ලීම අවුරුද්දේ කැපී පෙනෙන විශේෂාංගයන් වේ. ආහාරපාන ගැනීමේ දී පවා වැඩිහිටි තරුණ බාල සෑම වයසකට ම අයත් ස්ත‍්‍රී පුරුෂ භේදයක් නොමැතිව ම ඔවුනොවුන්ගේ ගෞරවයට බාධාවක් නොවන පරිදි බෙදා හදා ගැනීම ද අප රටට පමණක් ආවේණික අංගයකි.

ඒ වෙනුවෙන් කැවුම්, කිරිබත්, අතිරස, මුං කැරලි ආදී ප‍්‍රදේශයට ආවේණික මිහිරි රස කැවිලි ශරීර සෞඛ්‍යයට හිතකර පරිදි සකසා ගෙන කෙසෙල් සමග ආහාර බඳුන් සුවඳවත් වන ලෙස සකසා පළමුව කිරිබත් කටක් පියා මවට හෝ මව හැම දෙනාටම කැවීම පොදු චාරිත‍්‍රයකි. සිංහල බෞද්ධ සංස්කෘතියේ කුඩාම ඒකකය පවුලයි. පවුලේ සාමාජික සාමාජිකාවන් අතර වැඩිම වගකීම් දරන්නී අම්මාය. අම්මාගේ වගකීම රටක රාජ්‍යයක රාජ්‍ය නායක නායිකාවන්ගේ වගකීම හා සමාන වේ. රාජ්‍ය නායකයා සෑම විටම රටවැසියාගේ ආහාර ප‍්‍රශ්නය විසඳිය යුතුය. ඇඳුම්, නිවාස, සෞඛ්‍යය යන ප‍්‍රශ්න විසඳිය යුතුය. ‘අම්මා නිල නොලත් වෛද්‍යවරියයි.’ වෛද්‍යවරියගේ කාර්යභාරය තමා වෙතට පැමිණෙන රෝගීන් සුවපත් කිරීමයි. අම්මා විසින් නිවසේ සිටින සියලූ දෙනා සුවපත් කරනු ලබන බව ඔබ සිතුවාද? ඇය පළමුවෙන්ම ඔබගේ කුසගිනි නමැති රෝගය සුවපත් කරන්නට ආහාර සොයා දෙන්නීය. ආහාර රුචි ලෙස ප‍්‍රිය ලෙස පමණක් නොව ඔබගේ නිරෝගි බව සුරැුකෙන ලෙස සමබර කර ගැනීමට සිතන්නී අම්මාය.

නව වසර එළැඹෙන විට ගෘහිණියන්ගේ් වගකීම වන්නේ පිරිසිදු කිරීමයි. නිවසේ මකුළුදැල් ඇත්නම් ඒවා කඩා පිරිසිදු කිරීම, ඉවුම් පිහුම් කරන බඳුන් පිරිසිදු කිරීම, මිදුල වත්ත පිටිය පිරිසිදු කිරීම නව වසරට සූදානම් වීම සංකේතවත් කරයි. මේ වසරේ දිගු අකාල නිවාඩුවක් හමු වී ඇති නිසා මේ වන විටත් ඔබ ඒවා සිදු කර තිබෙනු ඇතැයි අපි සිතමු. එසේ වුවත් සමස්ත කාන්තා පරපුරට දෙන මේ පණිවුඩය වන්නේ ඔබ නිවසේ සිටිමින් කාලයත් ධනයත් තිබෙන අයුරින් හසුරුවා ගෙන අරපිරිමැස්මෙන් යුතුවීම, දරුවන් වෙනුවෙන් කළයුතු සතුටු කිරීම්, නිරෝගි කිරීම්, ප‍්‍රතිශක්තිය ඇති කිරීම් ආදිය වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරයයි.

