Print this Article


ධර්මයෙහි ගැඹුර තේරුම් ගන්න

ධර්මයෙහි ගැඹුර තේරුම් ගන්න

"බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාම විද්‍යානුකූල, ඉතා තර්කානුකූල නමුත් තර්කයට හසු නොවන්නටම විනිවිද පෙනෙන නිවැරැදි වූ එකිනෙකට ගැළපිය හැකි පටිච්ඡ සමුප්පන්න ස්වභාවය ඇති උතුම්දහමකි"

ඇති වේවී නැතිවේවී යන වේදනාව සෑම මොහොතක ම ශරීරය ඇසුරු කරගෙන එකදිගට යන වේදනා ධාරාවකි. එම වේදනා ධාරාව වෙත සිත යොමු කර ගෙනම සිටිය යුතුයි. එසේ සිත යොමු කර ගෙනම සිටිය යුතු වන්නේ වේදනාවෙහි අනිත්‍යය හෝ අනාත්මය තේරුම් ගැනීම සඳහා ය.

වේදනා සංතතියේ සහ සඤ්ඤා සංතතියේ ලක්ෂණයන් තෝරා ගත හැකි නොවේ. එසේ නම් හිත පුහුණු කළ යුත්තේ ඒකාග්‍රව තමන්ගේ ඤාණයට සමවැදීමට, වේදනාවට සමවැදීමට, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ සංතතියට සමවැදී ඒ තුළ රැඳී එහි ලක්ෂණ තෝරා ගැනීමට තරම් ශක්තිමත් සිතක් වර්ධනය කර ගත යුතු ය.

එසේ වර්ධනය කර ගැනීමට නම් සීල, සමාධි, ප්‍රඥා, සීලාදී ගුණ ධර්මවලින් ඒ වර්ධනය සිදුවේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු ක්‍රමානුකූලව තමන්ව තමන්ට අවබෝධ කරගැනීමට, තමන්ගේ සත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන මනසක් සකස් කරන, පහත මට්ටමක සිට ඉතා ඉහළ තත්ත්වයකට සකස් කරන වැඩ පිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය වේ. චක්ඛු, කරණී, ඤාණ කරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය, නිබ්බාණාය සංවත්තති.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාම විද්‍යානුකූල, ඉතා තර්කානුකූල නමුත් තර්කයට හසු නොවන්නටම විනිවිද පෙනෙන නිවැරැදි වූ එකිනෙකට ගැළපිය හැකි පටිච්ඡ සමුප්පන්න ස්වභාවය ඇති උතුම්දහමකි.

ඒ උතුම් ධර්මය වෙනත් කවරකුවත් ගැන නොවේ. තමන් ගැන ය. තමාගේ ඇත්ත ස්වභාවය ගැන. ඇත්ත ස්වභාවය දැන ගත්තද තණ්හා ආදිය ඇති නොවේ.

ඉතින් එබැවින් අප සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි ගැඹුර, හරය, ඵලය තේරුම් ගෙන මේ ජීවිතයත් සාර්ථක කරගෙන සසර ජීවිතයත් සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසීම සඳහා අධිෂ්ඨානය ඇති කර ගත යුතු ය.