Print this Article


මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවිප්‍රාප්ත ගාල්ල ඓතිහාසික යටගල රාජමහා විහාරය, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය, ඓතිහාසික මඟුල් මහා විහාරය, ඓතිහාසික උණවටුන වැල්ලේ දේවාල විහාරය, ප්‍රමුඛ අෂ්ට මහා විහාර

මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවිප්‍රාප්ත ගාල්ල ඓතිහාසික යටගල රාජමහා විහාරය, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය, ඓතිහාසික මඟුල් මහා විහාරය, ඓතිහාසික උණවටුන වැල්ලේ දේවාල විහාරය, ප්‍රමුඛ අෂ්ට මහා විහාරාධිපති, යටගල හෙට්ටාචල පරිවේණාධ්‍යක්ෂ ශාස්ත්‍රපති, පණ්ඩිත සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර

මැටරඹ හේමරතන නා හිමි

ශාසන බ්‍රහ්ම චර්යාවෙහි අරමුණු මුදුන්පත් කරවා ගැනීමට භික්ෂූහු සමත් වෙති

තෙමේත් සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඤාණදස්සන සම්පන්න වූයේ අන්‍යයන් ද එකී ධර්මයන් හි සමාදන්කරවීමත්, ගෘහස්ථ ප්‍රව්‍රජිතාදී සියල්ලන්ගේ අර්ථ සිද්ධිය උදෙසා නායකත්වය ගෙන සදුපදේශය සැපයීමත් භික්ෂුව සතු කාර්ය භාරය යි. එකී කාර්යභාරය භික්ෂුව සතුවන්නේ ප්‍රව්‍රජ්‍යාවත් සමඟම ය. නිස්සරණ ප්‍රතිපදාවෙහි භාවිත චිත්තයෙන් ලෝකාර්ථචර්යාවෙහි යෙදෙමින් ශ්‍රී සම්බුද්ධ දේශනාවන්ගේ චිර ප්‍රවර්තනයෙහිලා කටයුතු කිරීම තුළින් සිය ශාසන බ්‍රහ්ම චර්යාවෙහි අරමුණු මුදුන්පත් කරවා ගැනීමට භික්ෂුහු සමත් වෙති.

මෙබඳු භික්ෂු භූමිකාවක පිහිටා කටයුතු කරන, අපේ ගරුතර කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ‘සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර’ යන ගෞරව නාමධෙයය සහිතව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවියට සහ අපේ මංගල උපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවියකට පත් කරන්නට යෙදුණු, ඓතිහාසික යටගල සිතුල්පව්ව උභය රාජමහා විහාරයන් ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහාවිහාරාධිපති මැටරඹ හේමරතන නායක ස්ථවිරපාදයන් වහන්සේට ඉදිරියටත් උදාර ලෝක ශාසනික චර්යාවෙහි නිරත වන්නට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවායි ආශිංසනය කරම්හ.

 

****

ඓතිහාසික පදනමකින් යුතු ශාසනික වගකීමක්

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය හා ගාල්ල යටගල රාජමහා විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවක ම ආධිපත්‍යය උසුලන හෙට්ඨාචල මහ පිරිවෙණේ පරිවේණාධ්‍යක්ෂ ශාස්ත්‍රපති මැටරඹ සද්ධර්ම කීර්ති ශ්‍රී හේමරතන නායක ස්ථවිරයන් වහන්සේට මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක මා හිමියන් වහන්සේ ප්‍රධාන ගරුතර කාරක සංඝ සභාව වෙතින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය සහ මල්වතු මහා විහාරයේ උපාධ්‍යාය පදවිය පිරිනමා ඇති බව දැන ගැනීමට ලැබීමෙන් මම මහත් සේ සතුටට පත් වීමි.

