Print this Article


අරියධන

අරියධන

අතමිට පුරවාගත් රන්කාසි, මුදල් නෝට්ටු සහ අගනා වස්තු සම්පත්තීන් කුමන තරාතිරමක මිනිසකු විසින් මුත් අගයනු ලබන දේ ය. එනිසා දිවා රෑ වෙහෙසෙමින් අවිවේකී ව යන ගමනක පැතුම එවන් දෑ ඉපැයීම අභිලාෂ කොට පවතියි.

සීලාදී සද්ගුණධර්මයන්හි පිහිටා කරනු ලබන එම පර්යේෂණය මෙම ජීවිතයේ සුඛ විහරණය පිණිස බොහෝ උපකාරී ය. නමුත් එලෙස රැස් කරගත් දෑ නිසා මාත්සර්යය ආදී පාපක ධර්ම සිත්හි හටගත හැක. එලෙසම සොර සතුරු ආදී උවදුරු වලින් ආරක්ෂා කරගැනීමට නිරන්තරයෙන් උපක්‍රම යෙදීමට සිදුවෙයි. එම ආරක්ෂක ප්‍රයත්න හේතුවෙන් දඬු මුගුරු, අවි ආයුධ ආදිය දෑතට ගැනීමට මෙන්ම ඔවුනොවුන් හා කලහයන් ඇති කර ගැනීමට ද සිදුවෙයි.

තව ද එම වස්තු සම්පත්ති ක්ෂය වන කල පෙර තිබූ සැපයන් දුරුවන නිසා නැවතත් ඒවා සෙවීමට වෙහෙසිය යුතු ය. ඒ අනුව පුහුදුන් මිනිසා මුළා වූ මේ ලෞකික ධන සම්පත්තීන් සෙවීමේදීත් , ආරක්ෂා කිරීමේදීත් , නැවත ඉපැයීමේදීත් ඇත්තේ නිමක් නොවන දුක් සමුදායකි. එහෙයින් ලෝකයා විසින් මහාර්ඝ කොට හඟිනු ලබන රන් කහවණුව සැබෑ ධනය විය නොහැක.

කෙලෙස් මඩ ගොහොරුවෙහි ළගිමින් එහි ඇති දුගඳ පිළිකුල් කරනා, එහෙයින්ම ඉන් මිදෙණු කැමැත්තෝ මේ කාරණය නුවණින් විමසති. පාප මළ බැහැර කරලීමට සම්‍යක් ප්‍රතිපදාවන් පූරණය කරති. විටෙක එම කාල පරාසය සොළසාසංඛ්‍ය හෝ අටාසංඛ්‍ය හෝ චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් විය හැක.

අවසන තෙමේ ම තිමිර පටල සිඳලා සත්‍යයේ අරුණ කිරණෙන් අවිද්‍යා ක්ලේශාන්ධකාරය විනිවිද දකියි. ලෝක සත්වයාට ද එය තත්වූ පරිදිම වටහා දෙමින් ඔවුන් ද දුකින් අත්මුදවාලයි. ඒ කල්ප ගණනකින් මුත් ඉතා දුර්ලභ ව ලොව පහළ වී වදාරණ තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් වන සේක. එසේ අවබෝධ කළ ධර්මය හාත්පසින් පිරිපුන් වූ අතිපාරිශුද්ධ වූවකි. එක් වචනයක් පවා අපායට වූ මඟහසර වසාලමින් ස්වර්ග මෝක්ෂයට වූ ස්වර්ණ ද්වාර විවර කරනු සමත් ය. ඒ තුළ රන් මිල මුදල් සඳහා කිසිත් පැසසුමක් නැත. ඒවා දුරින්ම දුරු කරන තරමට ධර්ම මාර්ගය සුවපහසු වෙයි.

ඒවා අතහැර උපයාගත යුතුම වන උත්තම ධන සතක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග හා පඤ්ඤා යනු එම සප්තවිධ ධනයයි. එම ධනය කිසිවෙකුටත් සොරාගත නොහැකි වටිනාකම් පමණ නොවන අමිල වූවකි. දෙවියන්, මරුන්, බඹුන් ශ්‍රමණ-බ්‍රාහ්මණයන් සහිත එක් තිස් ලෝ තලයක උපයාගත හැකි උත්තම ධනය ද මෙම සප්ත ආර්ය ධනයයි.

එහිලා ප්‍රථමයෙන් උපයාගත යුතුම වන්නේ ශ්‍රද්ධාව යි. විවිධ ශාස්තෘවරුන් අභිමුව, තම පිහිට පතා, දෑත් ඔසවා දණින් වැටීම අන්ධබාල පෘථග්ජන ලක්ෂණයකි. නමුත් නිවන්මඟ හඳුනාගත් ආර්ය ශ්‍රාවක තෙමේ තථාගතයන් වහන්සේගේ සම්මා සම්බෝධිය මැනවින් අදහා ගත්තෙකි. පරම පවිත්‍ර ඒ ලොව්තුරු සිතේ රහසින් වත් පවක් නොවන සෙයින් කෙලෙස් සියල්ල දුරු කළ වග වටහා ගනියි. සිවුසස් නුවණින් මැනවින් දුක් පසක් කොට සසරින් මිදුණු වග හඳුනයි.

මෙම ලිපියෙහි ඉතිරි කොටස මැදින් අව අටවක පෝදා ( මාර්තු 16 ) වනදා පත්‍රයේ පළවේ