දරුවන් වෙනුවෙන් අලූත් ඇඳුම් සකස් කිරීම ද ගෘහිණියට ඇති වගකීමකි. දරුවන්ගේ පියාගේ සහාය ඇතිව තම දරුමල්ලන් කෙරෙහි ඇඳුම් සකස් කොට නව වසරේ ඇන්දවීමෙන් ඔවුන් සතුටු සන්තෝෂ භාවයට පත් කිරීමට ද අම්මා උත්සාහවත් වෙයි. දියණියකට නම් ඇගේ ලස්සන මතු වන ලෙස අලංකාර ඇඳුමින් ඇඟ සරසන්නට අම්මා පෙහොසත් වෙයි. පුතුන්ට ගැළපෙන ඇඳුම් ඇන්දවීමෙන් ඔවුන්ගේ වීර ක‍්‍රියා දඟකාරකම්වලදී මෛත‍්‍රී සිතින් කරුණාවෙන් මුදිතාවෙන් සහ උපේක්ෂාවෙන් බලන්නට අම්මාට හැකිවීම පුදුම සහගතය. සමහර විට වසර ගණනක් අලූත් ඇඳුම් නොගන්නා අම්මා සහ තාත්තා දරුවන්ට කෙසේ හෝ අලූත් ඇඳුම් අන්දවා සතුටින් තබන්නට වෙහෙසෙති.

ඇඳුම් ඇඳීම සිංහල බෞද්ධ සංස්කෘතිය හා ගැළපෙන ලෙස දියණියකගේ නම් ඇඟ වැසෙන පරිදි රුව මතු වන පරිදි සකස් කර ගන්නට මේ වසරේ ඉඩකඩ ඇසිරී ඇත. දරුවා කැමති පිරිසිදු ඇඳුම් ඇන්දවීමට මේ වසරේ ඔබට පිළිවන.

දෙවැන්න ලෙස තම ඇසුරේ සිටින සියලූ දෙනාගේ කායික මානසික නිරෝගිතාව උදෙසා ආහාර සම්පාදනය කරන්නී ඇයයි. කවන්නිය, පොවන්නිය නිවසේ සාමාජික සාමාජිකාවන් ගැන විමසා බලන්නිය ඇයයි. සමබර ආහාරයක් සකස් කර ගැනීමේ දී පාරම්පරිකව එන ක‍්‍රමවේද අනුගමනය කරමින් කිරි බතක් පිසීම සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සැලකේ. එසේම සමබර ආහාර වේලක් ලෙස ද කිරිබත් භාවිතයට ගැනේ. නව වසරේ විශේෂ චාරිත‍්‍රයක් ලෙස ලිප ගිනි මෙළවීම සහ කිරි ඉතිරවීම සිදු කළ හැකිය. ගිනි අපට අත්‍යවශ්‍ය දෙයකි. එහෙත් ගිනි පමණක් අපගේ ජීවිතවලට ලැබීම අනවශ්‍යය. එබැවින් කිරි යනු සෞභාග්‍යයේ සංකේතයක් ලෙස මෙන්ම සිහිල් ගුණයෙන් යුතු ද්‍රව්‍යයක් ලෙස සැලකේ්. පළමුව පහනක් දල්වා එම පහනින් ලිපගිනි මොළවා ලිප මත කිරි හට්ටියක් තැබීමෙන් සංකේතවත් කරන්නේ අත්‍යවශ්‍ය ගිනි යනු ආහාර පිසීම නිරන්තර සිදුවීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමයි. කිරිවලින් සංකේතවත් කරන්නේ සමබර නව වසරක් ලැබේවා යන ප‍්‍රාර්ථනයකි. ලිප ගිනි මෙළවීමෙන් පසු කිරිබතක් සකස් කර ගැනීමද අම්මා සතු වගකීමයි. එය සැකසීමේදී කැකුළු සහල්, වතුර, පොල්කිරි සහ ලූණු යොදා සුවඳ සඳහා රම්පෙ කොළ, එනසල්, කරාඹු නැටි වැනි දේ යොදා ගැනීමෙන් තම නිවැසියන්ගේ නිරෝගිතාව උදෙසා සමබර ආහාර වේලක් සකසා ගත හැකිය. එය සකසා ලස්සනට කැට කපා ගැනීම කළ හැකිය. එය සකසා ගන්නේ සහල්, පොල්කිරි සහ ලූණු ස්වල්පයක් යෙදීමෙන් නිසා එහි ගුණය සීතල බැවින් එය සමබර කර ගැනීම සඳහා ලූණු මිරිසක් සාදා ගත හැකිය. එයින් එම ආහාර වේල සැහැල්ලූ සමබර ආහාර වේලක් ලෙස සකසා ගෙන සියලූ දෙනා එක්ව අනුභව කළ හැකිය. එසේම ගෙදරදී අපහසුවකින් තොරව සකස් කරගත හැකි පැණිරස ආහාර ලෙස හාල්පිටි සහ සීනි, පොල් ලූණු යොදා සකස් කර ගන්නා අග්ගලා, අළුවා සාදා ගත හැකිය. එමෙන්ම එම ආහාර වේල සමබර කර ගැනීම සඳහා සීනි යෙදූ කහට කෝප්පයක් සාදා ගත හැකිය.

