Print this Article


සත්පුරුෂයා හඳුනාගන්න

සත්පුරුෂයා හඳුනාගන්න


යම් පුද්ගලයෙක් ශ්‍රද්ධාවන්ත වෙයි ද, ලජ්ජා සහිත වෙයි ද, භය සහිත වෙයි ද, බහුශ්‍රැත වෙයි ද, ආරම්භ කළ වීර්ය ඇත්තේ වෙයි ද, සිහි ඇත්තේ ද, ප්‍රඥාවන්ත වෙයි ද, ඔහු සත්පුරුෂයෙක් වේ.

එසේම එම සත්පුරුෂ පුද්ගලයා තමා ආශ්‍රය කරන සෙසු පුද්ගලයින් ද එකී ගුණධර්ම උපදවා ගැනීම සඳහා මෙහෙයවයි. මෙම සත්පුරුෂ ගුණධර්ම නිසා එම පුද්ගලයා සත්පුරුෂ ශ්‍රේෂ්ඨයෙක් බවට පැමිණෙයි.

සත්පුරුෂයා තමන් ද ශ්‍රද්ධාසම්පන්න වෙයි. සෙසු පිරිස ද ශ්‍රද්ධා සම්පදාවෙහි සමාදන් කරවයි. එහිදී බුද්ධ, ධම්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නයෙහි ගුණ පක්‍ෂය සිහි කරමින් අචල හා ප්‍රඥා සම්පන්න ශ්‍රද්ධාවක් වර්ධනය කර ගැනීම සිදු වේ. කර්ම හා කර්මඵල විශ්වාසය, කුසල හා අකුසල කර්ම පිළිබඳ අවබෝධය ඇතිව කටයුතු කරන සත්පුරුෂයා ධර්මානුකූල ජීවිතයක් ගෙවයි. අනතුරුව තමන් ඇසුරු කරන අය ද ඒ සඳහා යොමු කරයි. ඔවුන්ගේ සන්තානයෙහි ද ශ්‍රද්ධාව වර්ධනයට අවශ්‍ය තෙරුවන් ගුණ වර්ණනා කරයි. මේ හේතුවෙන් සත්පුරුෂයාත්, ඔහු ආශ්‍රය කරන පිරිසත් නිර්වාණගාමී ප්‍රතිපදාවට අවතීර්ණ වූවෝ වෙති.

සත්පුරුෂයා ලජ්ජා සහිත වෙයි. සෙසු පිරිස ද ලජ්ජාවෙහි සමාදන් කරවයි.මෙය සත්පුරුෂ දිවියේ දෙවැනි ලක්‍ෂණය යි. පව් කිරීමට ලජ්ජා සහගත වීම සදාචාරාත්මක පදනමක් සහිත ජීවිතයක ප්‍රමුඛ ලක්‍ෂණයකි. පුද්ගලයාගේ සන්තානයෙහි සදාචාරය වර්ධනය වී ඇති පමණට පාපයට ලජ්ජා සහගත වෙයි.

සත්පුරුෂ දිවියේ තෙවන ලක්‍ෂණය වන්නේ තමා ද පාපයට බිය වීමයි. අන්‍යයන් ද පාපයට බිය වීමෙහි සමාදන් කරවීමයි. පව්කම් කිරීමට බිය උපදවා ගැනීම, ධර්මානුකූල දිවියකට අවශ්‍ය ස්වභාවයකි. පවට බිය නොමැති පුද්ගලයාගේ සිත පව්කම් කරන විට පිනවයි. එහෙත් එහි විපාක විඳීන විටදී ගිනි මෙන් දැඩිව දැවෙයි. එනිසා මෙම තත්ත්වය මැනවින් වටහාගත් පුද්ගලයා පව් කිරීමට බිය වෙයි.

එපමණක් නොව තමන් ඇසුරු කරන්නන් ද පාපයෙහි බිය ඇතිවන ආකාරයෙන් සමාදන් කරවයි. පාපයෙහි ආදීනව කියයි.

සත්පුරුෂයා බහුශ්‍රැත වෙයි. සෙසු අය ද බහුශ්‍රැත භාවයෙහි පිහිටුවයි. මෙය සත්පුරුෂ දිවියේ සිව්වන ලක්‍ෂණය යි. බොහෝ ඇසු පිරූතැන් ඇති බව යනු බහුශ්‍රැත භාවයයි. බහුශ්‍රැත පුද්ගලයා නිරතුරුව ම ධර්මය කියයි. පැන විසඳයි. බහුශ්‍රැත පුද්ගලයා විනයගරුක පුද්ගලයෙකි. මේ නිසා බහුශ්‍රැත පුද්ගලයෙක් සහිත සමාජය යහපත් වේ.

