Print this Article


මැටරඹ හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය

මැටරඹ හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, අතිපූජ්‍ය ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායකාදී විංශත්වර්ගික කාරක මහා සංඝ සභාව මඟින් දක්ෂිණ ලංකාවේ සම්භාවනීයතම ශාසනික ඨානාන්තරද්වය වන මල්වතු මහාවිහාරයීය මංගල උපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය ගාල්ල යටගල රාජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති, ගාල්ල හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, ශාස්ත්‍රපති, පණ්ඩිත, සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර මැටරඹ හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනමා ඇති බැවින් ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීමේ පුණ්‍යොත්සවය පෙබරවාරි මස 22 වන ශනි දින මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගල උපෝෂථාගාරයේ දී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිතුල්පව්ව මඟුල් මහාවිහාර ප්‍රතිසංස්කරණ දායක සභාවේ අනුශාසක, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිත සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන් ඇතුළු සම්භාවනීය ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත උපහාර දැක්වීමේ අභිනන්දන උළෙල පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පෙබරවාරි මස 29 වන ශනි දින අපර භාග දෙකට ගාල්ල යටගල රාජමහා විහාරස්ථානයේ දී මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක,අග්ගමහා සද්ධම්මජෝතිකධජ, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, රාජකීය පණ්ඩිත, ආචාර්ය, නියංගොඩ සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ සිතුල්පව්ව මඟුල් මහාවිහාර ප්‍රතිසංස්කරණ දායක සභාවේ සභාපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

පස්වරු 2.00 ට අභිනව නා හිමි පිළිගැනීමේ පෙරහර ගාල්ල යටගල රාජමහා විහාර නැගෙනහිර වාහල්කඩ අසලින් ආරම්භ වේ. 2.30 ට ආරාධිත අමුත්තන් අසුන් ගැනීම, 3.00 ට මුලසුන

පිළිගැන්වීම, 3.05 පන්සිල් සමාදන් වීම, 3.10 පිළිගැනීමේ ගීතය, 3.15 පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරීම, 3.30 ශ්‍රී සන්නස් පත්‍රය කියවීම, 03.35 අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී සන්නස්පත්‍රය පිරිනැමීම, 3.40 අග්‍රාමාත්‍යතුමා විසින් විජිනිපත පිළිගැන්වීම, 03.45 ප්‍රසාද පූජා පැවැත්වීම. පැවිදි අනුශාසනාව අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය පිළිගැන්වීම

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ලේල්වල සමිත හිමි, ඌරුගමුවේ අස්සජී හිමි සහ දිමුතු පුන්සර කොළඹගේ විසින් ‘මැටරඹ හේමරතන නා හිමි අභිනන්ද සංහිතා’ නමින් එම විශේෂ ශාස්ත්‍රීය සංග්‍රහය සකස් කොට ඇත. අග්‍රාමාත්‍යතුමා සහ ජනාධිපතිතුමා එම දහම් හමුව ඇමතීමෙන් පසු මූලාසනයේ අනුශාසනාව සහ පුණ්‍යානුමෝදනාවෙන් උත්සවය අවසන් වේ.