දැහැත් (බුලත් අතක් දී මවට පියාට දරුවන් විසින් වැඳීම, වැඩ ඇල්ලීම, මුදල් ගනුදෙනු කිරීම, ආදී සද් චාරිත‍්‍ර තම තමන්ට හැකි පමණින් සිදු කිරීම මෙම වසරට ගැළපේ. දරුවන්ට පොත්පත්වල ක‍්‍රියාකාරකම් ද වැඩිහිටියන්ට තම වෘත්තියට ගැළපෙන ක‍්‍රියාවන්ද පැළ සිටුවීම වැනි දෑ වැඩ ඇල්ලීම වෙනුවෙන් කළ හැකිය.

ක‍්‍රීඩා කිරීමෙන් සතුට විනෝදය, ජය පරාජය මධ්‍යස්ථව දරා ගැනීමට හැකිවීම, ඉවසීම වැනි කරුණු පුහුණුවීමට හැකි වීම, ශාරීරික සහ මානසික නිරෝගිතාව අපේක්ෂා කෙරේ. අනතුරු නොවෙන සේ තම දරුවන් අවුරුදු ක‍්‍රීඩාවල යෙදවීමට ද අම්මා වගබලා ගනී. රතිඤ්ඤා වැනි පරිසරය ¥ෂණය වන සතුටුවීම් වෙනුවට මෙවර ගෙදරදී කළ හැකි ක‍්‍රීඩාවලට යොමු කරවීම සුදුසුය. නංගී මල්ලී අක්කා අය්යා සමඟ ‘කාසිවලට’ ඉලක්කයට ගැසීම වැනි ක‍්‍රීඩා මෙම වසරේ සිදු කිරීම සුදුසුයැයි අම්මාට නිර්දේශ කළ හැකිය. මෙයින් ඉලක්කයට ගැසීමට අතද සිතද පුහුණු කරගත හැකිය. එබඳු ක‍්‍රීඩාවක් කිරීමට ද පොත පතක කටයුතුවල නොයෙදෙන කාලයට කළ හැකිය.

නිරෝගි බව සඳහා ස්නානය ද වැදගත් වූවකි. සමහර විට සිංහල ක‍්‍රයට ඖෂධීය පත‍්‍ර හිසට හා පයට තබවා හිසතෙල් ගෑම සිදු නොකළත් පොල්තෙල් වැනි ඖෂධයක් හිසෙහි ගා අදාළ චරිත‍්‍ර අදාළ දිනයන්හි සිදු කිරීමෙන් තම දරුවන්ට අම්මාගෙන් ලැබෙන ආශීර්වාදය අප‍්‍රමාණය. මෙවර පන්සල හෝ වෙනත් ස්ථානයකට නොයා නිවසේ රැදී සිටිමින් මේ සත් චාරිත‍්‍රයන්හි යෙදී මේ අභාග්‍ය සම්පන්න රෝගී අවස්ථාව ඉක්මනින් දුරු වී සෞභාග්‍යය ළඟා වේවා.