Print this Article


ලොව බොදු පරපුරට සෙත සලසන නාගානන්ද බොදු සරසවිය

ලොව බොදු පරපුරට සෙත සලසන නාගානන්ද බොදු සරසවිය

කැලණිය බොල්ලෑගල ප්‍රදේශයේ අක්කර 50 ක මනරම් භූමි භාගයක ඉදිකර ඇති ලොවට ම ආගමික හැදියාව බෙදා දෙන මේ පින් බිම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය යි.

ආසියාවේ පළමු විශ්ව විද්‍යාලය වූ ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය ආදර්ශ කරගනිමින් 21 වැනි සියවසේ ඉදිවුණු මේ ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය අපේ රටේ බිහි වූ මේ ආකාරයේ එකම බොදු සරසවිය යි. වත්මන්හි භික්ෂුන් වහන්සේ පමණක් නොව මෙහෙණින් වහන්සේ හා ගිහි තරුණ තරුණියන් ද ආචාර්ය උපාධිය දක්වා අධ්‍යාපනය ලබන මෙම ආයතනය මානෙල්වත්ත පුදබිමේ මනරම් භූමි භාගයක විසිරී පැතිරී තිබේ.

මානෙල්වත්ත රජමහා විහාරාධිපති සහ තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ මූලිකත්වයෙන් ඉදිවූ නාගානන්ද සරසවියේ අධ්‍යාපනය ලබන 5000 ක පිරිසට නේවාසික පහසුකම් ලබාදීමට කටයුතු කරමින් ඇතැයි එම ආයතනයේ සෙනෙට් මණ්ඩල සාමාජික උපකුලපති හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් ශාස්ත්‍රපති දොඩම්පහළ රාහුල හිමිපාණෝ පවසති.

මේ පිළිබඳව අදහස් දැක්වූ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නා හිමිපාණෝ පැවසුවේ මේ අධ්‍යාපන මධ්‍යස්ථානය ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ සැලැස්මක් අනුව බිහිවූ බවයි.

"එදා නාලන්දා විශ්ව විද්‍යාලයෙන් තමයි ලොවම උගත්තු බිහිවූයේ. ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ සැලැස්මට අනුව මෙම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය ඉදිකිරීමට පියවර ගත්තා. ලොව ප්‍රථම නෙළුම් මල් සංකේතය පළමු වරට ලොවට හඳුන්වා දුන්නේ ඉන්දියාව. එම නෙළුම් මල් සංකේතය මෙම විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවේ වහලයේ කැටයම් ලෙස යොදාගනු ලැබුවා.

මෙය තමයි මේ සියවසේ ලොව තිබෙන ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන යන බුද්ධාගමට සම්බන්ධ සියලුම ඉගැන්වීම් කටයුතු කරන එකම විශ්වවිද්‍යාලය. එදා නාලන්දා විශ්වවිද්‍යාලයෙන් පසු මෙලෙස සියලුම බෞද්ධ ඉගැන්වීම් කටයුතු සිදුකරන විශ්වවිද්‍යාලයක් ලොව කොතැනක හෝ බිහිවූයේ නැහැ. ථෙරවාද, මහායාන, වජ්‍රයාන ඉගැන්වීම් වෙන වෙනම සිදුකරන විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන පමණයි තිබෙන්නේ.

ලෝකයටම බුදු දහම පතුරුවන්න නම් මේ සියල්ල එක තැනක ඉගැන්වීම් සිදුකරන විශ්වවිද්‍යාලයක් තිබිය යුතුයි. එනිසා මෙම විශ්වවිද්‍යාලය තුළ ඒ සියලු අධ්‍යයන කටයුතු ලබාදෙනවා.

මෙහි තොරතුරු තාක්ෂණික විද්‍යාගාරයක් තිබෙනවා. බුදු දහම පිළිබඳ පර්යේෂණ කිරීමට පහසුකම් තිබෙනවා" යැයි ද ආචාර්ය බෝදාගම චන්දිම හිමිපාණෝ පැවසූහ.

ඒ සමඟම ඉදිරියේ දී රටවල් කිහිපයක් සමඟම ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවබෝධතා ගිවිසුම් අස්සන් කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාව, නේපාලය, තායිවානය, කොරියාව, ජපානය, චීනය, රුසියාව වැනි රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසකට අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් ද සපයනු ලබනවා.

