Print this Article


ලොවට පැමිණෙන අමුතු රෝග

ලොවට පැමිණෙන අමුතු රෝග

වර්තමානයේ ලොව පුරා පැතිර යන කොරෝනා (කොවිඩ් 19) වැනි රෝග සම්බන්ධයෙන් මීට වර්ෂ දෙදහස් පන්සියයකටත් පෙර කාලයක බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍යය පවත්වාගෙන යාමට උපදෙස් දීමේ දී සාකච්ඡා කොට ඇති අයුරු විනය පිටකයේ සඳහන් වේ.

එම රෝග හා රෝග හේතු මෙන්ම ඊට අදාළ ප්‍රතිකාර ක්‍රම විමසීමේ දී පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙන් ම සත්ත්වයාගේ යහපත් පැවැත්මට අදාළ වටිනා උපදේශ රාශියක් බුදු දහමහෙි ද අන්තර්ගත වී ඇති බව පැහැදිලි වේ. අප දන්නා පරිදි සමහර රෝගවලට නිසි ප්‍රතිකාර හෝ රෝග හේතු විනිශ්චය කිරීමට බටහිර වෛද්‍යවරු පවා අපොහොසත් වෙති. බුදු දහම වෛද්‍ය ශාස්ත්‍රයක් නොවුණද ඇතැම් රෝග නම් කිරීමත්, ඒවාට යෝග්‍ය ප්‍රතිකාර නිර්දේශ කිරීමත් සිදුවී ඇත්තේ බුදුන් වහන්සේගේ දැනුමත් ජීවක නම් සුප්‍රකට වෛද්‍යවරයාගේ ඥානයත් පදනම් කොට ගනිමිනි. ඒ අනුව නිර්දේශිත ඖෂධ, නශ්‍යකර්ම, විරේචන, තෛල අභ්‍යංග ආදිය මගින් භික්ෂු සංඝයාගේ ස්වස්ථතාව සම්පාදනය කොට ඇත.

රෝගාබාධ සම්බන්ධයෙන් කතා කරන විට රෝග නාමාවලි සහ නිදානමූලික රෝග පෙළෙහි දක්නට ලැබේ. පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා යනුවෙන් දැක්වීම නිදාන මූලික රෝග වර්ගීකරණයක් වේ. ලෝකයේ පැවති සහ අලුතින් ම ඇති වී තිබෙන රෝග සංඛ්‍යාව ගණනය කිරීමට නිශ්චිත ක්‍රියාමාර්ගයක් නොවන බැවින් මෙසේ නිදාන මූලික වශයෙන් රෝග දැක්වීම සුදුසු ක්‍රමයකි. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන පරිදි 1. ඉච්ඡා 2. අනසන 3. ජරා යනුවෙන් පුරාණ කාලයෙහි ලොව පැවතියේ රෝග තුනක් පමණකි. එහෙත් පසුකාලීන ව වායු දූෂණය, සතුන් මැරීම ආදි හේතුවෙන් අක්ෂි රෝගාදී රෝග අට අනූවක් (98)ක් විය. ගිරිමානන්ද සූත්‍රයේ අක්ෂි රෝග, කර්ණ රෝග, නාශික රෝග, ජිව්හාරෝග, කායරෝග, ශීර්ෂ රෝග, කර්ණරෝග, මුඛරෝග, දන්ත රෝග, කාසය, ශ්වසනරෝග, අතීසාරය, ප්‍රතිශ්‍යාව, කොළරාව, ක්ෂයරෝගය, අපස්මාරය, චර්මරෝග, දියවැඩියාව, අර්ශස්, පිළිකා, භගන්දරා හා ජ්වර හෙවත් උණ යනාදී රෝග රාශියක නම් දක්වා ඇත.

කොරෝනා වැනි නවතම රෝග සම්බන්ධයෙන් විමසන විට බුදුන් වහන්සේ ඇතැම් රෝග නම් කොට ඇති ආකාරය ඉතා වැදගත් වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට හෝ ආයුර්වේදයට පවා හමු නොවන ස්වභාවයේ රෝග විශේෂයක් ද ඒ අතර වේ. පාපරෝග නමින් හැඳීන්වෙන රෝග විශේෂය ඊට එක් නිදසුනකි.

