[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිගාසිරි විඳින්න සිල්වත් වෙන්න

දිගාසිරි විඳින්න සිල්වත් වෙන්න

" මදුරුවා කෑ නිසා ගැහුවා” ඒක පවක්. “මැස්සො වැසූ නිසා මැරුවා” ඒත් පවක්. ඇයි? හිත අසංවර වුණා. කලබල වුණා. ඒ නිසා සතා මරා දමන්න පෙළඹුණා."


පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දීර්ඝායු සම්පත් ලැබීමට නම් සංසාරයේ පින්කර තිබෙන්නට ඕනෑ කියලා. ඒ පින සීල සම්පන්නකම පමණයි නිරෝගී සම්පත් ලබන්නට තිබෙන එකම රැකවරණය.

ඒ වගේම ආහාර ලබන්නට කර තිබෙන එකම කුසලය සීල සම්පන්නකම යි. නිරෝගී සුවයෙන් ඉන්නට, යහපත් මව්පියන් ලබන්නට, යහපත් දරුවන් ලබන්නට කර තිබෙන එකම කුසලය සීල සම්පන්නකම යි.

පින්වතුනි, දීර්ඝායු විඳින්න නම්, කය හසුරුවා කරන පව් වැඩවලින් අත මිදෙන්න ඕ්නෑ. ප්‍රාණඝාතයෙන් වළකින්නට ඕනෑ. යම් පුද්ගලයෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් කුසල විපාක පමණක් විසි හයකට වඩා තිබෙනවා. ප්‍රාණඝාතයෙන් වළකින්නට ඕ්නෑ කෙසේද? ජිවිත පරිත්‍යාගයෙන් “මගේ ජීවිතය නැති වුණත් මම සතුන් මරන්නේ නෑ” කියන අධිෂ්ඨානය තිිබෙන්නට ඕනෑ. “ මදුරුවා කෑ නිසා ගැහුවා” ඒක පවක්. “මැස්සො වැසූ නිසා මැරුවා” ඒත් පවක්. ඇයි? හිත අසංවර වුණා. කලබල වුණා. ඒ නිසා සතා මරා දමන්න පෙළඹුණා.

පින්වතුනි, යම් අවස්ථාවක ප්‍රාණඝාතයක් කරයි ද, එහි විපාකය අඩු ආයුෂ ඇතිව ඉපදීම යි.

අපේ ශාසන ඉතිහාසයේ, බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160 ක් දීර්ඝායුෂ වින්ඳා. එසේ වැඩ ඉන්නට කුසලයක් බලපෑවා. කුමක් ද? සත්ත්ව ඝාතනයෙන් ඈත්වෙලා ගිලනුන්ට උපස්ථාන කළා. කවදාවත් සතෙක් මැරවේ නෑ. ගිලනුන්ට උපකාර කරනවා කියන්නේ එක් අතකින් අභය දානය දෙනවා කියන එකයි. ගිලන් අයට ඇවිද ගන්නට නො හැකියි. සමහර විට මිය යන්නත් පුළුවන්. එලෙස දුකට පත් වූ අයට පිහිට වුණා කියනවා. කවුද? බක්කුල මහ රහතන් වහන්සේ. රහත්බව ලැබූ ආත්මයේ පමණක් නොවේ ඊට පෙර ආත්මලදීත්.

පෙර ආත්මයක භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් වනගතව භාවනා කරමින් වැඩ සිටියා. උන්වහන්සේලාට අවශ්‍ය කරන ඖෂධ ගෙන ගොස්, ගිලන්පස පූජාවක් සිදු කිරීමේ කුසල කර්මය දීර්ඝායු විඳින්නට හේතු වූ බව පැවසෙනවා. එසේනම්, ගිලනුන්ට උපස්ථාන කිරීම සංසාරය පුරා ම කුසල කර්මයක් ලෙස බලපානවා.

පින්වත්නි, එය කිසිම කෙනෙකුට ගන්නත් බැරි, කිසිම කෙනෙකුට දෙන්නත් බැරි කුසලයක්. කිසිවෙකුට සොරෙන් ගත නොහැකියි. ඒ වගේම තමන්ට විඳින්නට තිබෙනවා නම් විඳින්නටත් පුළුවන්.

එහෙමනම් එය තමන් විසින් කරගත් කර්මයක්. කුමක් ද? දීර්ඝායුෂ සම්පත් විඳින කුසල කර්මය.

දීර්ඝායුෂ විඳින පුද්ගලයින් ඔබ දැක තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා “ මහණෙනි, යම් වූ කෙනෙක් දීර්ඝායු සම්පත් විඳින්නේ ද, ඒ පුද්ගලයා දුන් අභය දානමයි ඊට හේතුවක් බවට පත්වන්නේ” යනුවෙන්

ඒ කියන්නේ මේ පුද්ගලයා සසර පුරාවට අභය දානය දුන්නා. ඇළෙහි දොළෙහි ගහගෙන ගිය සතුන් බේරා ගත්තා, ජීවිත පරිත්‍යාගයෙන් යුතුව. පිරිස් සමග ගොස් මාංශ පිණිස ආශාවෙන් සතුන් ඝාතනය කළේ නෑ. සිය දිවි නසා ගන්නට යන අයට තේරුම් කර දුන්නා ජීවිතයේ වටිනාකම. පරිත්‍යාගයෙන් ආරක්ෂා කළා. ඒ හේතුවෙන් මිනිස් කියන උතුම් සත්ත්ව ස්වභාවය තුළ නිරෝගී මනුෂ්‍යයෙක් ව ඉපදෙන්න පින විපාක දුන්නා. මිනිසෙක්ව, දෙවියෙක් ව, බ්‍රහ්මයෙක් ව උපදින්නට මේ සීල සම්පන්නකම බලපාන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ ගති සම්පත්තිය. ඔබ ගති සම්පත්තිය ලබා නැද්ද? ලැබුවා. කුමට ද? මිනිසෙක් වී ඉපදෙන්නට.

ඒ වගේ ම අප හැමෝටම දීර්ඝායුෂ විඳින්නට නො හැකියි. එයට කුසල අකුසල කර්ම විපාකය බලපානවා.

මනුෂ්‍ය තලයක, දිව්‍ය තලයක, බ්‍රහ්මතලයක නිරෝගි සම්පත් ඇතිව, දීර්ෂායුෂ ඇතිව උපදින්නට නම් කළ යුත්තේ කුමක් ද? නිවැරැදි ජීවිතයක් ගෙවීමට හුරුවීම යි. කය සුචරිතවත් විය යුතුයි. වචනය සුචරිතවත් විය යුතුයි. මනස සුචරිතවත් විය යුතුයි.

ඔබ හොඳ වැඩ කරනවා. ඒ හොඳ වැඩ, තමන් විසින් කරගත් දේ, තමන්ගේ ජීවිතය සම්බන්ධ ව උපකාරවත් වෙනවා. සසර පුරාම ඒ පින, කුසලය බලපවත්වනවා.

මැදින් අමාවක පෝය 

 මැදින් අමාවක පෝය මාර්තු 23 වන දා සඳුදා අපරභාග 12.30 ට ලබයි. 24 වන දා අඟහරුවාදා අපර භාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා සඳුදා ය.

මීළඟ පෝය අප්‍රේල් 01 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]