මෙම භූමිය ලංකාවේ පළමු විධායක හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා හා එලීනා ජයවර්ධන මහත්මිය විසින් 1962 ජනවාරි 20 වැනි දින සඟ සතුකොට එකල මල්වතු මහානාහිමියන් වැඩ සිටි වැලිවිට සංඝරාජ විහාරස්ථානයට පූජා කරන ලදී. අනතුරුව මානෙල්වතු විහාරාධිපති වශයෙන් කන්ඩක්කුලමේ ධම්මකිත්ති නාහිමියන් පත් කරන ලදී. 2002 දී මැලේසියාවේ ශ්‍රී ලංකා මහා විහාරාධිපති කිරින්දේ ධම්මානන්ද නාහිමියන්ගේ උපදෙස් පරිදි මානෙල්වතු විහාරය සංවර්ධනය කරමින් අනාගතයට දායාද කරන්නට තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් වෙත පවරනු ලැබූහ. මේ වනවිට උන්වහන්සේගේ නායකත්වය හා මෙහෙයවීම යටතේ මානෙල්වත්ත පුද බිම, මානෙල්වත්ත මහා විහාරය අධ්‍යාපන ඇකඩමිය, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය, බුද්ධශ්‍රාවිකා අධ්‍යාපන පුහුණු ආයතනය, ආයුර්වේද වෛද්‍ය අංශය, තොරතුරු තාක්ෂණ අංශය, සම්මන්ත්‍රණ ශාලාව යනාදී අංශවලින් සුවිශේෂී ලෝක ශාසනික හා සමාජ මෙහෙවරක් සිදු කරමින් පවතී.

මෙම මානෙල්වතු විහාරයේ දක්නට ලැබෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අංකුරයක් වන බෝධීන් වහන්සේ ඉතා ආකර්ෂණීය ය. මෙම විහාර භූමියේ ඉදිකර ඇති චෛත්‍යරාජයාණන් වහන්සේගේ ස්ථාන තුනක ධාතුන් වහන්සේ නිධන්කර තිබේ. පේසාවළලු 3 අසල ද සීවලී මහ රහතුන් වහන්සේගේ ධාතු තැන්පත් කර ඇත.

1978 ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබූ කපිලවස්තු ධාතූන් වහන්සේලා දෙනමක් ද මෙම චෛත්‍යයේ ම හතරැස් කොටුවේ තැන්පත් කර ඇත.

මෙහි තෙමහල්, සිවුමහල් ගොඩනැගිලි 11 ක් ඉදිවී ඇත. ඒ අතර පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය, දේශන ශාලා, අංග සම්පූර්ණ පුස්තකාලය 1500 කට පමණ පහසුකම් සහිත ශ්‍රවණාගාරය, ස්ත්‍රී/පුරුෂ දෙස් විදෙස් 2000 දෙනා සඳහා නේවාසික ව පහසුකම් හා ආපන ශාලා ඉදිවී ඇත.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට පාලක සභාවක් හා සෙනෙට් සභාවක් ඇත. සෙනෙට් සභාවේ ප්‍රධාන වන්නේ එම බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති හා තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම හිමිපාණන් ය.

මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමි හා මහාචාර්ය මැදගොඩ අභය තිස්ස හිමි ඇතුළු විද්වත් මහා සංඝරත්නය හා මහාචාර්ය චන්දිම විජය බණ්ඩාර මහතා ඇතුළු ගිහි විද්වත් පිරිසක් ද මෙම විශ්ව විද්‍යාලයේ කටයුතු මෙහෙයවති.

තොරතුරු තාක්ෂණ යෙදවුම් පාඨමාලාව, තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව, බෞද්ධ භාවනාව පිළිබඳ පාඨමාලාව, උපදේශන මනෝවිද්‍යා පාඨමාලාව, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශන පති උපාධිය හා සිංහල, ඉංග්‍රීසි, පාලි, හින්දු, ජපන් චීන, දෙමළ ආදී භාෂා පිළිබඳ පාඨමාලාවන් ඇතුලු පාඨමාලා රැසක් ක්‍රියාත්මක වෙයි.