බුදුපියාණන් වහන්සේ පවා විවිධ කුසලතාවලින් පිරිපුන් තම ශ්‍රාවකයන් වහන්සේ උදෙසා මෙබඳු පදවි පිරිනමා ඇති ආකාරය ඒතදග්ග පාලියේ සඳහන් වේ. බුදුපියාණන් වහන්සේ එයින් අදහස් කළේ තම ශ්‍රාවකයින් වහන්සේලාගේ කුසලතා මෙන් ම සේවාවන් ද ඇගයීමට ලක් කිරීම යි. ශ්‍රී ලාංකීය ශාසන ඉතිහාසය දෙස බැලීමේ දී ද කලින් කල විසූ රජවරු ප්‍රතිබල සම්පන්න මහ තෙරුන් වහන්සේලා විෂයෙහි විවිධ ශාසනික තනතුරු පිරිනමා ඇත්තේ ද බුදුන් වහන්සේගේ එම ක්‍රියාව අනුගමනය කරමින් බව පෙනේ. එය සංඝ සාමගි‍්‍රය ඇති කර ගැනීමටත් , භික්ෂූන්ගේ පාලනයටත් ඉවහල් වී ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජ දවස අස්ගිරි මල්වතු මහා මූලස්ථාන දෙකට මහා නායක, අනුනායක ආදී පදවි පිරිනමා මෙම ශාසන චිරස්ථායී බවට පත් කළ තැන් පටන් ප්‍රාදේශීය භික්ෂූන් වහන්සේලාගේ පාලන කටයුතුවල පහසුව පිණිසත් , මූලස්ථානය සමග සෘජු සම්බන්ධතා ඇති කර ගනිමින් කටයුතු කිරීම පිණිසත් ප්‍රාදේශීය සංඝ නායක පදවි පත් කිරීම ආරම්භ වී ඇත. යථෝක්ත මැටරඹ සද්ධර්ම කීර්ති ශ්‍රී හේමරතන නායක ස්ථවිරයන් වහන්සේට මල්වතු මහා විහාරයෙන් පිරිනමා ඇත්තේ ද එබඳු ඓතිහාසික පදනමකින් යුතු ශාසනික වගකීමකි.

උන්වහන්සේ එබඳු පදවියක් දැරීමට මහත් සේ සුදුසුකම් සපුරා ඇත්තාහ. ජාතික, ආගමික, සාමාජික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද සුවිසල් සේවාවක් සිදුකරමින් ස්වාර්ථ සාධනයෙහි මෙන්ම පරාර්ථ චර්යාවෙහි ද නියැලී සිටීම උන්වහන්සේ තුළ ඇති සුවිශේෂී භාවය යි. දකුණු පළාත් ඓතිහාසික සිද්ධස්ථාන කිහිපයක ම ආධිපත්‍යය උසුලමින් ඒවායේ අභිවර්ධනයට මෙන්ම සංරක්ෂණයට ද මුන්වහන්සේගෙන් විශාල මෙහෙවරක් සිදුවී ඇත.

යටගල රජමහා විහාරස්ථානයට අනුබද්ධ හෙට්ඨාචල පිරිවෙණෙහි කෘත්‍යාධිකාරීන් වහන්සේ ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතියට සිදුකර ඇත්තේ අප්‍රමාණ මෙහෙවරකි. ගත්කතුවරයෙක් ලෙස ඉන්දු ආර්ය සංස්කෘතිය, ලේඛන රේඛා වැනි ග්‍රන්ථ කිහිපයක් ම රචනා කර ඇත. දක්ෂිණ ලංකාවේ පමණක් නොව මුළුමහත් දිවයිනේ ම ගිහි පැවිදි කාගේත් ප්‍රසාදයට පත්ව සිටින මුන්වහන්සේ වැනි සංඝපීතෘන් වහන්සේ නමකට මල්වතු මහාවිහාරයෙන් මෙවන් උත්තරීතර ශාසනික ඨානාන්තරයන් පිරිනැමීම අපගේ ද බලවත් ප්‍රසාදයට හේතුව කි.

රත්නත්‍රයානුභාවයෙන් හා දළදා සමිඳු පිහිටෙන් අභිනව පදවි ප්‍රාප්ත මැටරඹ ශ්‍රී හේමරතන නායක ස්ථවිරයන් වහන්සේට ආයුරාරෝග්‍යාදී සම්පත් සැලසේවායි සුභාශිර්වාද කරම්හ.

