Print this Article


හොරණ සීල සුව අරණේ අසිරිමත් පින්කමක්

හොරණ සීල සුව අරණේ අසිරිමත් පින්කමක්

හොරණ සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ පෙබරවාරි 01වන දා සිට 21වන දා දක්වා අඛණ්ඩ ව දින විසි එකක් පුරා රතන සූත්‍ර පිරිත් පින්කම් මාලාවක් සිදු කිරීමට නියමිත වූ අතර විසිඑක්වනදා හොරණ සීල සුව අරණ පුණ්‍ය භූමියට ගුවනින් පිරිත් පැන් ඉසීම, ගුවනින් මල් පූජා කිරීම, සෑ රදුන් වහන්සේ වෙනුවෙන් පූජා පැවැත්වීමට ද නියමිත ව තිබිණි.

මේ උදාර පින්කමේ ප්‍රධාන අරමුණ, ලෝකය පුරාම පැතිරීගෙන යන වසංගත රෝග උවදුරු, දුරු කිරීමය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ විශාලා මහනුවර, රෝග, දුර්භික්ෂ, අමනුෂ්‍ය යන තුන්බිය වේගයෙන් වර්ධනය වුණා. ඒ වන විට දඹදිව සොළොස් මහා ජනපද අතර, දියුණුම රාජ්‍යයක් බවට පත්වුණු ලිච්ඡවී රාජධානිය සමූහාණ්ඩු පාලනයක් ලෙස ලිච්ඡවී රාජකුමාරවරු හත්දහස් හත්සිය හත් දෙනෙක් එකතුව සමඟියෙන් සාකච්ඡාවෙන්, තීරණ ගනිමින් ,සමඟි ව සියලු පාලන කටයුතු සිදු කරගෙන ගියා. මෙම නගරයට මුලින් ම නියඟයක් ඇතිවී , වසංගත රෝග වේගයෙන් පැතිරීගෙන ගියා. එදා සියය, දෙසීය, තුන්සියය මිනිස්සු නගරයේ වසංගත රෝගවලින් මිය ගියා. රෝග පැතිරේ යැ’යි බියෙන් මිය ගිය අයට, ලෙඩ රෝග වැළඳෙන අයට මිනිස්සු ළඟා වෙන්නත් බිය වුණා. ඒ නිසා ම නගරයේ තැන්තැන්වල මියයන මිනිසුන්ගේ මළකුණු දුගඳ නගරය පුරාම පැතිරී ගියා. යොදුන් ගණන් ඈත සිටි අමනුෂ්‍යයන් නගරයට පැමිණ අමනුෂ්‍ය ග්‍රහණයකට අසු වෙනවා.

එදා බුදු රජාණන් වහන්සේ දෙදාස් දෙසිය පනහක් සඟ පිරිස පිරිවරාගෙන ගංගානම් ගඟේ පැන් රතන සූත්‍රයෙන් පිරිත් කර ගෙන, ආනන්ද තෙරුන්ට දුන්නා. ‘ආනන්දය, රාජකුමාරවරු සමඟ නගරයේ ප්‍රාකාර, වළලු වටා යමින් නගරයට පිරිත් පැන් ඉසින්න යනුවෙන්. ඒ බුද්ධ අධිෂ්ඨානය හරිම ආශ්චර්යවත්. බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් සියලු දෙනා සුවපත් වෙත්වා යන අධිෂ්ඨානයෙන් නගරයට පිරිත් පැන් ඉස්සා. වසංගත රෝග, අමනුෂ්‍ය උවදුරින් පීඩිත වූ මිනිසුන්ගේ සිරුරුවල පිරිත් පැන් දැවටෙන විට, බුද්ධ අධිෂ්ඨානයෙන් ඒ මොහොතේ ම ඔවුන් සුවපත් භාවයට පත් වුණා.

