Print this Article


භව කතරයි දුක් සයුරයි - 09: සෝ තැවුල් ඇයි මේ තරම්

සෝ තැවුල් ඇයි මේ තරම්

මෙම ලිපි පෙළෙහි සඳහන් වූ ධර්ම කරුණු ඔස්සේ පෙන්වා දීම සඳහා උත්සාහ ගන්නේ කුමක් ද? දුක පිළිබඳ ව නිවන අරමුණු කරගෙන මෙනෙහි කරන්න නම්, සිත පිහිටුවන්නට නම් දීර්ඝ සංසාර ගමනේ දුකක් ගැන නොසිතා.

සැපක් සෙවූ ඒ නිසාම අනවබෝධයෙන් දුකම විඳි, එහෙත් එය දුකක් බව තේරුම් නොගත්, අශ්‍රැතවත් පෘතග්ජන සත්ත්වයන් ට ආර්ය සත්‍යයක් වශයෙන් මතු කොට දක්වන දුක හඳුනාගැනීමට තරම් මානසික පරිසරයක් සාදා දීමයි.

එසේ නොමැති ව බුද්ධාදී උතුමන් වහන්සේලා විසින් ආර්යය සත්‍යයක් ලෙස පෙන්වා දෙන ලද මේ චතුරාර්ය සත්‍ය ධර්මය අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයාට එකවිට ම සිතා ගැනීමට නොහැකි වනු ඇත. එවිට යම් වූ ද ශ්‍රද්ධා ගුණයක් ඇති ශ්‍රාවකයා සිද්ධ කරන්නේ එය උතුම් කොට සලකන වස්තුවක් ලෙස සිතා තමා කෙරෙන් ධම්මවිජයකින් තොරව එනම් රාගාදී කෙලෙස් බැහැර කිරීමේ අදහසින් යුතුව තර්කයක් ඇති නොකොටගෙන විමසා බැලීමකින් තොරව පැත්තකින් තබා ගැනීමයි. ඒ පිළිබඳ ව නො විමසා යම් වූ ද, ඇති කරගත් ශ්‍රද්ධාව නිසා එය එසේ වේවායි සිතමින් ප්‍රාර්ථනා කරමින් කටයුතු කිරීමයි. එහෙත් ඔවුන්ගේ ප්‍රායෝගික ජීවිතයට ගෙන ප්‍රශ්න කොට බැලුවොත් ඔවුන් අර ඉහළ තැනක ශ්‍රද්ධාවෙන් තබා තිබෙන සම්‍යග් ප්‍රඥාව හෝ නිවන් අවබෝධය පිළිබඳව හෝ සාකච්ඡාවකට නොයනු ඇත.

චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන නිවන අරමුණු කරන යම් වූ ද පිරිස් පවා සරල වූ ජීවිත ගැටලුවක දී පවා කම්පාවෙන්නේ, හඬන්නේ, වැළපෙන්නේ ඒ නිසා ය. එපමණක් නොව මෙතෙක් ඔවුන් ගමන්කළ ප්‍රතිපදා මාර්ගයෙ න් පවා බැහැර වීමට ඔවුන් උත්සාහ දරන්නේ ඒ නිසා ය. යම් විටක සම්‍යග් දෘෂ්ඨිකව සිටියා යැයි පවසන අය පවා ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර ව සීලබ්බත පරාමාස නම් වූ අන්‍යය දෘෂ්ඨීන්ට හා අන්‍ය ප්‍රතිපදා මාර්ගයන්ට අනුගත වන්නට උත්සාහ කරන අවස්ථාවන් ද දකින්නට ලැබෙනවා ඇත. මේ නිසා අප විසින් කල්‍යාණවන්ත ව සිතා බැලිය යුතු, සාකච්ඡා කළ යුතු අවස්ථා කීපයක් තිබේ.

දුක පිළිබඳව සාකච්ඡා කරන විට වර්තමානයේ අශ්‍රැතවත් පෘතග්ජන සිත්වලට තේරුම්ගත හැකි ලෙඩවීම, දිරාගෙන යෑම, මරණය, අප්‍රියයන්ගේ සම්ප්‍රයෝගය, ප්‍රියයන්ගේ විප්‍රයෝගය, කැමැති දෑ ඉටුකරගන්නට නොහැකිවීම, හෝ බලාපොරොත්තු කඩවීම ආදී වශයෙන් මතුකොට දක්වා ඒවායෙහි හේතුව හා ඵලය පිළිබඳ ව අනුක්‍රමයෙන් සාකච්ඡා කිරීම අවශ්‍යයයි. එහෙත් ඒ එකම සාකච්ඡාව නමුත් තරුණ දරුවන්ට කරන සාකච්ඡාවත්, වැඩිහිටියන්ට කරන සාකච්ඡාවත් දෙකක් විය හැකියි.

