Print this Article


මානය හමුවේ ඤාණය දුරු වේ

මානය හමුවේ ඤාණය දුරු වේ

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

පුත්තා මත්ති ධනං මත්ති
ඉති බාලෝ විහඤ්ඤති
අත්තාහි අත්තනො නත්ති
 පුත්තෝ කුතෝ ධනං

ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි,

අර්හත්වයට පත් නොවූ සෑම දෙනාගේ ම සිත තුළ අඩු වැඩි වශයෙන් පවතින ක්ලේෂ ධර්මයන් ලෙස මානය හැඳීන්වෙනවා.

මානයෙහි මූල නිෂ්පාදකයා වන්නේ මෝහය යි. ඤාණය දුරු කරන ප්‍රබල ක්ලේෂ ධර්මය වන්නේ ද මානය යි. මානය නම් මැනීම යනුයි. භෞතික වශයෙන් ද්‍රව්‍ය සහ ද්‍රව විවිධ මිණුම්, කිරුම් උපකරණ භාවිත කර ගනිමින් මානනය කළ හැකි ය.

එහෙත් පුද්ගල සිත තුළ ගොඩනැගෙන මානය පුද්ගල බද්ධ ය. කෙනෙකුට ධනය හේතුවෙන් මානය ඇතිවිය හැකියි. බලය හේතුවෙන් මානය ඇති විය හැකියි. කුලය, ගෝත්‍රය හේතුවෙන් මානය ඇති විය හැකියි. පැවිද්දෙකුට පැවිද්දෙකුගේ භෞතික සිතුවිලි මත පිහිටන තනතුරු, වරප්‍රසාද, ගරු නාම හේතු කොට ගෙන මානය ඇතිවිය හැකියි. පුද්ගල බද්ධ ව මානය සිත තුළ ගොඩනැගීමට හේතුව ලෙස මම කියා පුද්ගලයෙක් සිටීම, මම කියන පුද්ගලයා සැපෙහි යෙදවිය යුතුයි, දුකින් මිදවිය යුතුයි යන අනාර්ය ආකල්ප මත පිහිටීම ආදිය හේතු වේ. නිරතුරුව ම සිත මානයට සිතුවිලි සකස් කර ගනී .ඒ අනුව පංචස්කන්ධය යනු මම ය, මෙම පංචස්කන්ධය තුළ සිටිනුයේ මම ය, මෙම පංචස්කන්ධය තමාට අභිමත පරිදි පාලනය කර ගත හැකිය යන සාවද්‍ය වැටහීමක් තුළ නිරන්තරයෙන් ම මිනිස් සිත තණ්හා, මාන, දිට්ඨි, අවිද්‍යා ආදී වූ අකුසලගත ව ක්‍රියා කරයි. මෙලෙස කටයුතු කිරීම තුළ මානයෙහි ගැඹුරුම අවස්ථාව ලෙස අස්විමානය සිත තුළ පහළවේ. මෙලෙස මානාධික ව කෙනෙකු මිය යයි ද,'හෙතෙම මානෙන මක්කටෝ හෝති අතිමානෙන කුක්කුරො' මානය අඩු සහ වැඩි වශයෙන් සිත තුළ පැවතීම තුළ ඊළඟ භවය වඳුරන් හා සුනඛයන් වී ඉපදේ ලෝකයේ බොහෝ දෙනෙකු මෙම අනර්ථකාරී අති මානය හේතුවෙන් අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට පත් වෙති. තථාගතයන් වහන්සේට විවිධ අකටයුතුකම් කළ තෝදෙය්‍ය බමුණා ද අතිමානය නිසාවෙන් මිනිසත් බව වනසා ගත්තේ ය. අතිමානය හේතුවෙන් මරණින් මතු ස්වකීය නිවසයෙහි ම සුනඛයෙකු වී ඉපදීමට තරම් ඔහුගේ සිත මානාධික විය. බොහෝවිට පුද්ගලයා මානයෙන් යුතු වන්නේ භෞතික සැප සම්පත් මානසික වශයෙන් අල්ලා ගැනීම හේතුවෙනි.

කෙනෙක් තමාට දරුවන් ඇත, ධනය ඇත සිතා අනිසි මානයකින් යුතු ව කටයුතු කරනවා. එබඳු පුද්ගලයින්ට බොහෝ සෙයින් තමාට තමන්වත් අයිති නැතැයි සිහිපත් නොවේ.යනුවෙන් දේශනාවේ ද පැහැදිලි වේ. අතිමානයෙන් පෙළුණු පුද්ගලයකු සීලයෙන් සමන්විත, ගුණයෙන් සමන්විත මාතංග නම් තාපසයාට නිග්‍රහ කිරීම හේතුවෙන් ඒ මොහොතේ ම අංග විකලත්වයට පත් වූ බව පෙන්වා දී ඇත. එහිදී පිරිහෙන පුද්ගලයාගේ මානසික රෝග ලක්ෂණ කිහිපයක් ජාතක පාලියෙහි පෙන්වා දී ඇත

ජාති වාදය, අති මානය, ලෝභය, ද්වේශය, මදය, මෝහය ද යන මෙම සෑම දෝශයක් ම යමෙකු තුළ පවතී නම්, ඔහු විෂ සර්පයින් පිරි තුඹසක් සේ කිසිවෙකුට ප්‍රයෝජන රහිත වෙති. ඔවුන් කෙරෙහි දෙන ලද්ද මහත්ඵල නොවෙති.

