Print this Article


අම්මා

“අම්මා” යන අකුරු තුන මොන තරම් ආදරණීය වචනයක් ද? ආදරය, සෙනෙහස, කරුණාව, දයාව, මෛත්‍රිය සිහිගන්වන වචනයක් ද? ‘අම්මා’, හරියට පායන හිරු වගේ.

හිරුගේ කිරණින් ලෝකය ම එළිය වෙනවා.

හිරුගේ ශක්තියෙන් ලෝකය පවතිනවා. අම්මා නිසා දරුවන්ගේ ජීවිතයේ අඳුර දුරු වෙනවා. ආලෝකමත් වෙනවා.

දරුවන් වෙනුවෙන් ඇය මොනතරම් කැප කිරීම් කරනවා ද? කය වැහැරී ගියත් අම්මාගේ හිත වැහැරෙන්නේ නෑ. හරිම ශක්තිමත්. දරුවන් නිසා වැගිරුණ ඇයගේ දහදිය බිඳුවලින්, කඳුළැලිවලින් මේ මහ පොළොව මොන තරම් තෙමී යන්නට ඇති ද?

ඒ තරම් කැප වීමක්, ධෛර්යයක්. කුමකටද? තමන්ගේ දරුවාට හොඳම දේ දෙන්නටයි. අනාගතයේ දී ලොකු මිනිසෙක් කරන්නටයි. තමන් ඉන්නා තැනින් ඉහළට ඔසවන්නටයි. ඒ ගමන සමබරයි. නැණ පමණක් නොවෙයි. ගුණයට ද මුල්තැන හිමියි. 'ගෙදර බුදුන් අම්මා'. මේ නිසාම අම්මාට උතුම් නාමයක් පිරිනැමෙනවා. අන් කවරෙකුටවත් ලබන්නට නොහැකි ඒ චරිතවත් බව සැබෑ මව්ගුණ දන්න අම්මා කෙනෙකුට හිමියි. ඇය තනන්නේ පොහොසත් දරුවෙක් නොවෙයි. බෝසත් දරුවෙක්. ඒ නිසයි දරුවා කුස හොත් දා සිට ඇය එකම වර දෙවරක් පන්සිල් සමාදන් වන්නේ. පළමුවර තමන්ට. දෙවැනි වර දරුවාට. ඒ වගේම අම්මා හොඳින් පන්සිල් රකිනවා. තමන් වෙනුවෙන් පමණක් නොවෙයි. දරුවා වෙනුවෙන් .

මෙලොව එළිය දකින කිරිකැටියා දෙස බලාගෙන ඇය ප්‍රතිඥාවක් දෙනවා. තමන්ට ම. මම මගේ දරුවා වෙනුවෙන් චරිතවත් වෙනවා. ඒ ආදර්ශය තම චරිතය පුරාම විහිදුවනවා. දරුවන් ද ඒ මග යනවා. ආදරය සෙනෙහස උතුරා යනවා.

බෝසත් දරුවෙක් හදන්නට අම්මාගේ කැපවීම ඵලදායකයි. ඉතින් අම්මා මහලු වූ කල දරුවන් විසින් කෙසේනම් ඇය හැර යන්න ද? ආදරයෙන් රැක බලා ගන්නවා. ජීවිත කාලයට ම රැකවරණය දෙනවා. වැඩිහිටි නිවහනක නොවෙයි. තමන්ගේ ම සෙවණේ. ඒ බෝසත් දරුවන්ගේ සැටිය.