Print this Article


නිකෙලෙස් උත්තමාවියගේ මහිමය

නිකෙලෙස් උත්තමාවියගේ මහිමය

වත්මන් ලෝකයෙහි කාන්තා විමුක්තිය මුල් කරගෙන ක්‍රියාත්මක වන අන්තර්ජාතික කාන්තා සංවිධාන රාශියක් ඇත. කාන්තාව මුහුණ පාන හිංසනය, ප්‍රචණ්ඩත්වය, දූෂණය, සමාජ අසාධාරණය, පුරුෂාධිපත්‍යය වැනි කරුණු අරබයා කැරෙන උද්ඝෝෂණ, අරගල හා පෙළපාලිවලට පමණක් සීමා වී ඇති එකී බොහොමයක් කාන්තා සංවිධාන සඳහා ථේරීගාථාවන්ගෙන් ලබාගත හැකි පණිවුඩය සැබැවින් ම ආදර්ශවත් ය.

නූතන කාන්තා සංවිධාන මතු කරන සමාජ අසාධාරණයට අදටත් වඩා රුදුරු ලෙස භාජන වූයේ එදා භාරතීය සමාජයේ කාන්තාව ය. එවන් පරිසරයක් තුළ බෞද්ධ ශ්‍රාවිකාවන් ලෙස ශික්ෂණයක් ලැබූ කාන්තාවෝ ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් ද, ස්ථානෝචිත ප්‍රඥාවෙන් ද යුක්ත ව එකී බලවේග අභිභවනය කළහ. ථේරීගාථා පාළියෙන් අප ඉදිරියට එන්නාහු ඒ විරෝදාර උත්තමාවන්ගේ නිකෙලෙස් සිරිත් පෙළ යි.

පුණ්ණා, අනේපිඬු සිටුතුමාගේ දාසියකි. ඇය ස්ත්‍රී වර්ගයාට අධම සමාජ තත්ත්වයක් ලබාදීමට ප්‍රයත්න දැරූ, බමුණු සමාජය නියෝජනය කරන උදකසුද්ධික බ්‍රාහ්මණයාට වාදාරෝපණයෙන් පවසන කරුණු දාර්ශනික අගයක් දරයි.

දිය නෑමෙන් තමා කළ පව් සේදේ යැ යි ඇදහූ එම බමුණාට පුණ්ණා දාසිය මෙසේ කියයි. “බමුණාණෙනි, ජලස්නානයෙන් පව් කමින් මිදෙන්නේ නම් මස් - කැසුබු - කිඹුල් ආදී ජලචර සත්තු ද, උන් කළ පව්වලින් නිදහස් ව ස්වර්ගයෙහි උපදින්නා හ. මේ නදිය ඔබ කළ පව් බැහැර කරයි නම්, ඔබ කළ පින ද බැහැර කර දමනු ඇත. යම් පවක් නිසා බිය ව මේ සිහිල් දියෙහි ගිලෙන්නෙහි නම් ඒ පව මින් මතු නොකළ මැනැවි. මේ සීතල ජලය මතු ඔබ නොපෙළනු නියත යි.” පුණ්ණා සම්‍යග් දර්ශනයෙන් කළ අනුග්‍රහයෙන් අපමණ සතුටට පත් වන බමුණා අවසන තමා ආර්ය මාර්ගයට පැමිණවීම පිළිබඳ ව තුති පුදමින් සිය සළුව ඇයට තුටු පඬුරු විසින් පිරිනමයි.

මෙබඳු බුද්ධිමය ජයග්‍රහණ පිළිබඳ පාඩම් කාන්තා විමුක්තිකාමිනියන්ට ද බෙහෙවින් ප්‍රයෝජනවත් ය.