Print this Article


කර්මය

කර්මය

බාලයකු සරල බසින් කර්මය කුමක්දැයි මෙසේ දක්වනු ඇත. එනම් හොඳක් කරන්න. ඒ හොඳ ඔබටත් දැන් හෝ පසුව හෝ ලැබේ. නරකක් කරන්න. එම නරක දැන් හෝ පසුව ඔබටත් ලැබේ. අස්වනු නෙළන බසින් දක්වතොත් කර්මය මෙසේ පැහැදිලි කළ හැකි ය. ඔබ හොඳ බීජ වැපුරුවොත් හොඳ අස්වැන්නක් ලැබේ. නරක් වූ බීජ වැපුරුවොත් නරක අස්වැන්නක් නෙලා ගත හැකි ය. විද්‍යානුකූල බසින් කර්මය යනු හේතුප්‍රත්‍ය න්‍යාය ලෙස දැක්විය හැකි ය. සෑම හේතුවකට ප්‍රතිඵලයක් ඇත.

ධම්මපදයේ කර්මය විස්තර වන්නේ මේ ආකාරයෙනි. සියලු හොඳ හෝ නරක අවස්ථාවන්හි දී මනස පෙරටුව සිටියි. ඔබ යහපත් හෝ අයහපත් මනසකින් කතා කරයි ද, ක්‍රියා කරයි ද එවිට යහපත හෝ අයහපත ඔබ අනුව එන්නේ රියෙහි බැඳි ගවයා ගේ පසුපස යන රිය සක ලෙස ය. නැතහොත් ඔබ අතහැර නො යන ඔබේ සෙවණැල්ල මෙනි.

කර්මය සරල වශයෙන් ක්‍රියාවකි. පණ ඇති ජීවියකු තුළ පවතින ශක්තිය නොහොත් බලය නොයෙක් නම්වලින් හැඳින්වෙයි. එනම් මූලික ආශා හෙවත් ලැදිකම් විඥානය ආදී වශයෙනි. එවැනි සහජ ගති ලක්ෂණ සෑම ජීවියකු ම චලනය කරයි. ඒ ජීවියා මනෝගතව හෝ භෞතික වශයෙන් චලිත වේ. ඒ චලිතය ක්‍රියාව නම් වෙයි. ක්‍රියාවන් නැවත නැවත සිදුවීමෙන් පුරුදු ඇති වෙයි. පුරුදු හැසිරීම් හෙවත් චර්යාව බිහි කරයි. බුදුු සමයේදී මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ කර්මය යන නමිනි. අවසාන අරුතින් කර්මය යන්නෙන් අදහස් කරන්නේ හොඳ හෝ නරක මානසික ක්‍රියාවන් හෙවත් චේතනා ය. කර්මය චේතනාවකියි බුදුරජාණන් වහන්සේ දෙසූ සේක.