Print this Article


පූජාච පූජනියනං

මැටිවිලියේ ශ්‍රී පියරතන නා හිමි

පිටිගල ගංගාතිලක පිරිවෙන් විහාරය , පැලවත්ත නන්දනවන විහාරය, පැලවත්තේ සම්බෝධි විහාරය යන විහාරත්‍රයාධිපති, වලල්ලාවිට ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝ නායක , මැටිවිලියේ ශ්‍රී පියරතන නාහිමිපාණෝ ගාලු දිසාවේ පිටිගල මැටිවිලිය ගම්වරයේදී 1936 ඔක්තෝබර් 26 දින උපත ලදහ. නමින් පියසේන මහආරච්චි නම් වූ අතර, දොන් ජේම්ස් මහආරච්චි මහතා සහ පුංචිනෝනා පේලිතන්ත්‍රි මහත්මිය දෙමව්පියෝ වූහ.

පිටිගල මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ කුමරුවා තුදුස්වන වියේදී, 1940 අගෝස්තු මස 14 වන දින පිටිගල ගංගාතිලක පිරිවෙන් විහාරය, මැටිවිලිය ගංගාරාම විහාරය, ඉහළ ඕමත්ත ශ්‍රී සද්ධර්ම සමිත්‍යාරාමය යන විහාරයන්හි අධිපත්‍ය ඉසිලූ අර්ථදර්ශී , පන්නිල ශ්‍රී සාරානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදිබිමට පත්වූහ.

පිටිගල ගංගාතිලක පිරිවෙනින් හා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් උගත මනා බණ දහම් සපිරූ මැටිවිලියේ පියරතන සාමණේරයෝ, 1949 අපේ‍්‍රල් මස 30 වැනිදා කෝට්ටේ රජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී අධිසිල් ලැබුහ. විද්‍යාලංකාර පිරිවෙනින් අධ්‍යාපනය ලද අතර කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති නාහිමි, බඹරැන්දේ සිරි සීවලී හිමි ඇසුරේ කටයුතු කිරීමට අවස්ථාව ලැබීම නාහිමියන්ගේ ජීවිතයට මහත් ආශිර්වාදයක්ම වූහ. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන සහ කැලණිය වනවාසල විහාරය නාහිමියන්ගේ ජීවිතාදර්ශයට ගොඩනැංවූ ආයතනයන් ලෙස නිතර සිහිපත් කරනු දැකිය හැකි විය.

1959 ජූලි මස 11 වැනිදා තම ගුරු දේවයන්වහන්සේ දැඩි සේ ගිලන්ව සිට අපවත්වී වදාළෙන්, පිටිගල ගංගාතිලක විහාරයේ අධිපත්‍යයට පත්වූ උන්වහන්සේ, ප්‍රදේශයේ ජාතික ආගමික සාමාජික සේවාවන් රැසක් සිදුකිරීමෙහිලා , පෙරමුණ ගත්හ. ග්‍රාම සංවර්ධන හා පාසල් සංවර්ධන සමිති ඇරඹූහ. අඩාලව පැවති පිරිවෙන යළි ප්‍රතිෂ්ඨාපනය කළහ.දහම් පාසල ආරම්භ කළහ. පිටිගල මහ විද්‍යාලයේ දියුණුවට කටයුතු කළහ.

දක්ෂිණ ලංකා අමද්‍යප සමිතිය පිහිටුවමින්, මඩිහේ පඤ්ඤාසීහ නාහිමි සමගින් හිනිදුම ආසනය, අමද්‍යප ආසනයක් කිරීමට ඇම්.එස්.අමරසිරි ඇමතිතුමාට සහාය දැක්වීම නාහිමි චරිතයේ අමරණීය සිහිවටනයකි.

පැලවත්ත නන්දනවන විහාරය හා පැලවත්ත සම්බෝධි විහාරස්ථාන ආරම්භ කරමින් එහි ශ්‍රී පියරතන ශ්‍රී සම්බෝධි නමින් දහම් පාසල් දෙකක්ද ඇරඹිණි. සම්බෝධි අවුකන බුදුරුව තැනීම නාහිමිපාණන්ගේ ජීවිතයේ සුවිශේෂ ආගමික මෙහෙවරකි.

විහාරස්ථාන , පිරිවෙන් , දහම්පාසල් ඇරඹූ නාහිමිපාණෝ තම සේවාවන් තව දුරටත් සමාජය වෙත ලබාදීමට දුර දක්නා නුවණින් ක්‍රියා කළ අතර, දැන උගත් සසුන් ලැදි, පැවිදි ගිහි සිසු පරපුරක් බිහි කළහ. උන්වහන්සේලා දිවයිනේ විවිධ ප්‍රදේශවල අදටද සේවය කරති.