දිනක් සාරිපුත්ත මහරහතන් වහන්සේට හිතෙනවා පුණ්ණ කියන පොඩි හාමුදුරුවන්ගෙන් බණ අහන්න. මෙම මන්තාණි පුත්ත පුණ්ණ හාමුදුරුවෝ ලස්සනට බණ කියනවා. මේ ආරංචිය මුළු ප්‍රදේශයේ ම පැතිර යනවා. “හරි මිහිරට බණ කියන හාමුදුරු නමක් දැන් වඩිනවා”. විටින් විට මෙම කතාව සාරිපුත්ත මහරහතන් වහන්සේට ආරංචි වෙනවා. එවිට සාරිපුත්ත හාමුදුරුවෝ පොඩි හාමුදුරු කෙනෙකුට කතා කරල කියනවා

මන්තානි පුත්ථ පුණ්ණ 'ආයුෂ්මතුන් ආවොත් මට කියන්න' කියලා. මාසයක් විතර යනකොට අර මන්තානි පුත්ත පුණ්ණ හාමුදුරුවෝ විහාරයට වඩිනවා. වැඩියට පස්සෙ පොඩිහාමුදුරුවන්ට මතක් වෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වනේ පුණ්ණ හාමුදුරුවො වැඩියොත් කියන්න කියලා ගිහින් මතක් කරනවා.

“ස්වාමීනී මන්තානි පුත්ත පුණ්ණයන් ඇවිත් දහම් සභාවේ බණ කියනවා” එවිට සාරිපුත්ත මහරහතන් වහන්සේ සිව්ර ඒකාංශ කරගෙන ගිහින් බිම වාඩිවෙලා බණ අහනවා. දැන් මේ කවුද බණ අහන්නේ? ධර්ම සේනාධිපති බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ ඔබ ගිහින් සාරිපුත්ත මුණ ගැසෙන්න. සාරිපුත්ත ධර්මයේ කිරි මව" කියලා. බුදුරජාණන් වහන්සේටත් සමහර විට බණ කියාගෙන යන විට අමාරු වුණොත් සාරිපුත්ත මහරහතන් වහන්සේට, කියලා තියෙන්නේ “සාරිපුත්ත මගේ කොන්ද රිදෙනවා. මම ටිකක් මේ කණුවට ඇල වෙලා ඉන්නම්. සාරිපුත්ත මෙතනින් එහාට කරගෙන යන්න පුළුවන් ද කියලා ඒ වගකීම පවා පවරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. සච්ච විභංග වැනි සූත්‍ර දේශනා කරන්නේ ම සාරිපුත්ත මහරහතන් වහන්සේ. නමුත් උන්වහන්සේගේ තිබෙන නිහතමානීකම ගැන මදක් සිතන්න. සෑම දේශනාවක් ම සිදු කරන විට ශාස්තෘ ගෞරවය තියලයි සිදු කරන්නේ. ධර්ම දේශනය ඉවර වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුර ඒකාංශ කරලා මන්තානි පුත්ත පුණ්ණ හාමුදුරුවන් ළඟට ගිහින් කිව්වා හරිම ලස්සනයි, ඔබ වහන්සේගේ දේශනාව, මෙච්චර ලස්සනට බණ කිව්ව තමුන්වහන්සේ කවුද? කියලා අහනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නොදන්නවා නෙවෙයි. උන්වහන්සේ දන්නවා මේ බණ කිව්වේ මන්තානි පුත්ත පුණ්ණ වහන්සේ කියලා. පුණ්ණ හාමුදුරුවෝ කියනවා "ස්වාමීන් වහන්ස, මම තමයි පුණ්ණ. මන්තානි පුත්ත පුණ්ණ කියලා මිනිස්සු මට කියන්නේ. උන්වහන්සේ සාධුකාර දීලා කියනවා මිහිරට බණ කියන මන්ථානි පුත්ත පුණ්ණ හිමිගෙන් මම අද බණ ඇහුවා කියලා සාධුකාර දෙනවා පුණ්ණ හාමුදුරුවෝ අහනවා මෙ පමණ වේලාවක් බණ අහපු ඔබ වහන්සේ කවුද කියලා?

"මම දැක්කා බණ පටන් ගත්ත වේලාවේ ඉඳලා ඉන්නවා. හො¼දින් බණ අහනවා ස්වාමීනි මෙපමණ වේලාවක් බණ අහපු ඔබවහන්සේ කවුද" කියලා අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ආයුෂ්මතුනි මගේ අම්මාගේ නම සාරී බැමිණිය. සාරී බැමිණියගේ පුතා නිසා ආයුෂ්මතුනි, මට කියනවා සාරිපුත්ත කියලා. එවිට අර හාමුදුරුවන්ට උන්හිටි තැන් අමතක වුණා ඇග සීතල වෙලා ගියා. එකපාරට ම නැඟිටලා කිව්වා "අනේ මට සමා වෙන්න, අනේ මට සමා වෙන්න." කියලා ඔබ වහන්සේ සම්බුදු සසුනේ අග්‍ර ශ්‍රාවක. බුදුරජාණන් වහන්සේගේ ළඟම ආසන ලැබෙන ඔබ වහන්සේ මගේ ඉස්සරහ බණ අහනව කියල දන්නවා නම් මගේ කටින් මේ වචන ටිකවත් එළියට එන්නේ නැහැ"කියලා. දැන් බලන්න ඒ නිහතමානී බව ඒක ස්ථාවරයි. අනිහතමානී බව ස්ථාවර නෑ. ඒක ඕනම වෙලාවක චලනය වෙන්න පුළුවන්. එය චලනය වීමට පාරිසරික සාධක බලපාන්න පුළුවන්. සමහර විට තවත් වැඩ කරන ස්ථාන හේතුවෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණ නිවුන කෙනෙක් තුළ මතුවන නිහතමානීකම කිසිවෙකුටත් කිසිවිටෙකත් චලනය කරන්න බැහැ. ඒකයි එහි විශේෂත්වය

සම්මා සම්බුදු සරණයි