ඒ ඒ පුද්ගලයාගේ හෝ ජන සමාජයක පාප බාහුල්‍යය නිසා හෝ එම රෝග ආසාදනය වේ. පඤ්චාබාධ නමින් තවත් රෝග පහක් ද, සන්නිපාත රෝග යනුවෙන් ත්‍රිදෝෂයන් බලවත් වීමෙන් නැගුණු රෝගයක් ද, උතුපරිණාමජ ආබාධ නමින් දේශගුණික විපර්යාස හේතුවෙන් පැන නගින ආබාධ තත්වයන් ද, විෂම ලෙස ඉරියව් පැවැත්වීමෙන් ඇතිවන කොන්දේ අමාරුව වැනි, දණිස් අමාරුව වැනි විසමපරිහාරජ නම් ආබාධ තත්වයන් ද, වෙනත් අයගේ උපක්‍රම හේතුවෙන් ඇතිවන තත්වයන් ඔපක්කමික ආබාධ නම් ආබාධ විශේෂයක් ද ඒ අතර වේ.

මීට අමතරව පූර්ව කර්ම හේතුවෙන් විඳවන කර්මවිපාකජ ආබාධ ද ඇති බව දත යුතු වේ. එකී ආබාධ බේත් හේත් මගින් සමනය කළ නො හැකි අතර විඳවීම් හෝ මරණය වැනි ආදීන ව මගින් ම ඒවායේ ව්‍යපශමනය බලාපොරොත්තු විය යුතු ය.

වර්තමානයේ විවිධ රටවල විෂම චර්යාවන් නිසා ව්‍යාප්ත වන මෙතෙක් අපට නුහුරුව තිබූ රෝග සමුදායක් ද වේ. මෙවැනි රෝග සඳහන් වී ඇත්තේ ආගන්තුක රෝග (ආගන්තුකා රොගා) නමිනි. ඒඩ්ස්, ඉබෝලා, සාර්ස්, කොරෝනා වැනි රෝග මෙසේ ආගන්තුක වශයෙන් ලෝකයට පැමිණි ඒවා වේ. විෂම පැවැත්ම අධිකවීමත් සමග ලෝකයේ තවත් මෙබඳු ආගන්තුක රෝගයන්ගේ පැමිණීම බලාපොරොත්තු විය යුතු ය. බුදුන් වහන්සේ දවස ද මෙබඳු රෝග ව්‍යාප්ත විය. බණපොතට අනුව අහිවාතක යනු එවකට පැවති වසංගත රෝගයකි. එසේම පණ්ඩුරෝගය රුධිරය ආශ්‍රිත ඇඟ සුදුමැලිවීමේ රෝගයකි. තිණපුප්ඵක යනු උණ රෝගයකි. ඝරදින්නකාබාධය යනු වශිකරණ බෙහෙත් බීමෙන් ඇතිවන රෝගයකි. පක්ඛහත නමින් අංශභාගය වැනි ආබාධිත තත්ත්වයකි. ශරීරසන්ධි පුරුක් අතර දැඩි වාත වේදනාවක් උපදවන පබ්බහත නම් රෝගයක් ද, පාද මහත් වීම, කුෂ්ට ඇතිවීම, හම රළුවීම් සහිත සීපද නම් රෝගී තත්වයක් ද එකල විය. මේ නිසා රෝගීවීම යනු විවිධ වේෂයන්ගෙන් කාල දේශ භේදයකින් තොරව බලාපොරොත්තු විය යුත්තකි.

රෝගයක් වැළදුණු කල වඩාත් වැදගත් වන්නේ එහි හේතුව විනිශ්චය කර ගැනීමයි. රෝග නිදානය හඳුනා ගැනීමට අපොහොසත් වුවහොත් පිළියම් කිරීමට නොහැකි වන අතර, එය ඉමහත් ව්‍යසනයකට හේතු වේ. බෞද්ධ ග්‍රන්ථ අනුව ද වාත, පිත්ත, සෙම්හ යන තුන බොහෝ රෝගයන්ගේ මූලික හේතුව වේ. එහෙත් අවශේෂ හේතු ද ඇත. අපථ්‍ය ආහාර රුචිය, දැන දැන සෞඛ්‍යයට අහිතකර පුරුදුවල යෙදීම, කුරිරු මානසිකත්වය, ඉන්ද්‍රියන් උවමනාවට වඩා වෙහෙසවා ක්‍රියාකරවීම, අධික දීප්තිමත් හිරු රැස් ආදියට ඇස් නිරාවරණය කිරීම, අධික ශබ්දවලට කන් විවර කිරීම, අඩ අඳුරේ පොත් පත් කියවීම, අධික ශීතල හෝ උණුසුම් ජලය බීම වැනි වැරැදි ක්‍රියා, දේශගුණික බලපෑම් යනාදිය එකී අවශේෂ හේතු කිහිපයක් වේ. වෛද්‍යවරයෙකුට වඩා වැදගත් වන්නේ ඉහත දක්වන ලද ආකාරයේ රෝගයේ නමට වඩා රෝග නිදානය හඳුනා ගැනීමත් ඊට අදාළ ප්‍රතිකාරය නිර්දේශ කිරීමත් ය.