ඊට අමතරව, බෞද්ධ භාවනාවල මනෝ චිකිත්සක හා ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, බෞද්ධායුර්වේද ආහාර ඖෂධ හා චර්යා කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, බෞද්ධායුර්වේදීය වෘද්ධත්ව කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, ජ්‍යොතිෂය හා සමගාමී විද්‍යා (හස්ත රේඛා ශාස්ත්‍රය හා ශාන්තිකර්ම) පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව යන පාඨමාලාවන් ද මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක ය.

එමෙන් ම ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය, ගෞරව උපාධිය හා ශාස්ත්‍රපති, දර්ශනපති උපාධි පාඨමාලා ද ආරම්භ කෙරේ. දේශීය හා විදේශීය භාෂාවන් ද යොදා ගැනේ. නාගානන්ද ජගත් බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉහත සියලු පාඨමාලා පිළිබඳව වැඩි විස්තර 0113662846 දුරකථන අංකයෙන් විමසීමට පුළුවන.

මෙම ස්ථානයේ ඇති සුවිශේෂී ශ්‍රවණාගාරය මෙරට ඉහළම ශ්‍රව්‍ය දෘෂ්‍ය තාක්ෂණයෙන් පරිපූර්ණ ය. මෙම විශ්වවිද්‍යාලයේ සෙනෙට් මණ්ඩල සාමාජික ශාස්ත්‍රපති දොඩම්පහළ රාහුල හිමියන් පවසන පරිදි දැනට මෙම විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නම් කර ඇති අධ්‍යයනාංශ, දේශන ශාලා, නේවාසිකාගාර, පුස්තකාල, පරිගණක, ආපන ශාලා, හා ක්‍රීඩා කටයුතු සඳහා ස්ථාන ආදී සියලු පහසුකම් වලින් සමන්විත ය. ඒ අනුව මේ පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු කර මෙම සරසවියට වරලත් තත්ත්වය ලබාදෙන්නේ නම් එතෙර මෙතෙර බෞද්ධ භික්ෂු භික්ෂුණීන්ට හා එතෙර මෙතෙර බෞද්ධාගමික තරුණ තරුණියන්ට ඉමහත් ප්‍රතිලාභයක් අත්වනු ඇති බව ද රාහුල හිමිපාණෝ පවසති.

මේ පිළිබඳව තොරතුරු, සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති සහ කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අවධානය යොමුවී තිබීම ඉතාම සතුටු දායක බව ද රාහුල හිමිපාණෝ පවසති. මේ ජගත් බොදු සරසවිය මෙන් ම සිත නිවන මානෙල්වත්ත පින්බිම සුරැකීමට හා සංවර්ධනය කිරීමට රජයේ නිලධාරීන්ගේ බලධාරීන්ගේ හා පින් කැමැති සියලු දෙනාගේ සහය ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරයි.

මෙම භූමියේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අනුමත ඩිප්ලෝමා, ශාස්ත්‍රපති, පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වේ.

සෑම පුන් පොහෝ දිනක් ම මානෙල්වත්ත පුදබිම අෂ්ඨාංග ශීලයට සමවැදුණු උවැසිඋවැසියන් දහසකට අධික පිරිසකගෙන් පිරී යන්නකි.

තායිවානය, ජපානය ඇතුළු රටවල පැවිදි පිරිස් බෞද්ධ සහජීවනය වඩවාලනු පිණිස සංවිධානය කරන වැඩසටහන් ද මානෙල්වත්ත පුදබිමට ආගන්තුක නොවේ.

චන්දිම හිමිපාණන්ගේ විදෙස් රටවල බෞද්ධ දායක පිරිස් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ දියුණුව සඳහා සෙවණැල්ලක් මෙන් සිටිති. දැහැමි සංකල්පය රටපුරා වගා කෙරෙනු ඇත. විදේශාධාර ඔස්සේ ත්‍රිපිටකය, පිරුවානා පොත් වහන්සේ වැනි ධර්ම පුස්තක මුද්‍රණය කරවීම පූජ්‍ය බෝදාගම චන්දිම හිමිගේ මඟපෙන්වීම යටතේ මේ පුදබිමේ සිදුවන මහා පුණ්‍ය කර්මයන් ය.