Print this Article


සිදුරු නොවී ආරක්ෂා කළ යුතු සීලය

සිදුරු නොවී ආරක්ෂා කළ යුතු සීලය

" ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා තමන් රකින සිල් පද මුලින් හෝ අගින් නොකැඩී ආරක්‍ෂා කරන්නේ නම් අඛණ්ඩ සීලයක් ආරක්‍ෂා කරන ලද්දේ වේ. එසේ සීලය ආරක්‍ෂා කිරීම නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා විසින් කළයුතු වේ."

බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ සමයේ අනඳ මාහිමියන් අරබයා අවවාද කරන ලද්දේ තමන් වහන්සේගේ ඇවෑමෙන් ධර්මය හා විනය ශාස්තෘ ස්ථානයේ තබාගන්නා ලෙසයි. එබැවින් ත්‍රිපිටක ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ දකින්නා වූ අප උන්වහන්සේගේ දේශන අනුව යමින් නොපමාව ශීලාදිය ආරක්‍ෂා කරමින් නිවන් පිණිස භාවනාදිය වැඩිය යුතු වේ.

වර්තමානයේ නුවණැති බොහෝ දෙනෙක් සිල් රැකීමට යොමු වී ඇති බව ද අසන්නට, දකින්නට ලැබේ. එහෙත් සමහර විටෙක සිල් රකින කෙනෙකුගෙන් සිල් රැකීමේ අර්ථය කුමක්දැයි විමසා බැලුවහොත් විවිධාකාර පිළිතුරු ලැබේ. සමහරෙක් සමාජ අපවාදවලින් මිදීමට සිල් රකිති. සමහර කෙනෙක් සමාජයේ කැපී පෙනීමට සිල් රකිති. තවත් සමහරෙක් පුරුද්දට සිල් රකිති. මේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ වදාළ සිල්පද ආරක්‍ෂා කරන නමුදු ඒ බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයෙන් තරමක් දුරින් සිටින්නෝ වෙති. ඇතැම් විට අන්‍යාගමිකයන් ද සමහර සිල්පද ආරක්‍ෂා කරන බව ඔවුන්ගේ ආගමික ඉගැන්වීම් වලින් හෙළි වේ. උදාහරණයක් ලෙස කිතුනු බැතිමතුන් බයිබලයේ එන දස පනත ආරක්‍ෂා කරමින් අපි රකින ඇතැම් සිකපද රකිති. එසේ නම් ඒ අන්‍යාගමිකයෝ ඒ සීලයේ බලයෙන් නිවන් පසක් කරගනිත් ද? එය සිදු විය නොහැකි ය. ඔවුන්ගේ සීලය බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ නැති බැවිනි.

එසේ නම් බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ඇති සීලය ආරක්‍ෂා කරන්නේ කෙසේ ද යන්න විමසා බැලීම කාලෝචිත වේ.

බුදුරජාණන් වහන්සේ මහාපරිනිර්වාණ සූත්‍රයේ දී දේශනා කර වදාළේ ‘භික්‍ෂූන් වහන්සේලා, කඩ නොවූ , සිදුරු නොවූ , සබල නොවූ , නොකැළැල් වූ , තෘෂ්ණා දාසත්වයෙන් මිදුණා වූ , නුවණැතියන් විසින් ප්‍රශංසා කරන ලද්දා වූ , තණ්හා-දිට්ඨී-මාන වලින් නොපැහැසුණා වූ , සමාධිය පිණිස පවත්නා වූ , සීලයන්හි සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ විවෘතව මෙන් ම රහසිගත ව, සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයි නම්, ඒ තාක් ඒ භික්‍ෂූන් වහන්සේලාගේ වැඩීමක් ම අපේක්‍ෂා කළහැකි බවත් පිරිහීමක් අපේක්‍ෂා නොකළයුතු බවත්’ ය. මේ අනුව අඛණ්ඩාදි වශයෙන් සීලය ආරක්‍ෂා කිරීමෙන් ම නිවන් මාර්ගය සම්පූර්ණ වේ.

යම් පුද්ගලයෙක් රකින සීලය මුලින් හෝ අගින් අපිරිසිදු වී නැත්නම් එය අඛණ්ඩ සීලයක් නම් වේ. ලීයක් මුලින් හෝ අගින් කැඩී ගියේ නම් එය කැඩුණු ලීයක් ලෙස හැඳීන්වේ. එසේම මුලින් හෝ අගින් අපිරිසුදු වූ සීලය ඛණ්ඩ සීලයක් නම් වේ. ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා තමන් රකින සිල් පද මුලින් හෝ අගින් නොකැඩී ආරක්‍ෂා කරන්නේ නම් අඛණ්ඩ සීලයක් ආරක්‍ෂා කරන ලද්දේ වේ. එසේ සීලය ආරක්‍ෂා කිරීම නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා විසින් කළයුතු වේ.

තමන් සමාදන් ව රකින සිල්පද මැදින් අපිරිසුදු වීම, සිදුරු වීම නම් වේ. රෙදි කඩක් මැදින් සිදුරු වුවහොත් එය සිදුරු වූ රෙදිකඩක් ලෙස හැඳීන්වේ. එසේම සීලය ද මැදින් අපිරිසුදු වූ විට සිදුරු වූ සීලයක් නම් වේ. නිවන් සාක්‍ෂාත් කරගැනීම පිණිස තමන්ගේ සීලය සිදුරු නොවී ආරක්‍ෂා කළයුතු වේ.

ඇතැම් එළදෙනකගේ පිටේ දික් වූ, වටකුරු වූ රතුපාට, කළුපාට ආදි වශයෙන් නොයෙක් පුල්ලි ඇතුවාක් මෙන් ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා යමෙක් ආරක්‍ෂා කරන සිල්පද කිහිපයක් පිළිවෙළින් අපිරිසිදු වී ඇත්නම් ඒ සීලය ද සබල සීලයක් ලෙස හැඳීන්වේ. එයින් දැක්වෙන්නේ ද සීලය අපිරිසිදු බවයි. නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා තමන්ගේ සීලය පිළිවෙළින් සිල්පද අපිරිසුදු වීමකින් තොරව අසබල ලෙස ආරක්‍ෂා කරගත යුතු වේ.

එළදෙනකගේ පිටේ පිළිවෙළකින් තොරව තැන තැන ලප කැලැල් තිබෙන්නාක් මෙන් යම් පුද්ගලයෙක් රකින සීලය තැනින් තැන අපිරිසුදු වේ නම් එය කම්මාස සීලයක් නම් වේ. නිවන් දැකීමට නම් තමාගේ සීලය තැනින් තැන අපිරිසිදු නොවී නොකැළැල්ව ආරක්‍ෂා කරගත යුතු වේ.

මෙසේ විශේෂ අපිරිසුදු වීමකින් තොරව වුව ද යම් පුද්ගලයෙක් රකින සීලය සත් වැදෑරුම් මෙවුන්දමින් හෝ ක්‍රෝධය, බද්ධ වෛරය ආදියෙන් හෝ ලාමක ධර්මයන්ගෙන් අපිරිදු භාවයට පත් වී නොමැති නම් එම සීලය නොකැඩුණු, සිදුරු නොවුණු, නොකැලැල් සීලයක් ලෙස හැඳීන්විය හැකි වේ. යම් පුද්ගලයෙක් හුදෙක් නිවන් සාක්‍ෂාත් කරගැනීම පිණිසම තමාගේ සීලය නොකඩවා ආරක්‍ෂා කරගන්නේ නම් ඔහු අන් සියල්ලටම වඩා බුදුරජාණන් වහන්සේට සමීප අයෙක් වේ.