මෙයින් පුදුමයට පත්වුණු මිනිසුන් ආනන්ද හාමුදුරුවෝ පසුපසින් එන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ නගරයට සිරිපතුල තබන විට ම, නියඟය දුරු වී, එකිනෙකට වෙනස් ව වැසි හතක් ඇද හැළුණු බව ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු එක්දහස් දෙසිය පනහක සඟ පිරිස නොතෙමී දෙපසට වැසි ඇද හැළුණා. එදා බුදුරජාණන් වහන්සේ නගරයේ මැද කූටාගාර ශාලාවේ වැඩ සිටියදී, ලක්ෂ ගණනක් ජනතාව ඉදිරියේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන්ට ආරාධනා කර, රතන සූත්‍රය දේශනා කළා. බුද්ධ දේශනා අසූහාර දහසක ධර්මස්ඛන්ධය අතුරෙන් ඉතාම බල සම්පන්න කෝටි ලක්ෂයක් සක්වල ආඥාව පිහිටවූ බලවත් ම සත්‍ය ක්‍රියා දේශනාවක් වන්නේ රතන සූත්‍රය යි. එය බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ගැන කරන සත්‍ය ක්‍රියාවක්. දේශනාව අවසානයේ සක් දෙවියන් අහසේ සිට දිව්‍ය ස්වරූපය මවාගෙන පහළට බැස සියලු දෙව් බඹුන් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට ගාථා තුනකින් වන්දනා මාන කළා. ‘ස්වාමීනි, ඔබ වහන්සේගේ ආඥාව අප පිළි ගන්නවා. බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! ධර්මයට අපේ නමස්කාරය වේවා! සංඝයාට අපේ නමස්කාරය වේවා ! යනුවෙන් අවසාන ගාථා තුනෙන් බුදුරදුන්ට වන්දනා කර, තුනුරුවන්ගේ ආඥාව පිළි ගත්තා. බුද්ධ අධිෂ්ඨානය කෝටි ලක්ෂයක් සක්වළ ආඥාව පිහිටි බලවත් ම ආශිර්වාදාත්මක දේශනාව වන්නේ රතන සූත්‍රය යි.

මේ මොහොතේ රටක් වශයෙන් ගත්විට, හැමෝ ම පුළුවන් නම්, සවස නිවෙස්වල බුදුන් වැඳ රතන සූත්‍රයෙන් පිරිත් සජ්ඣායනා කර, පිරිත් පැන් තමන්ගේ ඉඩමට, නිවසට ඉසින්න. තුනුරුවන්ගේ ආශිර්වාදය මහා පුදුම ආශිර්වාදයක්. ධර්මයේ මහා බල සම්පන්න පිරිත් ලැබෙනවා. ඛන්ධ පිරිත ගත්විට, එය සර්පකුල අතර , විස සහිත සියලු සර්පයන් කොටස් හතරකට බෙදා මෛත්‍රී වඩන්න කියනවා. කවදාකවත් සර්පයෙක්ගෙන් ජීවිත අනතුරක් වෙන්නේ නැහැ’යි කියනවා. මේ අනුව අපට පෙනෙනවා, මෛත්‍රී සහගත පිරිතේ බලයෙන් කවදාකවත් තිරිසන් සහගත විස සහිත සර්පයෙක්ගෙන්වත් අනතුරක් නොවෙනවා යනුවෙන්. බුදුරදුන් දේශනා කළ මේ පිරිත් භාවිත කරනවා නම්, අපේ ජීවිතවල විශාල ආශිර්වාදයක් , ආරක්ෂාවක් සැලසෙනවා.

