Print this Article


අනුත්තරීය සූත්‍රය: මහඟු ප්‍රතිඵල ලබා දෙන උත්තම උපස්ථානය

මහඟු ප්‍රතිඵල ලබා දෙන උත්තම උපස්ථානය

ශ්‍රේෂ්ඨතම උපස්ථානය

මෙලොව පවතින ශ්‍රේෂ්ඨ උපස්ථානය හෙවත් උවැටන බුද්ධ ගෞරවය, ධම්ම ගෞරවය හා සංඝ ගෞරවය යි. තෙරුවන් කෙරෙහි දක්වන ගෞරවය අනුත්තරීය ධර්ම අතර ඉතාම උසස් ධර්මය යි.

“න ඛත්තියාදීනං පාරිචරියා න පාරිචරියානුත්තරීයං” යනුවෙන් අටුවාවේ දැක්වෙන පරිදි රජුන්ට කරනු ලබන උවැටන උසස් ම උවටැන නො වේ.

විහාරයේ බුදුරුව ඉදිරියේ ඇති පරමල් අස් කිරීම වඩා උසස් කාර්යයක් බැව් පවසමු. බෝධි මළුව ඇමදීම, විහාර මළුවේ තණකොළ ගලවා ඉවත් කිරීම වඩාත් ගෞරවණීය වේ. ශ්‍රේෂ්ඨ ප්‍රතිඵල ලබාදෙන ක්‍රියාවන් වේ.

එහෙත් අන්ධ ව සිටින වත්මන් සමාජය තුළ සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන්ට සැලකීම වඩාත් අගය කෙරේ.

“නිවිට්ඨ පේමත්ත – නිවිට්ඨ සද්ධස්ස” යනුවෙන් බැස ගත් ශ්‍රද්ධාවත්, ශාසන දයාවත් ඇති පුද්ගලයෝ තුනුරුවනට සැලකීමෙන් ලබන ගෞරවය වඩාත් උසස් ලෙස සලකන බැව් අටුවාව පැහැදිලි කරයි.

අද සමහර විහාරයන්හි විහාර බිම අතුගා පිරිසුදුව තබා ගැනීමට තරම් භික්ෂු පිරිසක් නොමැත. එවන් විහාරස්ථාන, විහාර මළුව ඇමදීමෙන් ලබන ආනිසංස පාරිචරියානුත්තරීය වේ. ලොව දිනූ සම්‍යග් සම්බුදුරජාණන් වහන්සේට අද අපට සැලකිලි දැක්විය නො හැකි නිසා විහාරයන්හි තේවාව නමින් පූජා අවස්ථාවන් සංවිධානය කොට ඇත. තේවාවේ දී සිදු කෙරෙන්නේ බුද්ධ උපස්ථානයයි. උණුපැන් . දැහැටි ආදිය මෙහි දී පූජා කෙරේ.

වසර විසිපහක් බුදුන් වහන්සේගේ නිත්‍ය උපස්ථායකයෙකු ලෙස කටයුතු කළ ආනන්ද හිමියෝ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුදුකුටිය වෙත ගොස් “දැන් ඔබ වහන්සේගේ දැහැටි වළඳන වේලාව“. “දැන් ඔබ වහන්සේගේ උණුපැන් වළඳන වේලාව“ ආදි වශයෙන් උවටැන් කළහ. මෙම උපස්ථානය අද නිරන්තරයෙන් අඛන්ඩ ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරෙන අතර, සමහර විහාරයන්හි සුවිශේෂී අවස්ථාවල දී සිදු කෙරේ. මෙම බුද්ධෝපස්ථානය පාරිචරියානුත්තරීය ධර්මය යි.

අපි කුඩා කාලයේ පාඩම් කිරීමෙන් අනතුරුව පොතට නමස්කාර කොට මේසය උඩ තැන්පත් කළෙමු. එසේ කිරීම පාරිචරියානුත්තරීය කාරණයකි.

පා දෝවනය කළ යුත්තේ ගෘහමූලිකයා හෝ වැඩිහිටියෙකුවේ

සංඝරත්නය වෙනුවෙන් කරනු ලබන සැලකිලි පාරිචරියානුත්තරීය ධර්ම කාරණාවකි. නිවසක පින්කමක දී, පිරිත් දේශනයක දී භික්ෂූන් වහන්සේගේ පා දෝවනය සිදු කෙරේ. පැරැණි යුගයේ දී මෙම කාර්යය සිදු කරන ලද්දේ ගෘහමූලිකයා විසින් වූව ද, අද එය ගෙදර කුඩා දරුවෙකුට හෝ සේවකයෙකුට පැවරී ඇත. එහෙත් මෙම කාර්යය නිවසේ ගෘහමූලිකයා හෝ වැඩිහිටියෙකු විසින් කිරීම බෞද්ධ සිරිතක් බව අවධාරණය කරමු. භික්ෂූන් වහන්සේලාගේ පා දෝවනය මදිකමක් ලෙස සැලකීම හීනෝන්මානය වන අතර එය රෝගයකි.

