Print this Article


 ජීවිතය තීරණය කරන කර්ම විපාක

 ජීවිතය තීරණය කරන කර්ම විපාක

පින්වතුනි, නිරෝගී සම්පත් ඇතිව, දීර්ඝායු සම්පත් ඇතිව උපදින්නට නම් පින් කරලා තිබෙන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතාම පැහැදිලි ව දේශනා කරනවා, අපගේ මතු ජීවිතය සඳහා කර්ම විපාක බලපානවා කියලා.

මතු ජීවිතයක් යහපත් ව, නිවැරැදි ව අවබෝධයෙන් ගෙවා ගන්නට අප විසින් රැස් කරනු ලබන කුසල කර්මවල බලපෑමක් තිබෙනවා.

ඒ නිසා කර්ම විෂයය කියන්නේ අචින්ත්‍යය දෙයක්. දවසකින් දෙකකින්, සුමානෙකින් කතා කරලා අවසන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. කර්ම විෂයයට පදනම් ව සත්වයා නැවත ඒ ඒ තැන්වල ඉපදී කර්ම විපාක දෙනවා.

ධර්මයේ ඉගැන්වෙනවා උපධි සම්පත් හා උපධි විපත් ගැන. පුද්ගලයා විසින් රැස් කරන කර්ම පදනම්වෙලා විවිධ විපත් ඇති කර දෙනවා. ඒ විතරක් නොවෙයි . සැප සම්පත් ලබා දෙනවා. උදාහරණ කතාවක් කියලා දෙන්නම්. යම් ප්‍රමාණයකට අවබෝධවෙයි ඇත්ත නේද කියලා.

ලෝම හැලී ගිය, අපිරිසුදු සුනඛයන් සිටිනවා. පාරතොටේ, පිට්ටනිවල. ගිය ගිය අත, ඉබා ගාතේ දුවනවා. ඉපදිලා තියෙන්නේ සැප තැනක ද? දුක් තැනක ද? දුක් තැනක. ඔබ හොඳින් දැක තිබෙන උදාහරණයකින් මේ පැහැදිලි කරන්නේ.

තවත් සුනඛයින් ඉන්නවා නිවෙස්වල. අර සුනඛයින්ට කෑම තියෙනවා ද? නෑ. කෑම සොයාගෙන යනකොට ගල්වලින් ගහනවා. වතුර ටිකක් බොන්න ගියාම එළවා ගන්නවා. අනෙක් සතුන් බලන්න. ඇඳක නිදිකරනවා. පුටුවක නිදි කරනවා. ගමනක් යනවිට සුරතලයට ගෙන යනවා.එක වතාවක් බිරුවා ම වතුර දෙනවා.දෙපාරක් බිරුවාම කෑම දෙනවා. ලෙඩක් වුණා ම බෙහෙත් දෙනවා. කුස ගින්න දැනෙන්නවත් තියනව ද? නෑ. හේතුව කුමක්ද? ඉපදුණා, සුනඛ ආත්මයේ. ඒත් කුසගින්නේ නොසිටින්න කුසල සැපතක්වෙලා. එය සම්පතක්. කුමන සම්පතක් ද? කුසගින්න නිසා දැනෙන වේදනා විඳින්න වෙන්නේ නෑ.

බලන්න කර්මය බලපා තිබෙන විදිහ. ඒ කවුරු හෝ වෙන කෙනෙක් කළ කර්මයක් ද? නෑ. සසර, තමා කොතැන හෝ කළ කුසලයයි, අකුසලයයි විපාක දී තිබෙන විදිහ. එහෙම නම් අප කරන දේ අපට විපාකයක් වෙන්නේ නැද්ද? සුනඛ ආත්මයක් ගැනයි මම මේ ඇත්තන්ට කීවේ. රහත් උතුමෙකුගේ අකුසල කුසල විපාක දීම ගැන මේ ඇත්තන් අසා තිබෙනවා ද?

‘ලෝසක මහ රහතන් වහන්සේ’. රහතන් වහන්සේලාගේ නම් හඬ නඟා කියන්නට ඕනෑ. බුදුගුණ කියන්න, රහත් උතුමෙකුගේ නම කියන්න මොන තරම් පින් කරලා තියෙන්න ඕනෑ ද?

පින්වතුනි, පින එන්න, එන්න අඩුවෙනවා. කුඩා කාලයේ ළමයි හඬ නඟා ගාථා කියනවා. ඒ ඇයි? කුඩා සිත දූෂණය වී නෑ. ඒත් ටිකෙන් ටික තරුණ වයසට එනකොට ගාථා හඬනඟමින් කියනවා ද? නෑ. හරි අමාරුයි. ඇයි? ඒ වන විට සිත දූෂණය වෙලා. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ හොඳින් හඬ නඟා කියන්නට ඕනෑ. කන් දෙකට ඇසෙන්නට, නෙත් දෙකට මැවෙන්නට හඬ නඟා කියන්න ඕනෑ. එවිට කුසල සිත් ඇතිවෙනවා.

