[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

නොතිර කය

සම්බුදු හිමි දෙසූ සදහම් අමා රස
සවනත වැකී බැලුවෙමි මම යොමා ඇස
කෙතරම් මුළාවක ගිලිල ද දනා රැස
දුරු කර ගන්න ගත යුතුම යි දහම් රස

සසර ගමන බියකරු බව දැන ගන්න
නිතර නොතිර කය ගැන වටහා ගන්න
සතර සතිපට්ඨාන බවුමන් වඩ මින්න
සසර ගමන සිඳලන්නට වෙහෙ සෙන්න

පෑදුන බිමකි මේ ගෞතම ශාසනය
කලණ මිතුරු ඇසුරෙන් ගෙන පෝෂණය
සවන පිනන දහමින් දුන් භාෂණය
රැගෙන විලස කළ යුතු වෙයි ශාසනය

නිතර නිතර තෙරුවන් ගුණ සිහි වේවා
තබන තබන පියවර යහපත් වේවා
අසන අසන බණ සිත් තුළ රැව් දේවා
සිතන පතන බෝධියකින් සැන සේවා


සම්බුදු සරණ

ගැයුම් වැයුම් නෙක නෙක සුමිහිරි ලෙසට
නිබඳ ව ගලා ආවත් දෙසවන් තුළට
සැනසිලි සුවය විඳ ගනු උදෙසා සිතට
බුදු බණ ඇසුම වැනි සතුටක් නැත මෙමට

රැකගෙන වස්තු සම්පත් උරුමයෙන් ගෙනා
ජීවය ගෙවූවත් සුවිසල් මැදුරු තනා
තිරසර සැපත ලැබුමට මේ සසර දිනා
අන් සරණක් නොමැත සම්බුදු සරණ විනා


බුදු වන බව

සක්විති රජ සැප කුමටද මා හට
බුදු වෙන්නයි පැතුවේ
රාහුල පුතු හා අතහැර දේවිය
නිවන තමයි සෙව්වේ
සසරින් සසර ම ඔබ මා පැතුව ද
මෙලෙසින් ඇයි, හමුවූයේ
මා බුදු වන බව දැනුණා නම් හෙම
ආසිරි දේවිද ඔබගේ ළයේ

 

ඩබ්ලිව්. බෙනුදි අනර්ගා
මහවිල කනිටු විදුහල
පානදුර


විභජ්ජවාදය

නිර්මල බුදු දහම ඇති රට ලංකාවයි
ඒ ගැන දෙකක් නැහැ ඇත්තම ඇත්තයි
අවුරුදු පන්දහක් එය පවතිනු නියතයි
තුන් පිටකයේ සඳහන් හැම දේ සත්‍ය යි

රහතුන් යැයි කියා හිස් පිරිසක් බිහිවී
සසුනත් රටත් වනසන්නම එයි පේවී
මුසා බස් කියා හැම තැන රැස්වී
නටනා නාඩගම පේනව විලි බිය නැතිවී

එපා රැවටෙන්න මොවුන්ට කිසි දිනක
අපා වැටෙන වැඩ සිදු වෙයි නිසැක
දෙසා තිබෙන සිරි සදහම් නොයෙක
අසා නිවන් මග යමු අපි හනික


නා හිමි පිදුම

සුවඳ හමයි පැදි කුසුමින් සසුන් විලේ
‘පහන් සිතක කවි’ පෝදා පවන් සැලේ
තිළිණ බෙදන කවියන්හට නිසන් සලේ
‘විමල ජෝති නාහිමි’ අප උදම් කළේ

කවිය තුළින් තෙරුවන් ගුණ පිපී දිලේ
ලියන පිරිස සිරි සදහම් රසේ වෙලේ
අමරණීය සේවය විහිදනා හෙලේ
‘විමල ජෝති’ නා හිමියන් උදා කළේ


නමදිමි බිම වැතිර මම

තිලොවට තිලක වූ සම්බුදු පියාණෙනී
මෙත් සිත් පතුරමින් දෙසුදම් අමා පැණී
අටලෝ දහම දැන හදවත නිවා ගිනී
සිරිපද පද්ම නමදිමි බැති දයාවෙනී

භවයෙන් භවය යන නොපෙනෙන සසරඉම
එතෙර ව යන්න හැකිවෙයි දෙසූ දහම අම
දැහැමිව දිවි පෙවෙත ගෙන යා යුතු ය සැම
සිරිපා පියුම් නමදිමි බිම වැතිර මම


