Print this Article


සිල්වත් කාන්තාවකගේ අභිමානය

සිල්වත් කාන්තාවකගේ අභිමානය

දිනක් ආරණ්‍යයක විවේක සුවයෙන් වැඩ සිටි සෝමා තෙරණිය අභිමුඛයට පැමිණි මාරයා., එතුමියට බිය තැතිගැනුම් ඇති කිරීම පිණිස ගාථාවක් ප්‍රකාශ කළේ ය.

අඟල් දෙකක පමණ නුවණ ඇති කාන්තාවනට ඍෂින් විසින් ලැබිය යුතු දුර්ලභ වු උතුම් පදවිය ලැබිය නොහැකි යැයි එහි අදහසයි . ඒ මොහොතෙහි සෝමා තෙරණිය ඒ මාරයා බව හැඳීන,

ඉත්ථි භාවෝ කිං කයිරා- චිත්තම්හි සුසමාහිතෙ
ඤාණම්හි වත්තමානම්හි - සම්මා ධම්මං විපස්සතෝ
( සං. නි. භික්ඛුණි සංයුක්තකය )

සිත සමාධි ගතවූ කල්හි, නුවණ මනාව පිහිටුවා ගෙන, ධර්මය දැකිමට හැකිනම්, ස්ත්‍රිභාවය කුමක් කරන්නදැ යි විමසූ අතර මම ස්ත්‍රියක් වෙමි. පුරුෂයෙක් වෙමියි. යන අදහස් දරන්නෙකුට එසේ කියන්නයැයි පැවසූ විට මාරයා ලජ්ජිත වී පළා ගිය බව දැක්වේ. රාගයෙන් රත්වූ සල්ලාලයෙකුට ඇස් දෙක ගලවා දුන් සුභා තෙරණියගේ චරිතය, විමුක්ති ලාභි උත්තමාවියකගේ චරිතය කියා පායි. ධම්මදින්නා තෙරණියෝ අරිහත්වය දක්වාම ඉදිරියට ගියේ ධර්ම කථිකත්වය ද සමගිනි . උන්වහන්සේ විසින් ගිහි කල ස්වාමියා වූ විශාඛ සිටුවරයා සමඟ කළ ධර්ම සාකච්ඡාව එතුමියගේ ප්‍රඥාව මැනවින් ප්‍රකාශ කෙරෙයි. චුල්ල වේදල්ල සූත්‍රය නමින් මජ්ක්‍ධිම නිකායෙහි දැක්වෙන්නේ එම සූත්‍රයයි විශාඛ සිටු බුදු රදූන් අභියසට ගොස් කරන ලද ධර්මසාකච්ඡාව පිළිබඳ දැන්වීමේ දී බුදුරදුන් දේශනා කළේ, මහ සිටාණෙනි, ඔබ මගෙන් ඔය ප්‍රශ්නය ඇසුවේ නම්, මම ද පිළිතුරු දෙන්නේ ඒ ලෙසින් ම යනුවෙනි .එසේ පවසා විසාඛය, ධම්මදින්නා භික්ෂුණිය පණ්ඩිතයැයි” ප්‍රකාශ කළහ.

රූප ශෝභාවෙන් මත් වූ බිම්බිසාර රජුගේ අග මෙහෙසිය වූ ඛේමා දේවිය රහත් වූයේ ගිහිවත දරද්දීමය .ඇය මහා ප්‍රඥාවන්න භික්‍ෂුණීන්ගෙන් අග්‍රවූවා පමණක් නොව බුදු රදුන්ගේ දකුණත් ශ්‍රාවිකාව ද වූවා ය. උප්පලවන්නා තෙරණිය ඍද්ධිවන්ත භික්‍ෂුණීන්ගෙන් අග්‍ර වූවා සේ ම බුදු රදුන්ගේ වමත් ශ්‍රාවිකාව ද වූවා ය. මේ ආදී වශයෙන් මහා ශ්‍රාවිකා තොරතුරු රැසක් ථේරි ගාථා භික්‍ෂුණි සංයුක්තකය ආදියෙන් දත හැකි වේ.

ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනා ඇසූ සාතාගිර යක්‍ෂ සේනාධිපති තමාගේ මිත්‍ර හේමවත යක්‍ෂයාට බුදුරදුන් පිළිබඳ ව පැවසීමට හිමාලය දෙසට යද්දී, හිමාලයෙ ්සිටි හේමවත ආවේ හිමාල පරිසරයේ ඇති සුන්දරත්වය සාතාගිරට කියාපෑමට ය. දෙදෙනා අහසේ දී මුණ ගැසී කරන ලද ධර්ම සාකච්ඡා, බුදු ගුණ මහිමය පිළිබඳ සාකච්ඡා, ආදිය ශ්‍රවණය කළ කාලී නම් කාන්තාවක් සෝවාන් මාර්ගඥාණය ලබාගත්තා ය. සෝවාන් ඵල ලැබූ ප්‍රථම කාන්තාව ඇයවේ. මේ බව සුත්තනිපාත අට්ඨකථාවේ හෙමවත සූත්‍රයේ සඳහන් වේ.

පසු කලෙක ඇය බුදුරදුන් වෙතින් අනුශ්‍රවයෙන් දහම් අවබෝධ කරගත් අය අතරින් අග තනතුරු ලද්දී ය.

අනුබුදු මිහිඳුමහ රහතන් වහන්සේගෙන් බණ අසා ප්‍රථමයෙන් සෝවාන් බවට පත්වූයේ ද, සකෘදාගාමී වූයේ ද මහානාග යුව රජුගේ බිසව අනුලා දේවිය සහ පන්සියයක් රාජ කුමාරිකාවෝ වීම ද විශේෂත්වයකි. මේ ආදී වශයෙන් බොහෝ තොරතුරු රාශියක් ත්‍රිපිටකාගත කරුණු වලින්ද ශාසන ඉතිහාසයෙන් ද දැන ගැනීමට හකියාව ලැබේ. මෙය සිල්වත් ගුණවත් කාන්තාවන්ගේ අභිමානයයි .