Print this Article


වාහල්කඩින් අලංකෘත වූ පස්සර ඓතිහාසික රාජමහා විහාරස්ථානය

වාහල්කඩින් අලංකෘත වූ පස්සර ඓතිහාසික රාජමහා විහාරස්ථානය

ඌව දනව්වේ ඓතිහාසික පුදබිම් අතරින් සුවිශේෂී වූ විහාරස්ථානයකි, පස්සර ඓතිහාසික රාජමහා විහාරස්ථානය. එම විහාරස්ථානය දුටුගැමුණු මහ රජතුමාගේ කාල වකවානුවේ බුත්තල, හිඟුරුකඩුව පසු කරමින් පැමිණි සේනාව පස්සර කරපාල්ල හරහා මහියංගනයට යන අතරතුර ඉදිකළ විහාරස්ථානයක් ලෙස සැලකේ. පසුව නටබුන් වූ විහාරස්ථානය මහනුවර යුගයේ රජ පැමිණි රාජාධි රාජසිංහ හා ශ්‍රී වික්‍රමරාජසිංහ රජවරුන් සන්නස් පුදා අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කොට ඇත. දැනට දක්නට ලැබෙන පැරැණි විහාර මන්දිරය, චෛත්‍යය හා සොල්දොර මැද මිදුලක් සහිත දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල මහනුවර යුගයේ නිර්මිත ඒවා බව එම යුගයේ පැවැති චිත්‍ර හා කැටයම් සමග සන්සන්දනය කරන විට පැහැදිලි වේ.

නුවර යුගයේ නිර්මාණය කරන ලද විහාරස්ථානයට පිවිසුන මාර්ගයේ ඇති මකර තොරණ ගරා වැටී පවතී. පල්ලේගම මාර්ගය ඉදිවීමත් සමගම එම පැරැණි මකර තොරණ විහාර භූමියෙන් වෙන්වීම නිසා නව වාහල්කඩ හෙවත් පිවිසුම් මාර්ගය ඉදි කරන තොරණ මගින් විහාරස්ථානයට ලැබී ඇත්තේ අපූරු සුන්දරත්වයකි. මනරම් පරිසරයක ඉදි වූ එම වාහල්කඩ ශාස්ත්‍රපති පාලාවත්තේ විමලවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි සැදැහැති නිර්මාණ දායකත්වය දක්වා ඇත්තේ පස්සර සපුරෙදා ගම්මානයේ ජන්ම ලාභය ලබා දැනට කඩවත මහර ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික බැංකු විධායක නිලධාරී, සාමදාන විනිශ්චයකාර සෝමපාල අත්තනායක මහතා හා විශ්‍රාමලත් පාඨශාලාචාරිනී කාන්ති අත්තනායක මහත්මිය ඇතුළු දූ දරුවන් විසිනි.

පස්සර මධ්‍යම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කඩවත මහර නුගේගොඩ පදිංචි සෝමපාල අත්තනායක මහතා වසර 37 පමණ කාලයක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විධායක නිලධාරියකු ලෙස සේවය කළ ප්‍රදේශයේ සමිති සමාගම් කිහිපයක නිලතල දරමින් දීර්ඝ කාලයක් සමාජ සේවයේ නියුක්තව සිටී. මිය ගිය පස්සර සපුරෙදා අලුත්ගෙදර පදිංචි ඒ.ඇම්. සමරකෝන් බණ්ඩාර පියාණන්ට පින් පිණිස හා සුජීවත්ව සිටින ආර්.ඇම්. කරුණාවතී මහත්මියට දීර්ඝායු පතා එම වාහල්කඩ තම ධනයෙන් සදා නිමකරන ලදී.