Print this Article


වනිතා පරපුරට ආදර්ශයක් වෙමු

වනිතා පරපුරට ආදර්ශයක් වෙමු

මෙම ලිපියේ මුල් කොටස පසුගිය අව අටවක පෝදා පත්‍රයේ පළවිය.

සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වා ඇති අයුරින් එකිනෙකා තම තමා වෙතින් ඉටුවිය යුතුකම් සමූහය ආදරයෙන්, කරුණාවෙන් යුතුව මැනවින් ඉටු කරන්නේනම් සමාජයේ ඇති ප්‍රශ්න, ගැටලු බොහෝ දුරට මග හැරී යනු ඒකාන්ත ය.

බෞද්ධ ඉතිහාසයේ එඩිතර, බුද්ධිමත්, කාන්තා චරිත කිහිපයක් විමසා බලමු .තරුණ අවදියේ කඩවසම් සොරෙකු දැක, ඔහු පිළිබඳ සිත් ඇති කරගත් භද්‍රා කුණ්ඩල කේසා කුමරිය දෙමාපියනට බලකර එම සොරා සමඟ විවාහ වී අවසානයේ සොරා අතින් මියයන්නට සූදානම් වු මොහොතේ ඉතා ක්‍ෂණිකව, උපක්‍රමශීලී ව සොරා ගලෙන් පහළට තල්ලුකොට ජීවිතය ගලවා ගත්තා ය. ඒ දුටු වෘක්‍ෂ දේවතාවෙක් හැම තැනදි ම පුරුෂයා පණ්ඩිත නොවේ. බුද්ධිමත් කාන්තාවෝ ද ඒ ඒ තැන පණ්ඩිත වේයැයි ප්‍රකාශ කළේ ය.

බුදුරදුන් දවස සිටි විශාඛාවෝ දාන පතිනියක් පමණක් නොව බොහෝ පිරිසක් සුමගට ගත් ශ්‍රේෂ්ඨ කාන්තාවක් වූවා ය. බන්ධුල මල්ලිකාවෝ, තම ස්වාමියා වු බන්දූල සෙන්පති ඇතුලු යෝධයන් වැනි දරුවන් තිස්දෙනා මියගිය පුවත දැන ගත්තේ භික්‍ෂු මහා සංඝයාට දානයක් බෙදමින් සිටි අවස්ථාවක දී ය .එය ඉවසා දරා කිසිවෙකුටත් නො අඟවා කටයුතු කරන මොහොතේ සේවිකාවක අතින් ගිතෙල් කළයක් බිඳුණේ ය. ස්වාමීන් වහන්සේ නමක් ඒ දැක දේවියගේ සිත කනස්සලු වීම වළකාලීම පිණිස, දේවිය කනස්සලු නො වන්න අනිත්‍ය දේ එලෙස මයි ප්‍රකාශ කළහ. එවිට බන්ධුල මල්ලිකාවෝ තමා ඉණෙහි ගසාගෙන සිටි හසුන්පත එළියට ගෙන ස්වාමීනි, මම මාගේ “ස්වාමියා සහ දරු තිස්දෙදෙනා ඝාතනය වු පුවත අත දරාගන ඔබ වහන්සේලාට දන් බෙදීමි. මේ ගිතෙල් කළයට කුමට තැවෙම්” දැයි ප්‍රකාශ කළා ය. කෙනෙකුට තිබිය යුතු ඉවසීමේ ගුණයෙන් අග්‍ර වූ මල්ලිකාවෝ සියලු කාන්තා පරපුරට ආදර්ශයකි. දරුගැබක් හත් අවුරුදු, හත් මස්, හත් දිනක් කුස දරා සිටි සුප්පියාවාසා උපාසිකාව, වීර්යයෙන් කායික, මානසික ශක්තිය දරාගත් කාන්තාවකි. කායික ශක්තිය කෙසේ වුව ද බුද්ධියෙන්, මානසික ශක්තියෙන් පුරුෂයාට සම තැනට එන්නටත් ඇතැම්විට ඊට වඩා ඉහළ තැනට එන්නටත් කාන්තාවට ඇති හැකියාව විශිෂ්ට ය.

ලක්දිව විහාර මහා දේවිය, සෝමා දේවිය වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවෝ ඉතිහාසයට එක් වූයේ බුද්ධිය, එඩිතර බව, අධිෂ්ඨානය, කැප කිරීම ආදීයෙන් ඉහළට ම ගිය නිසාවෙනි. මේවන විට ඇතැම් කාන්තාවෝ පුරුෂයා හා සම තන්හි සිටිමින් ඇතැමුන් ඊටත් ඉහළට යමින් වෛද්‍යවරියන්, ඉංජිනේරුවරියන්, දිස්ත්‍රික් ලේකම්වරියන් ද ආදී වශයෙන් විවිධ තරාතිරම්වල කාන්තාවන් සිටින අතර ඇතැම් අය ගගන තලයේ සැරිසරන්නට ද හැකියාව ලබාගන ඇත.

ජීවිතයේ සැනසුම සොයන අප කාන්තාවෝ පන්සල්, ආරාම ඇසුරු කරමින් දානාදී පින්කම් කටයුතුවල නියැළෙති. පොහෝ දිනවල උපෝසථ සීලයෙහි පිහිටා භාවනා වඩති. පොහෝ දින පන්සලකට යන ඕනෑම අයකුට පුරුෂ පක්‍ෂයට වඩා කාන්තා පක්‍ෂය සිල් සමාදන් වී ඇති අයුරු දක්නට ලැබේ. විමුක්ති මගට යොමු වීමට බොහෝ කාන්තාවෝ උත්සාහ කරති.

කාන්තාවනට ද විමුක්තිය ලබා ගැනීමට හැකියාව ඇති බව දත් නිසාම පුරුෂයා හා සම තැන දක්වමින් බුදුරජාණන් වහන්සේ භික්‍ෂුණි පරපුරක් ඇති කළ සේක.

මුල් කාලයේ මෙම භික්‍ෂුණී පැවිදි බව ලබා ගත්තේ රජ පවුල්වල, සිටු පවුල්වල, සිටි, පිනෙන් පිරුණු කාන්තා පිරිසකි. ඇතැමුන් විවිධ හේතු මත දුකෙහි ගැලූන අය වුහ. ඔවුනට විමුක්තිය ලබා ගැනීමට කිසිදු බාධාවක් නොවී ය.

මෙම ලිපියේ ඉතිරි කොටස ලබන මැදින් පුරවක පෝදා පත්‍රයේ පළවේ.