මෙවන් සුවිසල් මහ මෙහෙවරක නිරත නාහිමිපාණන්ගේ අපවත් වීමෙන් 2020 පෙබරවාරි 15 දිනට පුරා විසි වසරක් සපිරිණි.

පිටිගල ගංගාතිලක පිරිවෙන් විහාරාධිපති, කෘත්‍යාධිකාරි , පොල්දූගොඩ රේවත නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි විසිවස් පූර්ණ ගුණසමරු පින්කම පෙබරවාරි 14,15 දෙදින තුළ සිදු කිරීමට පැවිදි, ගිහි සිසු පිරිස සහ දායක සභාව කටයුතු සංවිධානය කර තිබිණි.

ගුරුදෙවි නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා.

****

මැටරඹ හේමරතන නා හිමි

ඓතිහාසික යටගල රාජමහා විහාරය ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය හා මගුල් මහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ විහාර ගණයේ ආධිපත්‍යය උසුලන හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ ශාස්ත්‍රපති, පණ්ඩිත ගෞරවාර්හ මැටරඹ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර හේමරතනාභිධාන දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලක්දිව අතිසම්භාවනීය ථෙරවාදී භික්‍ෂු පරපුරේ උදාර ගුණයන් මේ යැයි, ජීවමානව ප්‍රකට කරමින් වැඩසිටින වියත් ශික්‍ෂාකාමී මහා යතිවරයන් වහන්සේ නමක් ලෙස මෙරට ගිහි පැවිදි සකල සාධු ජනයා අතර අතිශය භක්ත්‍යාදරයට පත්ව සිටිති. උන් වහන්සේ වෙත මහනුවර මල්වතු මහා විහාරය මගින් උපාධ්‍යාය පදවිය සහ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ. ඒ නිමිත්තෙන් පවත්වන පිළිගැනීමේ උළෙල පෙබරවාරි 29 වැනිදා ප.ව. 2.00 ට ගාල්ල ඓතිහාසික යටගල රාජමහා විහාරයේ දී සිදු කෙරුණි.

ඓතිහාසික ගාලු පුරවරයේ උණවටුන මැටරඹ නමැති ග්‍රාමවරයෙහි විසූ අහංගම නානායක්කාර ගමගේ ජේමිස් නානායක්කාර මහෝපාසක මහතාගේ හා අක්මීමන පල්ලියගුරුගේ ඇලිස්නෝනා මහෝපාසිකා මාතාවගේ පුත්‍රයෙකු ලෙස 1941 සැප්. 17 වැනිදා හේමරතන නාහිමි ජන්මලාභය ලැබීය. යටගල මැල්කම් මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලත් අතර 1956 අප්‍රේල් 05 වැනි දින යටගල රාජමහා විහාරයේ දී ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විය. එහිදී හේමරතන නාහිමියන්ගේ ආචාර්යපාදයන් වහන්සේලා වූයේ කීර්තිශේෂභාවෝපගත ඉලුක්පිටියේ ජිනරතන නාහිමි, වත්තෙහේනේ රතනසාර නාහිමි හා වත්තෙහේනේ පියරතන පඬිහිමියනුත් ය. යටගල රාජමහා විහාර හෙට්ඨාචල මහ පිරිවෙනින් හා පැපිලියාන සුනේත්‍රාමහාදේවී මහ පිරිවෙනින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කළ උන් වහන්සේ 1965 දී මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූ හ. ඉක්බිතිව රත්මලාන පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලයේ දෑ අවුරුදු ගුරු පුහුණුව ඉතා සාර්ථකව නිමකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත් හ.