හවසට බුද්ධ වන්දනා කරනවිට හඬනඟා ගාථා කියන්න. ගෙදරට ශි‍්‍රයා කාන්තාව වඩිනවා වගේ “අන්න අම්මා බුදුන් වඳිනවා” දරුවො කියනවා. කෑ කෝ ගසන්නේ නෑ. සංවර වෙනවා. එය නැති වෙන්න, නැති වෙන්න අසංවර වෙනවා.

පින්වතුනි, අප කතා කළේ ලෝසක මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේ සංසාරයේ මහා අකුසල කර්මයක් කරලා තිබුණා. කුමක්ද? දානයක් දුන්නා. සිත අපහදවා ගත්තා. හොඳින් සූදානම්වෙලා, දානය දුන්නා. අපරාදේ දුන්නේ කියලා සිතුවා. ජීවිතයේ එහෙම සිතෙන තැන් තිබෙනවා. උන්වහන්සේ දානය දුන්නා. කුසල විපාකය ලැබුණා. බුදු කෙනෙක් මුණ ගැසුණා. රහත්බව ලැබුණා. නැවත උපදින්නේ නෑ. රහත් කියන්නේ ඒකයි. නිරයේ හෝ, සුගතියේ හෝ, සතර අපායේ හෝ වෙන කිසිදු තැනක හෝ උපදින්නේ නෑ.

ඉපදීම නැතිකළා නම් සියලු දුක් නැති කළා වෙන්නේ නැති ද? නැතිකළා. කොතැන හෝ තැනක ඉපදුණාද? දුක් හටගත්තේ නැති ද? හට ගත්තා.

එහෙම නම් දුක නැති කළා. කවුද? ලෝසක මහ රහතන් වහන්සේ.

පින්වතුනි, බලන්න අකුසල විපාක දුන් ආකාරය. උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩිනවා. ගෙදරක් ගෙදරක් පාසා. දානය පූජා කරන්න එන හැමෝට ම පෙනෙනවා උන්වහන්සේගේ පාත්‍රය පිරී ඉතිරී යනවා. ඉතින් පාත්‍රය පිරී ඉතිරී යනවිට තවත් පිළිගන්වනවා ද? නෑ. කවුරු පිණ්ඩපාතයේ වැඩියත් පිරිලා නම් ආපසු දානය පිරිනමන්නේ නෑ. දානය අල්ලන්න ඉඩක් නෑ. ඊළඟ ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් පූජා කරනවා. තවත් ස්වාමීන් වහන්සේ නමක් සමඟ වැඩියත් උන්වහන්සේට බත් හැන්දක් ලැබී නෑ. ඔය අකුසල කර්මය ඔබ, අප සංසාරයේ කොතැන හෝ තැනක කරලා තිබෙනවා.

හිතලා බලන්න. උයාගත්තට කන්න බැරිවෙන වෙලාවක් තිබෙනවා. බඩගිනි දැනෙනවා. කන්න දෙයක් නෑ. සංසාරයේ කළ අකුසල කර්මයන් ඒ ඒ අවස්ථාවන් හි විපාක දෙන විදිහ.

ලෝසක මහරහතන් වහන්සේගේ අවසාන ආත්මයේ කර්මය විපාක දෙනවා. උන්වහන්සේ පිරිනිවන් පාන්න සූදානම් වන මොහොතේ කුසගින්නේ පිරිනිවන් පාන්න වෙන බව දැනගත්තා. මහ රහතන් වහන්සේ තමන් වහන්සේගේ පාත්‍රය අතේ තබාගෙන ලෝසක මහ රහතන් වහන්සේට වළඳන ලෙස කීවා.

පින්වතුනි, සුනඛයෙකුටත් කර්ම විපාක දෙනවා. මහරහත් උතුමෙකුටත් කර්මය විපාක දෙනවා. එහෙම නම් අපට කර්ම විපාක නොදී තිබෙයි ද? අපට කතා කරන්න, අහන්න, දකින්න, හිතන්න පුළුවන්කම තිබෙන්නේ, ධාරණ ශක්තිය තිබෙන්නේ, කුසලයන් කරන්න සිත පහදින්නේ, අකුසල කරන්න සිත බය පක්ෂපාතී වෙන්නේ මොනවා කළ නිසා ද? සසර කුසල් කළ නිසා.

පින්වතුනි, හරි ලස්සන කතාවක් තිබෙනවා. ඉස්සර අපේ රටේ දීඝරාජ කියලා රජ කුමාරයෙක් සිටියා. තාත්තා රජ කෙනෙක්. අම්මා රාජ දේවියක්.