නවම් පෝ දිනේ

කෝලිත උපතිස්ස දෙදෙන
ගෞතම බුදු පියා වෙතින්
මහණුපසම්පදා ලබා
අගසවු වූවෝ
තෙමසකින් පිරිනිවන් පානෙමි
ආයුෂ අත්හළ සේකී
කම්පා විය පොළෝ තලය
උතුම් නවම් පුන් පෝදා
ප්‍රථම සංඝ සන්නිපාතය
ඕවාද ප්‍රාතිමෝක්ෂ දෙසූ
නවම් සඳේ සඳ කිරණේ
සවනක් ගන බුද්ධ රශ්මි
දිලිසෙන ඇඳුමෙන් සරසා
පළඳා අභරණ විසිතුරු
දා කරඬුව පිටේ දැරූ
අලි ඇතුන් යෙති
නවම් පෙරහරේ

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ
එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ කාරක සභික
ඇටම්පොල ඤාණිස්සර හිමි
රණියගල


අගසවු දෙනම නමදිමු

ඍද්ධි බලය පාමින් සිය හැකියාවන්
ඇවැසි විටදි පෑවා මුගලන් හිමියන්
නුවණැත්තන් අතර මුලසුන මත රැඳෙමින්
සැරියුත් සමිඳු දම් දෙසුවා සිත නිවමින්

අගසවු තනතුරට බුදු හිමි මේ දෙනම
නවම් මැදි පොහෝ දින පත් කළ පසුව
සම්බුදු සසුන රැක ගන්නට පෙර දැරිව
කළ සේවාව සමරමු හද බැති බර ව

දෙව්දත් තෙරුන්ගේ වරපස පිටු දැක්වූ
පිටදී තමන්ගේ පිරිවර ගෙන වෙන් වූ
නොමඟට ගිය පිරිස් සුමඟට මඟ පෙන්වූ
අගසව් දෙනම වෙනුවෙන් මේ දින වෙන්වූ


කිරි ඉතිරේ

කොපමණ වැඩ කළත් අනේ
ඵල- විපාක එක ලෙස වේ
යහපත වෙත සිත ගියොතින්
අවුරුද්දම කිරි ඉතිරේ


අවුකන පිළිම වහන්සේ

අඩවන් දෙනෙතින්
බලා හිඳින්නේ
අවුකන පිළිම
වහන්සේ
මෙත් කරුණා
ගුණ
ඇද හැලෙනා
අවුකන පිළිම
සමින්දේ
දැක්මෙන්
දැහැන් ගතවන
අවුකන පිළිම
වහන්සේ

සමන්ත මහතන්තිල
රත්නපුර


ධර්මය රැක ගනිමු

හැම පන්සලක් නෑරම හිමිවරු වැඩලා
අපෙ බුදු දහම රැකුමට කටයුතු කරලා
හැම බොදු දනන් වෙත නෙත් සිත් යොමු කරලා
ත්‍රිපිටක ධර්මය පහදා දෙති මෙකලා

මිනිසුන් හටත් හරි අවබෝධය දෙමින
යා යුතු මඟ මෙයයි එය පෙන්වා දෙමින
හරි බුදු දහම මේ බව පවසා ලමින
හිමිවරු වෙහෙස වෙනවා මඟ පෙන්ව මින

වසර දෙදාස් පන්සියයක් ඉක්ම ගියා
සංගායනා එක පිට එක ගලා ගියා
සම්බුදු සසුන ඉතිහාසයෙ බැබළි ගියා
අපෙ බුදු සසුන ලක් දෙරණෙන් පැතිර ගියා

මහ සඟරුවන සැමදා අපි රැක ගනිමු
නිර්මල බුදු දහම දිවි හිමියෙන් රකිමු
අදමිටු පවින් දුරැලා පින්කම් කරමු
ධර්ම දීපයක් ලක්දිව බිහි කරමු


දහම් ඔවදනක්

උයනා බත් ටිකෙන් හොඳ ටික නුඹට දෙන
දන්කුඩ කා කුසගින්නේ මව් පියො සිටින
සොච්චම් මුදලකින් කුලී වැඩ කර ලැබෙන
නුඹ වෙනුවෙන් යොදයි මතු සිහිනය රැගෙන

උගතෙකු වූ පුතු පැමිණෙයි යළි ගමට
පාප මිත්‍ර ඇසුරේ ඔහු තුන් වසරකට
මව් පියන් ව උරුම කළේ මහලු නිවහනට
දරුවනේ මෙවැනි පව් නොකරව් කිසි දිනක


පෝය දිනට සිල් ගන්න

උදේ සවස තම ආගම අදහන්න
පෝය දිනට පසළොස්වක සිල් ගන්න
දුගී මගී සැමටම නිති දන් දෙන්න
සතුටු සිතින් සැමදා දිවි ගෙවන්න


කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]