සත්පුරුෂ දිවියේ පස්වන ආධ්‍යාත්මික ලක්‍ෂණය වන්නේ, තමා ආරම්භ කළ වීර්ය ඇති බවයි. සෙසු අයගේ ජීවිත තුළ ද වීර්ය ආරම්භ කිරීමෙහි සමාදන් කරවයි. සත්පුරුෂයා කායික ක්‍රියාවල ද, සිතිවිලිවල ද වීර්ය ආරම්භ කළේ වෙයි. කායික වශයෙන් සතර ඉරියව්වල සිහිය පිහිටුවමින් වීර්යවත් දිවියක් ගෙවයි. සිතෙහි කෙලෙස් ගැට දුරු කර අෂ්ට සමාපත්ති උපදවා ගැනීම සඳහා වීර්ය ආරම්භ කිරීම ද මෙයින් අදහස් වේ. සිතෙහි යම් ක්ලේෂයක් ඉපදුණේ නම්, එය නැවත ඉපදීමට අවකාශ නොදෙයි. එය වැඩෙන්නට අවස්ථාව ලබා නොදෙයි. උපනුපන් අවස්ථාවල දී පාප සිතිවිලි වර්ධනයට, හටගැනීමට හා නැවත ඉපදීමට කිසිසේත් ම අවස්ථාව නොදීම සත්පුරුෂ දිවියේ ලක්‍ෂණයකි.

සත්පුරුෂයා සිය සන්තානයෙහි සිහිය පිහිටුවයි. සෙසු අය ද සිහිය පිහිටුවා ගැනීමෙහි උනන්දු කරයි. මෙහෙයවයි. සිහියෙන් දිවිය ගෙවා දැමීම සත්පුරුෂ දිවියේ ලක්‍ෂණයකි. අවසිහියෙන් මුළා වූ ස්වභාවයෙන් ගෙවන ජීවිතය අසත්පුරුෂ දිවියේ ලක්‍ෂණයකි. දෛනික කටයුතුවල දී මෙන්ම භාවනාව හා ඉරියව් මෙහෙය වීම සිහිය පිහිටුවා ගැනීමේ ලක්‍ෂණයකි.

තවද ස්වකීය දිවියේ කටයුතු අවුල් භාවයකින් තොරව නිසි පිළිවෙලට නිසිපරිදි සිදු කිරීම සිහිය පිහිටුවා ගැනීමේ ලක්‍ෂණයකි.

සිහිය පුද්ගල දිවිය යහමගට පමුණුවන උසස් ධර්මයකි. එබැවින් සිහියෙන් හා ප්‍රඥාවෙන් ආඪ්‍ය වීම නිර්වාණගාමී හා නිර්වාණප්‍රාප්ත සියලු ශ්‍රාවකයින්ගේ ලක්‍ෂණයකි. එකී ලක්‍ෂණය සත්පුරුෂයා තුළ විද්‍යමාන වන බව මෙයින් කියැවේ.

සත්වන ලක්‍ෂණය වන්නේ ප්‍රඥාසම්පන්න වීමයි. සෙසු අය ද ප්‍රඥාසම්පන්න වීමට මෙහෙය වීමයි. බුදුන් වහන්සේගේ දේශනාව ප්‍රඥාවන්තයින්ට මිස දුෂ්ප්‍රාඥයින්ට නොවේ.

මේ නිසා ධර්මයේ පදනම වන්නේ ද ශ්‍රාවකයා තුළ සීල, සමාධි හා පඤ්ඤා වර්ධනය කිරීමයි.

බුදුන් වහන්සේ මෙසේ සත්පුරුෂ ධර්මයක් ගෙනහැර දැක්වීමෙන් අවධාරණය කරන සත්පුරුෂ පුද්ගලයා නිර්වාණගාමී ප්‍රතිපදාවේ ආරම්භක අවදියේ හෝ මධ්‍ය අවදියේ හෝ පාරප්‍රාප්ත අවදියේ හෝ වශයෙන් සෑම අවදියක ම කටයුතු කරන අයෙකි.