Print this Article


ජාතියේ චීවර පුජාව

ජාතියේ චීවර පුජාව

ශාසනාභිවෘද්ධිය උදෙසා වූ සම්මා වායාමය 22 වැනි දා අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ දී

වත්මනෙහි රටේ පවතින සංකීර්ණ වාතාවරණය පිළිබඳව පෙරදාට වඩා වැඩි අවධානයකින් හා වුවමනාවකින් ජාතියේ මුරදේවතාවුන් ලෙස සාකච්ඡා කරමින් ඊට අදාළ මැදිහත් වීම් කරමින්, අනේකවිධ අවලාද, ගැරහුම් මැද තමන් වෙත පැවරුණු ඓතිහාසික ජාතික වගකීම හිසින් දරා ගනිමින් හා සක්‍රීය ලෙසත්, උජුපටිපන්න ව හා ආදීන ලෙසත් ක්‍රියාත්මක වන ආකාරය දැක අපි මහත් සතුටට පත් වන්නෙමු.

රට තුළ ඉතා වේගයෙන් ගම්බිම් සිසාරා මුදාහැර ඇති ඉතා සියුම් සංස්කෘතික ආක්‍රමණික බලවේග යුහුසුළුව හඳුනාගෙන ඊට ප්‍රතික්‍රියා දැක්වීමත්, අපේ දායක ජනයා දැනුවත් කොට තම විහාරස්ථානයට අයත් සතරපේරුව ආරක්ෂා කර ගැනීමට ඉක්මන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

වීදි සටන්, විරෝධතා, පෙළපාළි හා සාකච්ඡා, සම්මන්ත්‍රණ තුළින් පමණක් ඒ අභියෝග ජයගත හැකි නොවේ. ජාතික ව්‍යාපාරයක් ලෙස අපි බොහෝ දේ උගත්තෙමු. ලද අත්දැකීම් තුළින් ශක්තිමත් හා උපායශීලී ව මෙන්ම ඥානවන්තව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පන්නරය ලබා ගත්තෙමු. අප හමුවේ ඇති අභියෝගවලට ප්‍රායෝගික ව හා උපායික ලෙස මුහුණදීමට ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස ම එක රොදකට ගොනු කිරීමේ මහා ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කළෙමු.

මේ උත්තම කටයුත්ත සම්පූර්ණ කරගැනීමට ඔබ වහන්සේලාගේ අනුශාසනාවත්, ආශිර්වාදයත් සහයෝගයත් පතමින් අපගේ වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්නෙමු.

මහ සිළු මහතිස් නිරිඳා
සඟ සැට දහසකට එදා
සැටදහසක් සිවුරු පුදා
කළ පින්කම සිතනු සොඳා
සැට දහසක් චීවර පූජාව
රුවන්වැලි මහා සෑ රදුන් අභියස

තරුණ තරුණියන් හැට දාහකගේ සහභාගිත්වයෙන්

සිංහලේ අදීනත්වය සහ භෞමික අඛණ්ඩතාවය උදෙසා ද, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ද, අතීත වර්තමාන අනාගත යන කාලත්‍රයට අයත් අපේ දූ පුතුන්ගේ නිවන උදෙසා තම නිවන පරිත්‍යාග කළ, නිදහසින් පෙර හා පසුවත් ජාතික විමුක්ති අරගලවලදී මිය ගිය අපේ රණශූර මීමුතුන්ට හා රට තුළ ඇති වූ අභ්‍යන්තර කළකෝලාහල නිසා ජීවිත අහිමි වූ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම මෙන්ම විවිධ ස්වභාවික විපත් වලින් මියගිය සැමට පින් දීම.

මාතෘ භූමියට එරෙහිව නැගී එන සියලු සතුරු බලමුළු පරාජය කිරිමටත්, කිසිදු ආකාරයක ස්වභාවික විපත්තියක් ඇති නොවී, ශක්තිමත්ව දෑ සසුන් නගාසිටුවීමට අවැසි අධිෂ්ඨානය ඇතිකර ගැනීම සඳහා සහ නායකත්වයක් නොමැතිව, මිථ්‍යා දෘෂ්ටිගතව සඟ සසුන තුළ විවිධ පුද්ගලයන් ලාභාපේක්ෂාවෙන් ඉටු කරන අකටයුතුකම් නිසාවෙන් කතිකාවතකට, නොඑසේනම් සංගායනාවකට කාලය එළඹ ඇති බැවින් පින්කමෙන් පසුව දිස්ත්‍රික්කයක් පාසා අවුත් ඒ දිස්ත්‍රික්කය තුළ වැඩ සිටින අපේ හාමුදුරුවරු එක් තැනක මුණගැසී සිවුරු පූජා කොට අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම.

අපගේ ජාතික කටයුතුවලදී ඔබ වහන්සේ දැක්වූ සහයෝගයට, ආශිර්වාදයට නිහතමානී ව පින් දෙමු. මේ උතුම් සත් කටයුත්ත 2020 පෙබරවාරි 22 දින රුවන්වැලි සෑ මළුවේ සිදු කරගැනීම සඳහා ඔබ වහන්සේගේ සහයෝගය, ආශිර්වාදය හා වැඩමවීම අපේක්ෂා කරමි.