[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

57 වන ජන්ම දිනය යෙදී ඇති මිරිස්සේ ධම්මික නා හිමි

57 වන ජන්ම දිනය යෙදී ඇති මිරිස්සේ ධම්මික නා හිමි

“යො හොති වියත්තො ච විසාරදොච
බහුස්සුතො ධම්මධරෝච හොති”

යනුවෙන් අංගුත්තර නිකායේ සඳහන් වන ලෙස ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න යන සංඝ ශෝභන ගුණාංගවලින් තථාගත ශ්‍රාවකයන් වහන්සේලා උපලක්ෂිත විය යුතු ය.

පනස් හත් (57) වෙනි විය සපුරන බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ අධිකරණ නායක ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමිපාණන් වහන්සේ එකී සංඝ ශෝභන ගුණ සම්පන්න දුර්ලභ ගණයේ මහ පඬිරුවනකි.

ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමිපාණන් වහන්සේ මිරිස්ස උඩුපිල ශ්‍රී සුධර්මාරාමයෙහි පැවිද්ද ලැබ මිරිස්ස සුනන්ද ත්‍රිපිටක විද්‍යාලයෙන් ද, මාතර ශ්‍රී සුදර්ශි පිරිවෙනෙන් ද මූලික අධ්‍යාපනය ලැබී ය. අනතුරුව කොළඹ සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, කැනඩාවේ වැන්කුවර්හි සයිමන් ප්‍රේෂර් ජාතික විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හා දර්ශන විශාරද උපාධිය ද හිමිකර ගැනීමට සමත් වූහ. තමන් වහන්සේ ලද දැනුම පිරිවෙන් හා පාසල් ගුරුවරයකු ලෙසින් බෙදා දෙමින් සිටින අතරතුර කැනඩාවෙහි වෙසෙන බෞද්ධ පින්වතුන්ගේ ආරාධනයට අනුව එහි වැඩමවා දේශීය විදේශීය ජනතාවගේ හදවත් තථාගත සම්බුදු වදනින් සුවපත් කිරිමට කළ මෙහෙය බොහෝ දෙනෙකුගේ අපමණ ප්‍රශංසාවට ලක් වේ. කැනඩාව වැනි බටහිර රටක ඔවුන්ගේ සිතුම් පැතුම් වටහාගෙන බුදුදහම ඔවුන්ට ගැළපෙන අයුරින් දේශනා කිරීම පහසු කටයුත්තක් නොවේ. නමුත් මාහිමිපාණන් වහන්සේගේ දහම් කරුණු අසා තේරුම්ගෙන ගිහිගෙය අතහැර පැවිදි වූ බටහිර ජාතිකයෝ ද විය.

2004 වසරේ දී විදේශීය ධර්මදූත සේවය නිමවා ලංකාවට වැඩම කළ නාහිමිපාණන් වහන්සේ බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන මුල් කරගනිමින් ජාතික, ආගමික, සාමාජික වශයෙන් අපමණ මෙහෙවරක් ඉටුකරනුයේ පැවිද්දෙහි මුඛ්‍ය පරමාර්ථයට බාධාවක් නොවන අයුරින් ය. උන්වහන්සේගේ එම සේවයට කෘතගුණ සැලකීමක් වශයෙන් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මණ්ඩලත්‍රයේ අනුමැතියෙන් තත්නිකායෙහි මහපදවි තුනෙන් එකක් වන අධිකරණ නායක තනතුරෙන් ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමිපාණන් වහන්සේ පිදුම් ලැබී ය.

සෙනසුරාදා දින පැවැත්වෙන භාවනා වැඩසටහන තුළින් බොහෝ දෙනෙකුට අධ්‍යාත්මික සැනසීම ලැබීමට මඟ පෙන්වාදෙන උන්වහන්සේ සෙනසුරාදා දින ඉංගී‍්‍රසි මාධ්‍ය දහම් පාසලින් හා ඉරු දින සිංහල මාධ්‍ය දහම් පාසල තුළින් ගුණවත් දරු පරපුරක් තැනීමට මඟ පෙන්වයි.

සෑම පුරපසළොස්වක පොහෝ දිනකම දහසකට අධික උපාසක උපාසිකාවන් වෙනුවෙන් සීල, සමාධි, ප්‍රඥා ප්‍රතිපත්ති සපිරෙන අයුරින් පොහෝ දින කටයුතු සම්පාදනය කරනුයේ ඉතාම කරුණාවෙනි. සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රඥා ප්‍රභා සංවිධානයෙන් මාසිකව ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කරමින් ඉතා සියුම් ධර්ම කාරණා අන් අයට අවබෝධ කරගත හැකි අයුරින් ඉදිරිපත් කරයි. එමෙන්ම පාරමී දම් සංවිධානය මුල්කර ගනිමින් අප රටෙහි දුෂ්කරතා ඇති ප්‍රදේශවලට මෙන්ම විහාරස්ථානවලට ද ආධාර කරනුයේ මාහිමිපාණන්ට පරිස්කාර වශයෙන් ලැබෙන දැය.

මිරිස්සේ ධම්මික හිමිපාණන් වහන්සේ දක්ෂ ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ධර්ම දේශනා ශෛලීය උන්වහන්සේට ම සුවිශේෂී වූවකි. උන්වහන්සේගේ මුවින් ගිලිහෙන ළයාන්විත දහම් පද ගැඹුරු අරුත් දනවන සුළු විය. ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් අවධි කරවන සුළු වීය. උන්වහන්සේට ධර්ම දේශනය ගැන අතිමහත් ප්‍රතිභාවක් විය. එය සිතක් නිවන සුළු විය. උන්වහන්සේගේ ගැඹුරු ස්වරය හදවතම ස්පර්ශ කරයි. ඉබේම ශ්‍රාවකයා තෙරුවන්ට බැඳී යයි.

පෙබරවාරි 04 දින දවස පුරා ලේ දන්දීමේ පින්කමක් හා පෙබරවාරි 05 දින මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ පරිත්‍යාගයක් මෙන් ම රෝගීන් සඳහා එළවළු සුප් දානයක් හා අඩු ආදායම්ලාභී පවුල්වලට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීමක් ද සිදුවිය.

ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික හිමිපාණන් වහන්සේට තව බොහෝ කාලයක් සසුනඹර වෙනුවෙන් වැඩ වඩන්නට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]