භික්ෂූන්ට වැළඳුණු යම් යම් රෝග හේතුවෙන් දක්වන ලද විවිධ ඖෂධ වර්ග විනය පිටකයෙහි සඳහන් වේ. විශේෂයෙන් මුල්බෙහෙත් වශයෙන් කහ, ඉගුරු, හෙළ වදකහ, අතිවිඩ, කුරුලුරෑණ, සුවඳහොට, වම්මුතු යන මේවා අවශ්‍ය විටෙක ගැනීමට භික්ෂූන්ට නියම කොට ඇත. කොහොඹ, කෙළිඳ, දුම්මෑල්ල, හඟුඟඵ, කරඳ යන ගස්වලින් සාදාගත් කසාය වර්ග ද, ශාක පත්‍ර බෙහෙත් වශයෙන් කොහොඹ කොළ, කෙළිඳ කොළ, දුම්මෑල්ල කොළ, තළාකොළ, කපුකොළ බෙහෙත් වශයෙන් වැළ¼දීමට ද නියම කොට ඇත. ගෙඩිවලින් සාදාගන්නා බෙහෙත් ලෙස වළඟසාල්, තිප්පිලි, ගම්මිරිස්, අරළු, බුළු, නෙල්ලි, කුකුරුමුවන් වැළඳීමටත් මැලියම් බෙහෙත් ලෙස පෙරුම්කායම්, හිංගුදඬු තම්බාගත් මැලියම්, හිංගු කොළ තම්බාගත් මැලියම්, රුක් කරටියෙන් වෑහෙන මැලියම් යනාදිය ද ලුණු බෙහෙත් ලෙස

මූදුලුණු, කුඩුලුණු, සහිඳලුණු, සුවසලුණු හා බළල්ලුණු බෙහෙත් වශයෙන් පරිභෝග කිරීමට අනුදැන ඇත. මෙකී බෙහෙත් වර්ග පොදු වශයෙන් විවිධ රෝග විෂයෙහි අනුභව කිරීමට කිසිදු බාධාවක් නැත. යම් යම් අවස්ථාවන්හි පැන නැගුණු රෝග සඳහා සරල ප්‍රතිකාර ක්‍රම ද පෙන්වා දී ඇත. පිළින්දවච්ඡ තෙරුන්ට ඇතිවූ හිසරදයකට නස්‍ය කර්මයක් කිරීම, පාද පැලීමේ රෝගයට තෙලක් සෑදීම, ඇඟ රුදාවට ස්වේද ගැන්වීම අනුදැනීම යනාදිය නිදසුන් ය.

මෙසේ බුදුදහම තුළ ස්වස්ථතාව සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡාවක් පවතී. වෙදකම, හෙදකම මෙන්ම මානසික ස්වස්ථතාව ද රෝගයකින් අත්මිදීමට අත්‍යවශ්‍ය වේ. මානසික ස්වස්ථතාව නොමැති පුද්ගලයාගේ කායික ස්වස්ථතාව ද පිරිහෙයි. මානසිකව ශක්තිමත් වන පුද්ගලයාට භෞතික ශරීරය සම්බන්ධයෙන් වන වේදනාවන් පාලනය කිරීමේ හැකියාවක් ඇත. එසේම කායික රෝගයක දී මානසික ව පිරිහීම රෝගය බරපතල හානියක් ද වේ. එබැවින් කායික හා මානසික ස්වස්ථතාව ආරක්ෂා කර ගැනීම මිනිසෙකු ලබන විශාලම ප්‍රතිලාභය වන බව බුදුන් වහන්සේ තීරණය කොට ඇත.