අනුස්මරණය කළ යුතු ගුණ මොනවා ද?

සිහි කරන්නේ නම් සිහි කළ යුතු කුමක් ද? යන්න මෙම ධර්මතාවය තුළින් ප්‍රකාශ වේ. අපි බොහෝ විට අපගේ ජීවිතයන්හි සිහි කළ යුතු දේ ලෙස, සමරු ලෙස කුඩා කල අපගේ ඡායාරූප, විවිධ අවස්ථාවල දී පාවිච්චි කළ ඇඳුම් පැලඳුම්, විවාහයේ දී ලබාගත් ඡායාරූප ආදිය සුරැකිව තබාගෙන ඒ දෙස බලමින් ආඩම්බර වෙමු. එහෙත් බුදු දහමට අනුව අප අනුස්මරණය කළ යුත්තේ තෙරුවන්ගේ ගුණයන් ය. ඒ සඳහා බුද්ධානුස්සති, අසුභානුස්සති, මෙත්තානුස්සති ආදි වශයෙන් අනුස්සති ධර්ම පෙන්වා ඇත.

බුද්ධානුස්සති

“අනන්තවිත්ථාරගුණං - ගුණතොනුස්සාරං මුනිං

භාවෙය්‍ය බුද්ධිමා භික්ඛු - බුද්ධානුස්සති මාදිතො”

“අනන්තවිත්ථාරගුණං” – අනන්තයට පැතිරුණ සුවඳ ඇති

“ගුණතොනුස්සාරං මුනිං - බුදුරදුන්ගේ ගුණ අනුස්මරණය කරමින්

“භාවෙය්‍ය බුද්ධිමා භික්ඛු” – බුද්ධිමත් භික්ෂුව

“බුද්ධානුස්සති මාදිතො” – බුද්ධානුස්සතිය වඩයි

මෙසේ අනුස්මරණයන් අතර උසස් ම අනුස්මරණය තෙරුවන් ගුණ බැව් බුදුන්වහන්සේ පෙන්වා දුන් සේක.

“සතං හත්ථි සතං අස්සා සතං අස්සතරීරථා

සතං කඤ්ඤාසහස්සානි ආමුත්ත මණිකුණ්ඩලා

එකස්ස පදවීතිහාරස්ස කලං නාගඝන්ති සොළසිං”

බුදුරදුන් දැකීමෙන් ලබන චිත්ත ප්‍රබෝධය

අනේපිඬු සිටු වූ සුදත්ත සිටුතුමා ප්‍රථමයෙන් බුදුන් වහන්සේ බැහැ දැකීමට යාමට පිටත්ව මිනී සහිත සොහොනකින් යුත් කැලෑවක් මැදින් ගියේ ය. මිනී දෙපයට පෑගෙන කල්හි, යළි හැරී ඒමට අදහස් කළ විට එක්තරා දෙවියෙක් ඉහත සඳහන් ගාථාව කීවේ ය.

සතං හත්ථි සතං අස්සා සතං අස්සතරීරථා” – ඔබ බුදුරදුන් දැකීමට ඔසවන එක පියවරක් ඇතුන් සියයක්, අශ්වයන් යෙදූ රථ සියයක් ලබනවාට වඩා පින් ලබාදෙන කාරණාවකි.

“එකස්ස පදවීතිහාරස්ස කලං නාගඝන්ති සොළසිං” එහෙයින් මේ පියවර ආපස්සට නො ගන්න යනුවෙන් දේවතාවා සිටුවරයා දිරිමත් කළේ ය.

මෙම ප්‍රකාශයෙන් හෙළි වෙන්නේ ඇත්, අස් ආදි භෞතික සම්පත් ලැබීම බුදුරදුන් දැකීමෙන් ලබන ආනිසංසයන්ගෙන් දහසයෙන් පංගුවක්වත් (1/16) නො වටිනා බවයි. බුදුරදුන් දැකීමෙන් ලබන චිත්ත ප්‍රබෝධය ඒ තරම් උසස් වේ.

“යො චෙ වස්සසතං ජන්තු අග්ගිං පිරිචරෙ වනෙ”

යමෙක් වනයේ සිට වසර සියයක් ගිනි පූජා පැවැත්වීමට වඩා

“එකඤ්ච භාවිතත්තානං” – වඩන ලද එකසිතක් ඇති උත්තමයෙකුට

“මුහුත්තම්පි පූජයෙ” - මොහොතක් පිදීම

වසර සියයක් පූජා පැවැතවීමට වඩා වටින බව ධර්මයෙහි පෙන්වා ඇත.

වැඩූ සිත ඇති කෙනෙකුට එක මොහොතක් කරන පූජාව වඩාත් කුසල් රැස් කරන ක්‍රියාවක් බව මෙහි දී පැහැදිලි කෙරේ. තෙරුවන් පිළිබඳ අනුස්සතිය ඒ තරම් උත්තම කාරණාවකි.