රජතුමා, තාත්තා කෙනෙක් වූ දවසේ, දේවිය අම්මා කෙනෙක් වූ දවසේ සතුටු ද? දුක ද? සතුටුයි. ඒ වෙලාවට තාත්තගෙන් ඉල්ලන ඕනෑම දෙයක් දෙනවා. කුමාරයා ඉපදුණ දවසේ රජතුමා දේවියට පණිවිඩයක් එවනවා. කැමැති වරයක් ඉල්ලන්නට. අම්මා හරිම ප්‍රඥාවන්තයි. කලබල වුණේ නෑ. කාගේ අම්මා ද? දීඝරාජ කුමාරයාගේ අම්මා. ටික දවසක් ගෙවී ගියා. රජ පවුල සාමකාමී ව ජීවත් වෙනවා.

දැන්, මේ කුමාරයා, ඉපදී තිබෙන්නේ සැපවත් පවුලක නොවෙයි ද? රජ පවුලක ඉපදෙන්න පින තියෙන්න ඕනෑ. ඊර්ෂ්‍යා කරලා හරියන්නේ නෑ. චරිත ඝාතනය කරලා වැඩක් නෑ. අප රජ පවුලක ඉපදුණේ නැති හේතුව අප හරියට පින් කරලා නෑ. ඊර්ෂ්‍යා කළොත් මේ තත්ත්වය බොහොම බලවත්. ද්වේෂ සහගත සිතින් මියගොස් උපදින්නේ කවුරුන්වෙලා ද? නයි, පොළොඟුන් වගේ අධික විෂ සහිත සතුන්වෙලා කර්ම විපාක දෙන්නේ. තිරිසන් ආත්මවල උපදින්නේ. දීඝරාජ කුමාරයා පින් කරලා.

කුමට ද? රජ ගෙදර කුමාරයෙක් වෙන්න. පවුලේ එකම දරුවා. ඒ නිසා දීඝරාජ කියන නම ලැබුණා.

දැන් කුමාරයා කෙළි දෙළෙන් පසුවෙනවා. සෙල්ලම් කරන වෙලාවක කුමාරයාගේ ඇස් අන්ධවෙනවා. බලන්න කර්මය විපාක දුන්නා.

රජ මැදුරක, රාජ ශ්‍රී විඳින්නට සිටි කුමාරයාගෙ ඇස් දෙක අන්ධ වුණා.

පින්වතුනි, දැන් කුමාරයා තරුණ වයසේ. ‘දැන් වරය ඉල්ලන්න හොඳම වෙලාව‘. අම්මට මතක් වුණා. අම්මයි, පුතයි තාත්තා ළඟට ගියා.

“රජතුමනි, ඔබට මතක ද අපේ පුතා ඉපදුණු දවස?”

“එහෙනම්, මට මොකද අමතක? තාත්තා කෙනෙකුට එහෙම අමතක වෙන්නේ නෑ.”

අම්මා යෝජනාව ගෙන ආවා.

“මතකද ඔබ පොරොන්දුවක් වුණා. ඕනෑම වරයක් ඉල්ලන්න, දෙන්නම් කීවා.”

“ඔව් මට මතකයි.”

“එහෙනම් මම දැන් ඒ වරය ඉල්ලන්නයි සූදානම් වන්නේ.”

රජතුමා අවසර දුන්නා.

“මා ඉල්ලන එකම දෙයතමයි, පුතාට රජකම දෙන්න.”

රජතුමා රජකම දුන්නා ද?

හොඳ රජ පෙළපතක ඉපදුණත් අකුසලය විපාක දීලා. ඇස් පේන්නේ නෑ. තාත්තා කියනවා අන්ධයෙකුට රට දෙන්නට නොහැකියි කියලා. අන්ධයෙකුට රජකම දුන්නොත් රට පිරිහෙනවා. අම්මා නැවත ආයාචනා කළා. පුතා උපදේශකයින්ගේ මාර්ගයෙන් හෝ රට කරවනු ඇති බව කීවා.

මේ පෙරැත්ත කිරීම නිසාම රජතුමා පුතාට ප්‍රාන්ත රජකමක් දෙනවා.උතුරු ප්‍රදේශයේ නාගදීපය පාලනය කරගෙන, ආධිපතිත්වය පතුරවාගෙන ඒ පළාතේ මිනිසුන් සමඟ ජීවත් වන ලෙස කීවා.

මේ කතාව කීවේ කුමක් නිසාද?

කුසල් විපාක දෙනවා. ඒත් අකුසලය බලවත් නම්, කුසලය යට කර දානවා.එය කවර මොහොතේ සිදුවෙයි ද දන්නේ නෑ. එහෙම නම් අකුසලයක් කවර මොහොතක හෝ විපාක දෙනවා වගේ ම කුසලයක් කවර මොහොතක විපාක දේවිද කියලා දන්නේ නැ. ඒ නිසා විශ්වාසයෙන් කුසල් කරන්න කියනවා.