Print this Article


සදහම් අරණ

චූල සුභද්‍රාව

අනේපිඬු සිටුතුමාට චූල සුභද්‍රා, මහා සුභද්‍රා, සුමනා යැයි දියණියන් තිදෙනෙක් වූහ. එයින් චූල සුභද්‍රා උග්ග නම් සිටුවරයාගේ පුත්‍රයාට විවාහ කරදෙන ලදී. උග්ග සිටුතුමාගේ පවුලේ අය නිගණ්ඨයන්ට දානය දෙනවා. තමා ඔවුන් දැකීමට පවා ඇය අකැමැති වූවා ය. එයට හේතු විමසූ විට ඇය ඉතා මිහිරි ගීයෙන් මහා සංඝරත්නයේ ගුණ වර්ණනාවක් කළා ය. එයින් පැහැදීමට පත් උග්ග සිටුතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානයක් දීමට ඇයට අවස්ථාව ලබා දුන්නේ ය. ඇය බුද්ධ ප්‍රමුඛ පන්සියයක් වූ මහා සංඝරත්නය විෂයෙහි මහා දානයක් පිදුවා ය. මෙහිදී බණ ඇසූ උග්ග සිටුතුමා ඇතුළු පිරිස තෙරුවන් සරණ ගියහ.

****

හොඳ ගතිගුණ

තෙරුවන් සරණ යෑමත්
දෙගුරුන් නැමදීමත්
වැඩිහිටියන් සැලකීමත්
ගති ගුණයකී යහපත්

පන්සිල් රැකීමත්
ධර්මය ඉගෙනීමත්
දුර දිග බැලීමත්
ගති ගුණයකි යහපත්

අනුන් දේ නොගැනීමත්
අසරණයින්ට පිහිට වීමත්
රට ජාතිය ගැන සිතීමත්
ගතිගුණයකි යහපත්

****

පොළොන්නරු රන්කොත් වෙහෙර

උසින් මීටර් 55 ක් පමණ වන පොළොන්නරු රන්කොත් වෙහෙර කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමාගේ නිර්මාණයකි. මෙහි පැරැණි නම රුවන්වැලි දාගැබ ය. පේසාවළළු, වාහල්කඩ, ගර්භය, සතරැස් කොටුව, කොත් කැරැල්ල යන අංග ඉතා අලංකාර ලෙස අදත් විද්‍යමාන වේ. මේ චෛත්‍යය වට, යෙදූ සලපතල මළුව අදත් මනාව දැක ගත හැක.

****

දේශීය ආහාර ගනිමු

දේශීය ආහාර යනු අතීතයේ මුතුන්මිත්තන්ගේ සිට පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන වස විස නැති අපේම ආහාර වේ. දේශීය ආහාර අපේ ශරීර සෞඛ්‍යයට හිතකර ආහාර වේ. අපට දේශීය ආහාර බොහෝමයක් තිබේ. අපි මුං කිරිබත්, හත්මාළුව, කවලම් මැල්ලුම, කොළ කැඳ, සිංහල අච්චාරු, එළවළු සලාද, දේශීය පලතුරු බීම, පලතුරු සලාද වැනි සෞඛ්‍යාරක්ෂිත ආහාර රැසක උරුමකරුවෝ වෙමු. එහෙත් වර්තමානයේ ජනතාවගේ අහිතකර ආහාර රටාව නිසා ඔවුන් රෝගී වී තිබේ. අධික තෙල් සහිත ක්ෂණික ආහාර, කෘත්‍රීම බීම වර්ග, විවිධ රසකාරක යෙදූ ආහාර, පිෂ්ඨමය ආහාර වැනි ආහාර මඟින් බෝ නොවන රෝග වැළඳීම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. අතීතයේ මිනිසුන් දීර්ඝායුෂ වින්ඳ ද, වර්තමාන මිනිසාගේ ආයුෂ අඩු වී ඇත්තේ මේ වැරැදි ආහාර රටාව නිසා ය.