****

නූතන සසුන් කෙත ඔපවත් කරන නා හිමි නමක්

බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සඟ පිරිසක් ඇතිකළ සේක්, උන්වහන්සේගේ ධර්මය ලෝකයාට අවබෝධ කරදීම සඳහා ය. ඒ කාර්ය භාරය මේ දක්වා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස විසින් මේ රටේ ද විදේශීය රට රාජ්‍යවල ද පවත්වාගෙන යති. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ ජීවත්වන සමයේ දී ම ලංකාවට ද තෙවරක් වැඩම කළ සේක. එනිසා ම මිහිඳු මහරහතන් වහන්සේගෙන් පසු මෙරට රාජ රාජ්‍ය මහාමාත්‍යවරු ද බුදු දහමට දක්වන ලද්දෝ අසීමිත ලැදිකම කි. රුහුණේ සිතුල්පව්ව මහා විහාරය ද ඒ මහඟු කාර්ය භාරය ම ඉටුකරනු පිණිස ආරම්භ වූ පූජා භූමියක් බව නො කියා ම බැරි ය. එයිනුත් සිතුල්පව්ව එදා මෙදා තුර පැවතුනේ දේශීය විදේශීය භික්ෂූන් වහන්සේලාගේ භාවනාදියට ම යොමු වූ එක් සුවිශාල මහ සෙනසුනක් වශයෙනි.

කර්මස්ථාන භූමියක් වශයෙන් ම සිතුල්පව්ව සුවිශාල වන සෙනසුන අද දක්වා පවතී. එහි විහාරාධිපතිත්වය දරන සුපේෂල ශික්ෂාකාමී, ශාස්ත්‍රපති අපේ මැටරඹ හේමරතන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අප්‍රතිහත ධෛර්යයකින් යුතුව මේ පුණ්‍ය භූමිය සංවර්ධනය කරනු සඳහා කරන පරිශ්‍රමය අගය කළ නොහැකි තරම් සුවිශාල ය. එසේම, 1990 දශකයේ දී එවකට අක්මීමන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ මැතිතුමන් ඓතිහාසික ගාල්ලේ යටගල රාජමහා විහාරය පූජා භූමියක් බවට රජය මගින් ප්‍රකාශයට පත්කිරීම ඉතා උතුම් පුණ්‍ය ක්‍රියාවකි. එමෙන් ම මුන්වහන්සේගේ ආචාර්යෝත්තම වත්තේහේනේ ශ්‍රී රතනසාරාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ ඓතිහාසික යටගල රාජමහා විහාරය, ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරාධිපති ධූරයට පත් වූ මුන්වහන්සේ අවස්ථා ගණනාවක දී ම විදේශීය ධර්ම දූත සේවාවෙහි නියැළී තිබේ. එමෙන් ම අපේ මැටරඹ හේමරතන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ග්‍රන්ථ කතුවරයාණ කෙනෙකුන් වශයෙන් අගනා පොත්පත් රාශියක් ලියා පලකොට විශිෂ්ට ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටුකොට ඇත.

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අති පූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාව විසින් අපේ මැටරඹ හේමරතන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ගෞරව නාම සහිතව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක සහ මල්වතු මහා විහාරයේ උපාධ්‍යාය පදවියකින් පිදීම අතිශය වැදගත් ක්‍රියාවක් බව සඳහන් කළ යුතුව තිබේ. ඒ අනුව අපේ මැටරඹ හේමරතන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පතින් යුතුව මේ විශිෂ්ට තනතුරු ඔපවත් කිරීමට ශක්තියත්, බලයත් ලැබේවායි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ද ප්‍රාර්ථනාව වන්නේ ය.

****

සම්භාවනීය පදවියට අතිශයින් සුදුසු ථෙරනමක්

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් “දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක’ පදවිය හා උපාධ්‍යාය පදවිය පිරි නමන්නට යෙදුන යටගල රජමහා විහාරය, සිතුල්පව්ව රජමහා විහාරය, ඇතුළු අෂ්ට මහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද මැටරඹ හේමරතන මහා ස්ථවිරයන් වහන්සේ එම අති සම්භාවනීය පදවියට අතිශයින් ම සුදුසු තෙරපාණ කෙනෙක්ම වෙති. ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උපාධි හා ප්‍රවීණාචාර්ය සහතිකය ද ලබා ඇති මැටරඹ හේමරතන මහා ස්ථවිරපාදයෝ උගතෙකි. වියතෙකි.

තමන් ලද අධ්‍යාපනය බොහෝ ශිෂ්‍ය පිරිසකට දායාද කරමින් පරිවෙණාචාර්යවරයෙකු පරිවෙණාධිපතිවරයෙකු වශයෙන් අගනා අධ්‍යාපනික සේවාවක් සිදුකළ උන්වහන්සේ බෞද්ධ ධර්ම සංග්‍රහය, ලේඛන රේඛා, ඉන්දු ආර්ය සංස්කෘතිය ආදී ග්‍රන්ථ රැසක් එළි දැක්වූ ගත් කතුවරයෙක් ද වෙති. ඓතිහාසික යටගල රජමහා විහාරය, සිතුල්පව්ව රජමහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක විහාරාධිපතිත්වය දරමින් ලෝක ශාසනික සේවාවේ යෙදුන මැටරඹ හේමරතන නායක ස්ථවිරපාදයන් වහන්සේගේ සේවාවන් අතර ඓතිහාසික යටගල රාජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීම අනුස්මරණීය සේවාවක් බව සඳහන් කළ හැකි ය.

