Print this Article


සදහම් අරණ

නාගදීප චෛත්‍යය

යාපනය අර්ධද්වීපයට අයත්, මුහුදින් වට වී ඇති නයිනතිව් දූපතට අයත් නාගදීප චෛත්‍ය, රාජායතන චෛත්‍යය යනුවෙන් ව්‍යවහාර වේ. අප මහා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ දී එනම් බක් පුර පසළොස්වක පොහොය දිනක ලක්දිවට දෙවන වරට වැඩම කළේ චූලෝදර, මහෝදර නාග ගෝත්‍රිකයන් අතර මැණික් පුටුවක් සඳහා සිදුවීමට ගිය ගැටුම නැවැත්වීමට ය. එදින බුදුන් සමඟ සමිද්ධි සුමන දෙව් රජ රාජායතන නම් කිරිපලු ගසක් ද රැගෙන ලක්දිව පැමිණි අතර, ගැටුම නැවැත්වීමෙන් තුටු වූ නා රජවරු එම මැණික් පුටුව බුදුරදුන්ට පූජා කළහ. එබිම තුළ රාජායතන වෘක්ෂයද රෝපණය කරන ලදී. පසුව බුදුරදුන් වැඩ සිටි මැණික් පුටුව තැන්පත් කොට සිදුකරන ලද චෛත්‍ය මෙම නාගදීප චෛත්‍ය හෙවත් රාජායතන චෛත්‍යය යි. පසුකාලීන ව දේවානම්පියතිස්ස, දුටුගැමුණු වැනි රජවරුන් මෙම ස්ථානය දියුණු කරවී ය. රන්දොඹේ සෝමසිරිතිස්ස හිමිපාණෝ මෙහි වැඩම කොට 1938 වර්ෂයේ දී පමණ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළහ.


ප්‍රථම ධර්ම දේශනය

ඇසළ පුන් පොහෝ දිනක තථාගත බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් උදෙසා බරණැස් නුවර ඉසිපතන මිගදායේ දී දම්සක් පැවතුම් සූත්‍රය (ධම්මචක්කපවත්වන සූත්‍රය) දේශනා කළ සේක. අත්හළ යුතු අන්ත දෙක හා දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය දේශනා කළ අතර දේශනාව අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත් වූ හ.


බුද්ධ මාතාව

බුද්ධ මාතාව යනු ප්‍රජාපතී ගෝතමී දේවිය යි. ඇයගේ වැඩිමහලු සොහොයුරිය වූ මහාමායා දේවිය සුද්දෝධන රජතුමාගේ අග මෙහෙසිය යි. මහාමායා සහ ප්‍රජාපතී ගෝතමී කුමරියෝ දෙව්දහනුවර අංජන නම් ශාක්‍ය වංශිකයාගේ දියණිවරු වූ හ. සිදුහත් කුමරු ඉපදී සත් දිනකින් මහාමායා දේවිය මිය ගියා ය. ඉන්පසු සිදුහත් කුමරු රැක බලා ගත්තේ ප්‍රජාපතී ගෝතමී දේවිය යි. ඇය සිදුහත් කුමරු හදා වඩා ගත්තේ ඉතා ආදරයෙන් හා සෙනෙහසිනි. තමාගේ ම පුතණුවන් වූ නන්ද කුමරුන්ටත් වඩා ආදරයකින් සිදුහත් කුමරු රැක බලා ගත් එතුමිය ගුණවත් සුළු මවක් වූවා ය.


මගේ දහම් පාසල

\දොම්පේ ප්‍රදේශයේ පිහිටි මගේ දහම් පාසල ශ්‍රී ගුණරතන දහම් පාසලයි. එය මුලින් ශ්‍රී රතන දහම් පාසල ලෙස හැඳින්විය. පසුව අප දහම් පාසල පිහිටි ශ්‍රී ශෛල චෛත්‍යාරාමයේ විහාරවාසී ශ්‍රී ගුණරතන හිමියන් අපවත්වීමෙන් පසු උන්වහන්සේට ගෞරවයක් පිණිස ශ්‍රී ගුණරතන දහම් පාසල බවට පත්විය. මෙහි දරුවන් 450 ක් පමණ ඉගෙනුම ලබන අතර, ආචාර්ය මණ්ඩලය 12 දෙනෙකු පමණ වෙයි. ජයවර්ධන ගුරුපියාණන් එහි ප්‍රධානාචාර්ය වේ. අප සැවොම යහපත් පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීම ඔවුන් සියලුදෙනාගේ ම අපේක්ෂාවයි.


අම්මා

මහ මුහුදක් වැනි අම්මා
මහ මිහිකත වැනි අම්මා
හිරු මෙන් පායන අම්මා
සඳ මෙන් බබළන අම්මා

මුහුදක කිරි දුන් අම්මා
මිහිකත දුක් දැරු අම්මා
රන් සමනොළ ගිර මුදුණේ
මුනි සිරිපා වැනි අම්මා

මතු දා බෝසත් වෙම්මා
කර පිට හිඳුවමි අම්මා
රුදු සත් සමුදුරු පීනා
එතෙර කරන්නෙමි අම්මා