හොරණ සීල සුව අරණ පුණ්‍ය භූමියේ දින විසි එකක් පුරා රතන සූත්‍රය පිරිත් කර, ඒ පිරිත් පැන් භූමියට ඉසිනවා. විශේෂයෙන් මේ වන විට, නිරෝගී සම්පත්තියෙන් අගතැන්පත් උතුම් බක්කුල මහ රහතන් වහන්සේගේ නාමයෙන් අඩි එකසිය තිහකට ආසන්න ප්‍රමාණයේ චෛත්‍ය රාජයාණන් වහන්සේනමක්, ඉදිකර, චෛත්‍යයේ අවසාන අධියර පවතිනවා. චෛත්‍යයේ හතරැස් කොටුවේ සම්පූර්ණ ප්‍රතිමා නිර්මාණය කර අවසන් වෙනවා. අලංකාර නිර්මාණ රැසකින් හතරැස් කොටුව ද, මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණු සිව් බුදුවරුන්ගේ ප්‍රතිමා වහන්සේ, අග්‍ර ශ්‍රාවක ප්‍රතිමා වහන්සේ , දිව්‍ය තල, දෙවිවරු අහසේ සිට බුදුවරුන්ට වන්දනා කරන දසුන ආදී නිර්මාණ රැසකින් හතරැස් කොටුව සැදැහැවතුන්ට පෙබරවාරි 21, 22, 23 දැක බලා වන්දනා මාන කරගන්න පුළුවන්. එසේම හතරැස් කොටුවේ තැන්පත් කරන, සියලුම නිදන් වස්තු , ධාතූන් වහන්සේ විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් නොකැඩී ,නොබිදී ,නොවිසිරී පවතීවා යනුවෙන් බුදු සිරුරේ ඉතිරි වූ විශාල ධාතූන් වහන්සේලා අනුරුව සැදැහැවතුන්ට දැක බලා වන්දනා කරගන්න නිර්මාණය කර තිබෙනවා.

සේරුවාවිල චෛත්‍යයේ වැඩ සිටින ලලාට ධාතූන් වහන්සේ , කෙනෙකුට මෙය කෙසේද? කොහොමද යනුවෙන් ස්වරූපයෙන් සිතා ගන්න බැහැ. නමුත් ඒ ධාතූන් වහන්සේගේ එනම්, හිස් කබලේ ඉදිරිපස කොටසේ නියම ස්වරූපය ම අනුරුවක් , අකු ධාතූන් වහන්සේලා දෙනමගේ , ශ්‍රීවා ධාතූන් වහන්සේ, සතර දළඳා වහන්සේගේ අනුරුව, ධර්මයේ සඳහන් සේ ඒ ස්වරූපයෙන් ම , නිර්මාණය කර තිබෙනවා. මෙය සැදැහැවතුන්ට ගර්භය තුළ සිට වන්දනා කරවනවා. චෛත්‍යයේ තැන්පත්වන සියලුම කරඬු වහන්සේ , විශේෂ බුද්ධ ප්‍රතිමා වහන්සේ , නිධන් වස්තු, ඒ සියල්ල ගර්භය තුළ තැන්පත් කර, සවස් කාලයේ ධර්ම දේශනා , චෛත්‍ය වන්දනා , පින්කම්, චෛත්‍ය පූජා ආදී පින්කම් රැසක් පවත්වනවා.

ලෝකයේ විපත් වැඩි වෙනවා. මිනිස්සු ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. වසංගත රෝග පැතිරීගෙන යනවා, මිනිස් ආයුෂ අඩු වෙනවා, ඒ නිසා මෙවැනි යුගයක බුද්ධ ශාසනය තුළ නිරෝගී සම්පත්තිය අගතැන්පත් ව සසර පුරාම අසංඛ්‍යෙයකුත් කල්ප ලක්ෂයක් කුඩා වූ ද , මහත් වූ ද, රෝගයක් කියන වදන තමන්ට තමන් ගැන අසන්නටවත් නොලැබේවා යන පැතුමෙන් සසර පින්කරගෙන සෑම ආත්මයක ම නිරෝගී සම්පත්තිය ලැබූ බක්කුල මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ , සර්වඥ ධාතූන් වහන්සේ, මහ රහත් ධාතූන් වහන්සේ , තැන්පත් කර අනාගතයේ බුද්ධ ශාසනයට පූජා කරන පූජනීය චෛත්‍ය මහා පින්කම් මාලාවේ දී සතරැස් කොටුවේ නිදන් වස්තු ධාතූන් වහන්සේ තැන්පත් කරනවා.