මෙහි තරුණ වැඩිහිටි යනු වයසේ කතාවක් නොව දහම් අවබෝධයේ ස්වභාවයක් බව තේරුම්ගත යුතු වනු ඇත.

කෙනෙක් වයසෙන් වැඩිහිටි වූවත් යම් විටක තරුණ දරුවකුගේ සිතේ පවතින ධම්මවිජය නම් වූ දහම අනුව ධාතු ස්කන්ධ ආයතනයන් උදයව්‍යයට යටත්කොට ලෝභාදී කෙලෙසුන්ගේ සංසිඳීමක් ගැන සිතා ගන්නට නොහැකිවනු ඇත. එවැනි කෙනෙක් වැඩිපුරම සිටින්නේ ඔවුන් පවසන පින්කම් ය, යම් යම් චාරිත්‍ර වාරිත්‍ර මත පමණක් විය හැකි ය. එහෙත් මේ කිසිදු අයෙක් නොසලකා හැරිය නොවනු ඇත. ඔවුන් නිග්‍රහයකට ලක්කිරීම සුදුසු නොවේ. ඒ සියලු දෙනා ම ඔවුන්ගේ චරිත සංසිද්ධීන් හා පසුබිම සලකාගෙන ධර්ම මාර්ගයට එනම් පරමාර්ථ ධර්ම මාර්ගයට එකතු කර ගත යුතුව ඇත.

මේ නිසා ඔවුන්ගේ ජීවිතවල ඇතිවන මුලින් සඳහන් කළ ඉපදීම, ලෙඩවීම, දිරීම, මරණය දක්වා සාකච්ඡා කොට දුක්ඛාර්ය සත්‍යයේ ම අවසානයේ සඳහන් කළ මේ ස්කන්ධ පංචකය ම මම ය, මාගේ ය, මගේ වසඟයේ දිගින් දිගට ආත්මයක් ලෙස පවතින්නේ ය, මට පාලනය කරගත හැකිවන්නේ ය. කැමැත්ත අකැමැත්ත මා තුළ ම පවතින්නේ ය. මා රිසි සේ මේ ස්කන්ධ පංචකය හෝ ජිවිතය හෝ අන් ජීවිත හෝ පවත්වා ගැනීමට උත්සාහ ගත යුතු වන්නේ ය. වැනි අදහස් පෙළ අනුක්‍රමයෙන් බැහැරකොට ඔවුන්ගේ ම ශරීරයේ පවත්නා කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ වශයෙන් කුනප කොටස් වශයෙන් ගත් ධාතූන් පවා නිදසුන් කොට දක්වා. එහි ඇති වෙනස්වීම නිත්‍ය නොවන ස්වභාවය තමාට කැමැති පරිදි නොපිහිටීම ආදී වශයෙන් පෙන්වා දිය හැකියි. එසේ තේරුම් නොගැනීම නිසා ඇතිවන ශෝක සන්තාප දුක් දොම්නස් මතුකොට පෙන්වා දිය හැකියි. මෙතෙක් සැප ලෙස සිතූ දේ තාවකාලිකව පැවතුන බවත් දීර්ඝ දුකකට අවස්ථාවක් සැදී ඇති බවත්, පෙන්වා දිය හැකියි. සරල වචනයෙන් සඳහන් කළොත් පැහැදිලිව ම පෙනෙන සේ ඇස්පනා පිට ම පෙනෙන සේ , නැවත පෙර ආකාරයෙන් නොයන ගමන් ගිය පුද්ගලයෙක්. එනම් මරණයට පත් වූ පුද්ගලයෙක් ගැන සිතමින් බොහෝ කාලයක් මනසින් දුක්විඳින අයෙකුට ජීවිතයේ යථාර්ථය පිළිබඳව අනුක්‍රමයෙන් කරුණාවෙන් යුතුව මාර්ගය පෙන්වා දිය හැකියි.

මේ දුක පිළිබඳව අශ්‍රැතවත් පෘතග්ජන සිතකට පෙන්වා දිය යුතු තැනකි. ඒ අනුව දුක නිවැරැදි ආකාරයෙන් පෙන්වා දුන්නේ නම් වැටෙන්න තිබෙන දුකෙන් නිදහස් වීමත්, වැටුණු දුකින් නිදහස් වීමත් සදාකාලික දුකෙන් නිදහස් වෙනවාය කියන තැනට පැමිණෙන්නට අපට ගමන ආරම්භ කිරීමට පුළුවන් විය හැකිය. එසේ නොමැති ව අජර අමර නිවන කියන වචන අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයාට වචන පමණක් ම විය හැකි වන්නේ ය.