****

යහපත් සිතිවිලි

සම්බුදු සරණයි අප හැම දෙන හට
සදහම් සරණයි සිත පැහැදීමට
සංඝං සරණයි ගුණ සිහිවීමට
තෙරුවන් සරණයි මිනිසත් සැමහට

බෝ මලු සඳ මලු පිරිසුදු වන්නේ
වත් පිළිවෙත් හොඳ හිතින් කරන්නේ
සිත කය වචනය පහදා ගන්නේ
පින් කොට පැතු දෙය සිදුකර ගන්නේ

****

ජේතවනාරාමය

ලොව විශාලතම දාගැබ ලෙස සැලකෙන ජේතවනාරාමය මහසෙන් රජතුමා විසින් ඉදි කරවන ලදී. අනුරාධපුරයේ මහමෙව්නා උයනට ආසන්න ව පිහිටි ජේත උද්‍යානයේ ඉදිකරන ලද නිසා ජේතවනාරාමය නමින් ප්‍රසිද්ධ වී ඇත. චෛත්‍ය මලුවේ පැත්තක දිග අඩි 516 කි. බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක් ගෙන නිධන් කොට ජේතවනාරාමය ඉදි කළ බව සැලකේ. එසේම බුදුරජාණන් වහන්සේගේ බඳ පටි හා රජවරු කිහිප දෙනෙකුගේ ප්‍රතිමා මෙහි තැන්පත් කොට ඇත. ගඩොලින් ඉදිකළ උසම ගොඩනැගිල්ල මෙය වන අතර, එකල එහි උස අඩි 400 (වර්තමානයේ උස අඩි 237 කි) ක් බවත් ගඩොල් කැට ලක්ෂ 56 ක් චෛත්‍යය ඉදි කිරීමට යොදා ගෙන ඇති බවත් ඉතිහාසයේ විස්තර වෙයි.

****

අභයගිරිය මහා විහාරය

මෙම විහාරය කරවූයේ වළගම්බා රජතුමා ය. ක්‍රි. පූ 108 දී පැරැණි රජ කෙනෙකු ලෙස එතුමා ඉතිහාසයට එක්විය. වළගම්බා රජු වනගතව වසර 14 ක් සොළී ආක්‍රමණික වූ දාඨය නම් රජු සමග යුධ කොට ඔහු පරාජය කළේ ය. වසර 12 ක් සිංහලයාගේ පාලකයා ලෙස රජ කළේ ය.

****

ගාලු කොටුව

ලෝක උරුම අතරට එක් වූ ගාලු කොටු පවුර ශ්‍රී ලංකාවේ දකුණු පළාත් මුහුදු තීරයේ පිහිටා ඇත. ශ්‍රී ලංකාවට පැමිණි පෘතුගීසි, ලන්දේසි හා ඉංගී‍්‍රසි ජාතිකයින් ඔවුන්ගේ ආරක්ෂාවට මේ බළකොටුව යොදා ගනු ලැබී ය. මේ බලකොටුව මුල් වරට ඉදි කරන ලද්දේ පෘතුගීසි ජාතිකයන් විසින් ය. උතුරේ සිට දකුණට මීටර් 700 ක් පමණ දුරට මේ කොටු පවුර විහිදී තිබේ. අක්කර 90 ක පමණ භූමි භාගයකින් සමන්විත මේ කොටු පවුර වටා, ආරක්ෂක මුර කුටි රැසක්ම ඉදි කර තිබේ. කොටු පවුර වටා ආරක්ෂක බැම්මේ උස අඩි 70 ක් පමණ වෙයි. අද මෙය විදේශීය සංචාරකයින්ගේ සුන්දර පාරාදීසයක් ලෙස පවතින අතර, ලෝක උරුමයක් බවට ද පත් කර ඇත.

****

සමවත් සුවෙන් වැඩ සිටීම

****

පින්බර පන්සල

****

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

625 උදේෂි සමින්දිකා ජයසිංහ 07 වන ශ්‍රේණිය, වලගෙදර මහ විදුහල – මතුගම

626 අනුරාධ ඉසුරුකුමාර දිසානායක - 06 වන ශ්‍රේණිය මලියදේව විද්‍යාලය – කුරුණෑගල

627 එම්.ඩී. නදීශා චලනි - 07 වන ශ්‍රේණිය , ඩී.එස්.සේනානායක විදුහල – කොළඹ

628 එම් . පී. චමෝදි ජනීෂා - 05 වන ශ්‍රේණිය, ශ්‍රී සූරියදේව දහම් පාසල – සිරිපුර

629 එච්.එම්. දිනුෂා සංදීපනී - 12 වන ශ්‍රේණිය වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විදුහල - අනුරාධපුර