Print this Article


ධර්ම සන්නිවේදනයට යුග මෙහෙවරක් කළ යතිවරයාණෝ

ධර්ම සන්නිවේදනයට යුග මෙහෙවරක් කළ යතිවරයාණෝ

දෙවර්ෂ පූර්ණ ගුණ සමරුවට බෞද්ධයා මාධ්‍ය ජාලයෙන් දීඝවාපී මහා සෑරද වන්දනා

නවීන තාක්ෂණය අද මෙන් එදා එතරම් පෝෂණය වී නොතිබුණි. හතර පොහොයෙන් අවම වශයෙන් පසළොස්වක පෝදාටවත් ගම්වැසි ලොකු කුඩා සියලු දෙනා ගමේ පන්සලට ඒකරාශි වී සිල් සමාදන් ව ආගමික කටයුතුවල නිරතවීම සිරිතක් ව පැවැතිණි.

ජාතක පොත් වහන්සේ හෝ පිරිත් පොත් වහන්සේ ශබ්ද නගා එක් අයෙකු විසින් කියවු අතර එසේ අසා සිටින්නෝ එය සාධු නදින් පිළිගත්හ. ගුවන් විදුලියේ මහ ගෙදර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් බදාදා රාත්‍රියේ සහ ඉරිදා පෙරවරුවේ හෝරාවක් බැගින් දම් දෙසුම් පැවැත්විණි. පෝදා ආගමික වැඩසටහන් ද විකාශනය කෙරිණි.


දරණාගම කුසලධම්ම හිමි

පන්සලේ ධර්ම මන්දිරය මගින් දේශකයාණන් වහන්සේ ධර්මය සන්නිවේදනය සිදුකළ අතර එහි මාර්ගෝපදේශකයාණන් වහන්සේ සහ අනුශාසකයන් වහන්සේ වූයේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ හෝ ලොකු හාමුදුරුවන් වහන්සේ ය.

සම්බුදු දහම කෙරෙහි පවත්නා ඉමහත් ගෞරවය,ශ්‍රද්ධාව ,විශ්වාසය එකල වර්ධනය වූයේ උගත් ගුණවත් , ධර්ම විනයධර මහ යතිවරයන් වහන්සේලාගේ ධර්මානුශාසනා හේතුවෙනි. ඒ කාරුණික මාර්ගෝපදේශකත්වය මූලිකත්වයෙනි.

ගුවන්විදුලිය සහ රූපවාහිනි විද්‍යුත්මාධ්‍ය සන්නිවේදනයට පැමිණ කලක් ගත විය. ශ්‍රාවක සිත්පහන් කරවීමට එමගින් වරින්වර ධර්ම දේශනා සහ පොහෝදා ආගමික වතාවත් ද දැනුදු සිදු කෙරේ.

ධර්ම දේශනා ඇතුළු ආගමික වැඩසටහන් සඳහා ම පමණක් රූපවාහිනී නාලිකාවක් ආරම්භ කර දශක එක හමාරකට ආසන්න ය. ඒ සැම හිත සුව පිණිස 2007 දී අරඹන ලද බෞද්ධයා රූපවාහිනී නාලිකාව සහ 2011 දී අරඹන ලද බෞද්ධයා ගුවන්විදුලි නාලිකාව ය.

බෞද්ධයා රූපවාහිනිය සහ ගුවන් විදුලි නාලිකාව කොළඹ 07, ආර්.ජී.සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ස්ථාපිත කළ අතර දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ එහි නිර්මාතෘන් වහන්සේ ය.දහම් පිපාසිත සමාජයට පිහිටක් වීමේ අරමුණින් ඇරඹූ බෞද්ධයා රූපවාහිනිය මගින් විසි හතර පැය පුරා අඛණ්ඩ ව ආගමික වැඩසටහන් විසුරුවා හැරීම බොදු ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට හේතුවක් විය. ධර්ම විනයධර යතිවරයන් වහන්සේලා ඒ සඳහා ඇප කැපවීමෙන් දක්වනුයේ ද මහත් සහායකි.

දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේටම ආවේණික වූ, ළගන්නාවූ සරල බස්වහරකින් දහම් දෙසුමෙහි යෙදුන උන්වහන්සේ බෞද්ධයා මාධ්‍ය ජාලය මෙහෙයවීමෙන් මෙරට ඓතිහාසික විහාරස්ථානවලදී පමණක් නොව දඹදිව අසිරිමත් පුදබිමිහිදී පවා පැවැත්වු පින්කම් අප්‍රමාණ ය. සාමාජික වශයෙන් ද කළ මෙහෙවර බොහෝ ය. ප්‍රජා සත්කාරක සේවා ඒ අතර රැසකි.

