Print this Article


දෙවියන්ගෙන් පැසසුම් ලබන්නෝ

දෙවියන්ගෙන් පැසසුම් ලබන්නෝ

මෙම ලිපියෙහි පළමු කොටස නවම් පුරපසළොස්වක පෝදා (පෙබරවාරි 08 වනදා) පත්‍රයේ පළවිය.

සමහර අයට ජනමාධ්‍ය මගින්, සමාජ මාධ්‍ය මගින්, පොතපත මගින් ලබාගත් දහම් දැනුමක් තිබෙනවා. ධර්ම කථිකයෙක් වගේ කතා කරනවා. නමුත් ක්‍රියාත්මක වීමක් නැහැ. මොහු තමයි සවන්දීමෙන් ලැබෙන ප්‍රයෝජන ලබා නොගත් බහුශ්‍රැත පුද්ගලයා. මෙම කණ්ඩායම් තුනෙන් දෙවැනි කණ්ඩායම තරමක් හොඳයි. ඔහු දන්න දේ යම් තරමක් හෝ ක්‍රියාත්මක කරනවා. මෙහි වැදගත්ම පුද්ගලයා හතර වැන්නායි.

ඒ තමයි සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන ලබාගත් බහුශ්‍රැත පුද්ගලයා. මොහු නවාංග ශාස්තෘ ශාසනය හොඳින් අහල, කරුණු තේරුම්ගෙන, ධර්මය වටහාගෙන ධර්මානුකූල ජීවිතයකට අවතීර්ණ වෙලා තිබෙනවා. මොහු තුනුරුවන් විශ්වාස කර තුනුරුවන් සරණ ගොස් දාන, සීල භාවනා ආදී පින්කම් කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරමින් සතර සතිපට්ඨානය දියුණු කරගනිමින් ජීවත්වන පුද්ගලයෙක්. මෙහුට සූත්‍රගත දැනුම, දහම් කරුණු, නවාංග ශාස්තෘ ශාසනය පිළිබඳ හොඳ දැනුමක් තිබෙනවා. මේ කරුණු තේරුම් අරගෙන, ප්‍රගුණ කරල තියෙන්නේ. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. මෙවැනි කණ්ඩායමකුත් අපේ සමාජයේ ඉන්නවා. නමුත් ස්වල්පයයි. මේ අවසාන කණ්ඩායම තමයි වැදගත්ම කණ්ඩායම. මෙවැනි සූත්‍රයක් ශ්‍රවණය කළ විට අප සිටින්නේ කොතැනදැයි අපටම අවබෝධ වනු ඇත. ඒ අනුව අපගේ අඩුපාඩු හදාගනිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරැදි මාර්ගයට අවතීර්ණවීමට අපට හැකියාව තියෙනවා.

මේ දේශනාව අවසානයේ දී බුදුරජාණන් වහන්සේ ගාථාරත්න කිහිපයක් දේශනා කරනවා. පළමු ගාථාවෙන් කියැවෙන පරිදි අල්ප වශයෙන් අසා තිබෙනවා නම්, සිල්වත් භාවයක් දියුණු කරන්නේ නැත්නම් ඒ තැනැත්තා සීලය, ශ්‍රැතිය යන මේ අංශ දෙකෙන් ම ගර්හාවට ලක්වෙනවා කියලා. ඊළගට දෙවැනි ගාථා රත්නයෙන් කියැවෙන පරිදි ස්වල්පයක් ධර්මය අසා තිබෙනවා. සීලයත් පුරනවා. ඒ නිසා ඒ තැනැත්තා සීලයෙන් ප්‍රශංසා ලබනවා. නමුත් ධර්ම ඥානයෙන් සම්පූර්ණ වෙලා නැහැ. අල්ප දැනුමක් තියෙන්නේ. තුන්වැනි පුද්ගලයා ධර්මය අසා තිබෙනවා. සීලය පුරන්නේ නැහැ. සීලය සම්බන්ධයෙන් ගර්හාවට පත්වෙනවා. ශ්‍රැතිය සම්පූර්ණයි. ධර්මඥානයෙන් සම්පූර්ණයි.

හතරවෙනි පුද්ගලයා ධර්මය බොහෝ හොඳින් අසා තිබෙනවා. සීලය පුරනවා. සීලයෙන්, ධර්ම ඥානයෙන් ඔහු ප්‍රශංසාවට ලක්වෙනවා. බහුශ්‍රැත ධර්මධර ප්‍රඥාසම්පන්න වුණු ශ්‍රාවකයා ඉතා දිලිසෙන වටිනා රත්රන් වගේ බබළන බව බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කළා. මේ ශ්‍රාවකයාට ගරහන්නට කිසිවකුට පුළුවන්ද කියලා උන්වහන්සේ අහනවා. ඒ නිසා ඔහුට දෙවියෝ පවා ප්‍රශංසා කරන බවත් දේශනා කළා.

මේ දේශනාව තුළින් අපේ ජීවිතවල අඩුපාඩු සකස් කරගෙන, ධර්ම ඥානය දියුණු කරගෙන ඒ ධර්මය ප්‍රගුණ කරගනිමින් මෙලොව ජීවිතය යහපත් කර ගැනීමට පුළුවන්. පරලොව සුගතිගාමී කරගන්නට පුළුවන්. ඒ සඳහා ඔබට වාසනාව උදාවේවා.