කැටගොඩ සංඝ පරම්පරාව ඡ්‍යෝතිමත් කරන කනක තරුවක් බඳු පූජ්‍යපාද මැටරඹ හේමරතන නායක මහා ස්ථවිරපාදයන් වහන්සේට තමන් වහන්සේ වෙත ප්‍රදානය කරන ලද දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියේ ගෞරවය ආරක්ෂා කරමින් චිරාත් කාලයක් ලෝක ශාසනික සේවාවක් සිදු කිරීමට අනන්ත බල ඇති රත්නත්‍රයේ ආශීර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.

****

එදා මෙදාතුර ලෝක ශාසනික අභිවෘද්ධිය පිණිස ඉටු කළ මෙහෙවර ඇගයීමක්

යටගල - සිතුල්පව්ව උභයරාජ මහා විහාරාධිපති, පූජ්‍ය මැටරඹ හේමරතන නා හිමිපාණන් වහන්සේට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය සහ මල්වතු මහාවිහාරයේ රාජපූජිත මංගලෝපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවිය ප්‍රදානය කිරීම ගැන මගේ සුබපැතුම් පිරිනමමි.

පූජ්‍ය මැටරඹ හේමරතන නා හිමියන් එදා මෙදාතුර ලෝක ශාසනික අභිවෘද්ධිය පිණිස ඉටු කළ මෙහෙවර ඇගයීමක් වශයෙන් උන්වහන්සේ වෙත අභිනව පදවිය පිරිනමා ඇත.

පූජ්‍ය මැටරඹ හේමරතන හිමිපාණන් වහන්සේ අභ්‍යාස කළ ගැඹුරු දහම සරලව පොදු ජනතාවටත්, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේටත් අවබෝධ කරනු වස් ග්‍රන්ථකරණයෙහි නියැලුණහ. භාෂා ශාස්ත්‍ර විෂයෙහි ප්‍රාමාණික විද්වතෙකු ලෙස උන්වහන්සේ කළ ශාස්ත්‍රීය පර්යේෂණ තවත් බොහෝ කාලයක් අපේ රටේ අධ්‍යාපනය පොහොසත් කරනු ඇති බව මගේ විශ්වාසය යි.

ආගමික, සාමාජයීය, සංස්කෘතික වශයෙන් සිදුකළ මෙහෙවර අක්මීමන ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහාලේඛකාධිකාරී ධූරය ලැබීමටත් ඉන් නො නැවතී සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර යන ගෞරව නාමය සහිතව දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක ධූරය ලැබීමටත් හේතු විය.

තමන් වෙත පැමිණෙන තනතුරු හා ගෞරවනාම හමුවේ අනතිමානි ගුණය තවදුරටත් ඔපවත් කළ උන්වහන්සේ විදෙස්ගතව එහි වෙසෙන ශ්‍රී ලාංකික සහ ධර්ම ශ්‍රවණාභිලාශි සියලුදෙනාගේ ධර්ම ඥානය පිණිස ධර්ම දූත මෙහෙවරෙහි නියැළෙමින් ලෝකාර්ථ චර්යාවේ නිරත වූ බව විශේෂයෙන් සිහිපත් කරමි.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් සහ මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝ පෝෂථාගාරයේ උපාධ්‍යාය පදවියෙන් පිදුම් ලත් පූජ්‍ය මැටරඹ හේමරතන නා හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

****

ලෝක ශාසන සංග්‍රහයෙහි යෙදීම පිණිස ශුභාශීර්වාද පළ කරමු

යටගල සිතුල්පව්ව උභය රාජමහා විහාර ප්‍රමුඛ අෂ්ට මහා විහාරාධිපති, දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, සද්ධර්ම භාරතීශ්වරාචාර්ය, ශාස්ත්‍රපති අති පූජ්‍ය මැටරඹ සද්ධර්ම කීර්ති ශ්‍රී හේමරතන නා හිමියන් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් සහ මල්වතු මහා විහාරයේ උපාධ්‍යාය පදවියෙන් පුද ලැබීම පිළිබඳව මා සතුටට පත්වෙමි.