ගම්පහ, මාතර, තිස්සමහාරාමය , මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, රත්නපුර සහ කළුතර ආදි විවිධ නගරයන් ද බෞද්ධයා මාධ්‍ය ජාලයේ ශාඛා කාර්යාල පිහිටුවමින් බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් ජනතාවට වඩාත් පහසු මාධ්‍ය මෙහෙවරක් සැලසීමට ක්‍රියා කළහ.

දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුනෙහි මෙන්ම දැයෙහි ද චිරස්ථිතිය පතා ආරම්භ කරන ලද මෙහෙවර බොහෝ ය. එම මෙහෙවර නිහඬව සිදුකළ උන්වහන්සේ මෑත යුගයෙහි පහළ වී අනුස්මරණීය මෙහෙවරක් සිදු කළ යතිවරයන් වහන්සේ නමකි.

මෙයට දෙවසරකට පෙර අපවත්වී වදාළ දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ දිනපතා සිහිකර දිනපතා පින් පැතීමට තරම් පුණ්‍යවන්ත වූ ආදර්ශවත් යතිවරයන් වහන්සේ නමකි.

උන්වහන්සේගේ වර්ෂ පූර්ණ පින්කම නිමිත්තෙන් ද බෞද්ධයා මාධ්‍ය ජාලය මෙහෙයවීමෙන් ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මහ බෝ මහ සෑ වන්දනා පින්කමක් සංවිධානය කර තිබිණි.

දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධයා මාධ්‍ය ජාලය පවත්නා තාක් නිතිපතා පින් ලබන යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේගේ සදහම් සන්නිවේදන මෙහෙවර මගින් දහම් පිපාසය සංසිදුවාගත් සැදැහැති දායක දායිකාවන්ගේ කාරුණික අනුග්‍රහයෙන් බෞද්ධයා මාධ්‍ය ජාලය මෙහෙයවීමෙන් මෙවර ද මහා පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු යොදා ඇත. එම පින්කම් මාලාව පෙබරවාරි 29 වනදා සිට මාර්තු 01 වනදා දක්වා දීඝවාපී පුදබිමේ දී සිදු කෙරේ .

දීඝවාපී මහා සෑ රද වන්දනා’ දීඝවාපි රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති මහඔය සෝභිත නා හිමියන්ගේ ආශිර්වාදයෙන් ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් අරඹන ලද උතුරු නැගෙනහිර දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් යළි සක්‍රිය කිරීමට බොරලන්දේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ කටයුතු යොදා ඇත.

මෑත භාගයේ ධර්ම සන්නිවේදනය මුල්කර ගනිමින් ඉමහත් ශාසනික ප්‍රබෝධයක් උදාකිරීමට මූලිකව ක්‍රියාකළ දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරුව නිමිත්තෙන් පෙබරවාරි 29 වනදා දීඝවාපී පුදබිමේදීි දහස් නමක් මග සඟරුවන සහභාගිත්වයෙන් වෛද්‍ය සායනයක් ද, එදින පස්වරු 3 ට දහස්නමක් මහ සඟරුවන උදෙසා සපිරිකර ගිලන්පස පූජාවක් ද , මාර්තු 01 වනදා දක්වා 5000ක් අටපිරිකර පූජා , 84000 ක් පහන් පූජා , පුෂ්ප පූජා, කිරිපිඬු පූජා, ධර්ම දේශනා ධර්ම සාකච්ඡා , පිරිත් දේශනා, භාවනා ආදි පින්කම් ද පැවැත්වේ.

එමෙන්ම දුෂ්කර විහාරස්ථාන 10 ක් සඳහා අටවිසි බුද්ධ මන්දිර හා රන්වැට සහිත බෝධි ප්‍රාකාර 10 ක් පූජා කිරීමටද බෞද්ධයා නාලිකාව මගින් කටයුතු යොදා ඇත.

ධර්ම සන්නිවේදනය සඳහා විද්‍යුත් අංශයෙන් නොනිමි මෙහෙවරක නිරතව අපවත්වී වදාළ දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සැදැහැති බෞද්ධ ජනතාවට මෙන්ම සසුනටද පිරිමැසිය නොහැකි පාඩුවක් වේ.

උන්වහන්සේ ඇරැඹූ උදාර යුග මෙහෙවර ඉදිරියට ද සිදුකර ගෙන යාම සඳහා බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන බෞද්ධයා මාධ්‍ය ජාලය වෙත ශක්තිය ලැබේවා.