Print this Article


ශ්‍රේෂ්ඨත්වය

ශ්‍රේෂ්ඨත්වය

බුදු දහමට අනුව ශ්‍රේෂ්ඨත්වයට පත්විය යුත්තේ තමාගේ ම ඇප කැපවීම මත මිස අනෙකාගේ මහන්සිය මත නොවේ. ඔබට ශ්‍රේෂ්ඨයකු වීමට අවශ්‍ය වන්නේ නම්, ඔබ ඇප වී කැප වී ශ්‍රේෂ්ඨයකු සතු විය යුතු ගුණාංග ජීවිතය තුළ ගොඩනගා ගත යුතු වෙනවා.

යමෙක් ශ්‍රේෂ්ඨයෙකු වීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ තැනැත්තා විසින් පළමු ව සිදු කළ යුත්තේ ප්‍රත්‍යාවලෝකනය යි. තමා තුළින් ම තමා දෙස පිරික්සා බැලීමයි. එසේ පිරික්සීමේ දී ශ්‍රේෂ්ඨයෙකු වීමට අත්‍යවශ්‍ය ම සුදුසුකම තමා තුළ තිබේදැයි දැන ගත හැකි වෙනවා. ඒ සුදුසුකම නම් තමා තමන්ට අවංකවීම යි. මූලික ව ම අවංක විය යුත්තේ තමාට යි. එය අනුන්ට පෙන්වීම සඳහා ඇති කර ගත යුත්තක් නොවේ. බොහෝ දෙනා තමන්ට නැති අවංකකමක් අනුන්ට පෙන්වීමට උත්සාහ කරනවා. එය අවංකකම නොවේ, කුහකකම යි. තමන් තුළ නැති ගුණ පෙන්වා, තමන්ගේ කාර්යයන් සිදු කරවා ගැනීම, අනුන් මුළාකිරීම කුහකකම යි. කුහකයෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත්විය නො හැකි යි. එබැවින් ඔබ තුළ සැබැවින් ම තිබෙන ගුණාංග මැනැවින් හඳුනාගන්න. නුගුණ හමුවේ අවංක වන්න. ඔබ තුළ වරදක් තිබේ නම් එය වරදක් ලෙසින් ම දකින්න. වරද වරදක් ලෙස දකින තැනැත්තාට පමණයි නිවැරැදි වන්නට හැකියාව තිබෙන්නේ. එසේ කරන, වැරැදි අඩුකර ගැනීමට උත්සාහ කරන තැනැත්තාටයි ශ්‍රේෂ්ඨයෙකු විය හැක්කේ.