යටගල හෙට්ඨාචල මහ පිරිවෙනේ ආචාර්යවරයෙකු වශයෙන් අධ්‍යාපන සේවාව ඇරැඹූ හේමරතන නාහිමි පසුව එහි පරිවේණාධිපති ලෙස ද පත්ව වසර 22 කටත් අධික කාලයක් එහි වගකීම් සම්භාරය දැරී ය. අක්මීමන ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස වසර 08 ක් ද කලක් ගාලු දිස්ත්‍රික් පරිවේණාධිපති කෘත්‍යාධිකාරී සංගමයේ ලේකම් ලෙස ද නොමැකෙන සේවාවන් රැසක් සිදු කළේ ය. 1990 දී යටගල රාජමහා විහාරය පූජා භූමියක් බවට පත්කරවීමට මූලිකත්වය ගත්තේ ද හේමරතන නාහිමියන් ය. 2004 දී ස්වකීය අස්මදාචාර්යපාදෝත්තම වත්තෙහේනේ ශ්‍රී රතනසාර නාහිමියන් ගේ අපවත්වීමෙන් පසු ඓතිහාසික යටගල රාජමහා විහාරය ප්‍රමුඛව ඒ හා අනුබද්ධ සිතුල්පව්ව රාජමහා විහාරය, මගුල් මහා විහාරය, උණවටුන ඓතිහාසික වැල්ලේ දේවස්ථානය, යද්දෙහිමුල්ල අමරසිංහාරාමය, හැඩිදෙමළකන්ද සේලුත්තරාරාමය, උණවටුනේ බෝධිරාජ විහාරය හා අම්පිටියාගොඩ ගුණරත්නාරාමය යන සම්භාවනීය විහාරස්ථාන අටක ආධිපත්‍යයට පත් වූ හ.

ඉතා විනයගරුක දූරදර්ශී හා කාර්යක්‍ෂම විහාරාධිපති හිමිනමක ගේ භූමිකාව හේමරතන නාහිමි තුළින් මනාව මූර්තිමත් වෙයි. පූර්වෝක්ත විහාරස්ථාන සියල්ලෙහිම වර්තමාන නවෝදයේ නියමුවාණන් වනුයේ නාහිමියන් ය.

****

ගැවිලිපිටියේ රතන රංසි හිමි

මාවනැල්ල අරණායක ගැවිලිපිටියේ පදිංචි හේමවර්ධන හේවා පතිරණ හා අනුලා ලියනගේ දම්පතීන්ගේ පවුලෙන් බිහි වූ පින්වන්ත සිව්වන පිරිමි දරුවා දීපාල් දර්ශන හේවාපතිරණය. එම දරුවා නිසි වයසේ දී අකුරු කියවීමටට දෙමාපියන් ගමේ විහාරස්ථානයේ වැඩ විසූ ගැවිලිපිටියේ පඤ්ඤාරංසි තිස්ස ස්වාමීන් වහන්සේ වෙතින් සිදු කළහ. අනතුරු එම දරුවා කෑගල්ලේ මාවනැල්ල රාජගිරි විද්‍යාලයේ අකුරු කිරීම සඳහා ඇතුළත් කෙරුණි.

1995 ජනවාරි 12 දින එම කුමරුවා ගැවිලිපිටියේ රතනරංසි නාමයෙන් පැවිදි විය.

කැලණිය පොල්හේනේ ශාන්ත්‍යාරාමයේ දී උන්වහන්සේ පැවිදි ජීවිතය ආරම්භ විය.

අධ්‍යාපනය කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනින් ලැබූහ. ගැවිලිපිටියේ රතන රංසි ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. උපාධිය ලබා ගත්හ.

බලපිටිය මාදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී ගැවිලිපිටියේ පඤ්ඤාතිස්ස අනුනායක ස්වාමීන් වහන්සේගේ හා දොඩම්ගොඩ රතනසිරි තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ආශීර්වාද මැද උපසම්පදාව ලැබූහ.

ඉන්පසුව උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය ද සමත් වී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන ඩිප්ලෝමා උපාධියද ලබා ගත්තේ පොල්හේන ශාන්න්‍යාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරමින් සිටියදී ය.

අරණායක ප්‍රදේශයේ ද දහම් පාසල්වල උන්නතිය සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දුන් උන්වහන්සේ වෙත හැඳල අල්විස් පියසේන මුදලිගේ උපාසක මහතා තමන් සතු ඉඩමෙන් කොටසක් අමරපුර නිකායේ මූලවංශික පාර්ශ්වයට පූජා කිරීමට කැමති වූයෙන් පොල්හේනේ ශාන්න්‍යාරාම විහාරස්ථානය සතු දේපළක් බවට එය පත් විය.

ගැවිලිපිටියේ පඤ්ඤාරංසි අනුනායක ස්වාමීන් වහන්සේ කුඩා ආවාස ගෙයක් සාදා පූජ්‍ය ගැවිලිපිටියේ රතන රංසි ස්වාමීන් වහන්සේට බාර දෙන ලදී.

ඉතාමත් කෙටි කාලයකින් අල්විස් නගරයේ බිහි වූ චිත්ත සමාධි විහාරස්ථානය අදවන විට ප්‍රදේශයේ ඇති විහාරස්ථාන අතර අංගසම්පූර්ණ ස්ථානයක් බවට පත් වී තිබේ.