ගාලු දිස්්ත්‍රික්කයේ, මැටරඹ ග්‍රාමයේ 1941 සැප්තැම්බර් මස 17 වන දින ජේමිස් නානායක්කාර මහතාගේ සහ පල්ලියගුරුගේ ඇලිස්නෝනා මහත්මියගේ පවුලේ ජන්ම ලාභය ලැබ, යටගල මැල්කම් මහා විදුහලෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ උන්වහන්සේ 1956 අප්‍රේල් මස 5 වන දින ප්‍රව්‍රජ්‍යා සම්පත් ලදහ. හෙට්ඨාචල පිරිවෙණින් බණ දහම් හදාරා පසුව පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට 1965 දී මහනුවර මල්වතු මහාවිහාරයීය රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාව ලද හේමරතන සාමණේරයන් වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත්, විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, රත්මලාන පරිවේණාචාර්ය අභ්‍යාස ආයතනයේ ප්‍රවීණාචාර්ය සහතිකයත් ලබා හෙට්ඨාචල පිරුවෙනෙහි ආචාර්ය පදවියට පත්වූහ. 1976 වසරෙහි හෙට්ඨාචල පරිවේණාධිපති ධූරයට සහ ධර්මවිද්‍යාලයීය ප්‍රධානාචාර්ය ධූරයන්ගෙන් පිදුම් ලැබූ සේක. අක්මීමන ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී පදවිය දස වසරකට ආසන්න කාලයක් හෙබ වූ නා හිමිපාණෝ ගාලු දිස්ත්‍රික් පරිවේණාධිපති සහ කෘත්‍යාධිකාරී සංගමයෙහි ලේඛකාධිකාරී පදවියෙන් ද සම්මානිත වූහ.

ඓතිහාසික යටගල රාජමහා විහාරය පූජා භූමියක් බවට රජය මඟින් ප්‍රකාශයට පත්කිරීම නා හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු වූ සුවිශේෂී සද්ක්‍රියාවකි. ග්‍රන්ථ කර්තෘවරයෙකු වශයෙන් ද සම්භාවනාවට පත් නා හිමිපාණෝ උසස් පෙළ බෞද්ධ ධර්ම සංග්‍රහය, ලේඛන රේඛා, ඉන්දු ආර්ය සංස්කෘතිය, අපතේ යන අධ්‍යාපන සම්පත්, වන්දනා ගාථා, ඓතිහාසික මඟුල් මහා විහාරය ආදී ග්‍රන්ථ රැසක් මුද්‍රණාද්වාරයෙන් එළි දැක්වූහ.

2004 වර්ෂයේ ඓතිහාසික යටගල රජමහා විහාරය, ඓතිහාසික සිතුල් පව්ව රජමහා විහාරය, ඓතිහාසික මඟුල් මහා විහාරය, තල්පේ සේලුත්තාරාමය, යද්දෙහිමුල්ල අමරසිංහාරාමය, උණවටුණේ වැල්ලේ දේවාල විහාරය, උණවටුණේ බෝධිරුක්ඛාරාමය, අම්පිටියාගොඩ ගුණරතනාරාමය යන අෂ්ට මහා විහාරාධිපති ධූරයට පත් වූහ.

චිරරාත්‍රඥ මහ තෙරනමක වන අතිපූජ්‍ය මැටරඹ හේමරතන නා හිමියන්ගේ ලෝක ශාසනික මෙහෙවර කෙරෙහි පැහැදුණු රාජපූජිත මල්වතු මහාවිහාරයීය විංශත් වර්ගික කාරක සංඝ සභාව මගින් 2009 වර්ෂයේ දී සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර ගෞරව නාමෝපලක්ෂිත ව දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය ද 2019 වර්ෂයේ දී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය ද, 2020 වසරෙහි උපාධ්‍යාය පදවිය ද පිරිනමන ලදී.

ගුණවෘද්ධ, තපෝවෘද්ධ, නැණ වෘද්ධ, වයෝවෘද්ධ මැටරඹ හේමරතන නා හිමියන්ට විංශත් ශත වර්ෂාධික කාලයක් ලෝක ශාසන සංග්‍රහයෙහි යෙදීම පිණිස ශුභාශිර්වාද ප්‍රාර්ථනා කර සිටිමු.