Print this Article


ශාසනයේ උන්නතියට භික්ෂුවගේ කාර්ය භාරය

ශාසනයේ උන්නතියට භික්ෂුවගේ කාර්ය භාරය

මෙම ලිපියෙහි තෙවන කොටස දුරුතු අවඅටක (ජනවාරි 17) පත්‍රයෙහි පළවිය.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඇවෑමෙන් ශාස්තෘත්‍වයෙහි තබන්නට වදාළේ පුද්ගලයෙක් නොව දේශිත සද්ධර්මයත්, පණවන ලද විනයත් බව අපි දනිමු. එසේ නම් අද යුගයේ ද මූලික අවධානය යොමු කළයුත්තේ ධර්මයත්, විනයත් පිළිබඳව බව දෙගෙඩියාවකින් තොරව හිතාගත හැකි ය. ම: නි: 2, ගෝපකමොග්ගල්ලාන සූත්‍රයෙහි දැක්වෙන අනඳ හිමියන් හා ගෝපකමොග්ගල්ලාන බමුණාත්, වස්සකාර බමුණාත් අතර සංවාදයෙහි දී මේ පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය වෙයි. එහි සඳහන් වන පරිදි භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයකින් සමන්විත නම් ඒ සියල්ලෙන් නො අඩුව සමන්විත වූ ශ්‍රාවක එක් භික්‍ෂුවක්වත් නැත. ස්වසන්තානයෙහි මාර්ගය ඉපදවූයේත්, ශ්‍රාවක සිතෙහි මාර්ගය හටගන්වන්නේත්, මාර්ගය ප්‍රකාශ කරන්නේත්, මාර්ගය දන්නේත්, මාර්ගයෙහි විචක්‍ෂණ වන්නේත් භාග්‍යවතුන් වහන්සේ ය. මෙකල මග අනුව යන ශ්‍රාවකයෝ පසුපස යෙමින් වෙසෙති. ශාස්තෘන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ කොට ගන්නට භික්‍ෂුවක් පත්කර නැත. බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් සංඝ සම්මතයෙන් පිළිසරණ කොට ගන්නැයි පත් කරන ලද භික්‍ෂුවක් ද නැත. සසුනේ මේ ස්වභාවය දැනගත් බමුණා අනඳ හිමියන්ගෙන් ප්‍රශ්න කළේ, මෙසේ පිළිසරණක් නැති ශාසනයෙහි සමගියට හේතු වන්නේ කවරේ ද? යන්නයි. එහි දී අනඳ හිමියන් වදාළේ “බමුණ, අපි පිළිසරණ නැත්තෝ නොවෙමු. අපි පිළිසරණ ඇත්තෝ වෙමු. දහම පිළිසරණ කොට ඇත්තෝ වෙමු.” යන්නයි. බමුණා මෙහි දී ප්‍රශ්න කළේ මේ කියමනේ අරුත මම දැනගන්නේ කෙසේ ද? යන්නයි.

“බමුණ, දතයුත්ත දන්නා, දැකියයුත්ත දක්නා, අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින්, භික්‍ෂූන්ට ශික්‍ෂාපද පනවන ලදී. ප්‍රාතිමෝක්‍ෂය දෙසන ලදි. ඒ අපි පොහෝ දිනවල එක් ගම් කෙතක් ඇසුරු කරගෙන යම් පමණ වාසය කරමු ද, ඒ හැම එක්තැන් ව පාමොක් පුහුණු භික්‍ෂුවකට ඇරයුම් කරමු. පාමොක් දෙසන කල්හි ඇවැත් ඇති මහණහට දහම් පරිදි අනුශාසනා පරිදි කටයුතු කරමු. පුද්ගලයෝ නො කරති. ධර්මය මැ කරවා ල යි.” යනු අනඳ හිමියන්ගේ පිළිතුරයි.

අවසාන වශයෙන් බමුණා විමසූයේ, ඔබ වහන්සේලා විසින් ගරුසත්කාර සහිතව නිඞශ්‍රය කරගනු ලැබූ භික්‍ෂුවක් හෝ වේ ද, යනුයි. එවැන්නකු ද නැති බව අනඳ හිමියෝ පැවසූහ. එහි දී බමුණාට ඇති වූ ප්‍රශ්නය නම් එය තේරුම් ගන්නේ කෙසේ ද, යන්නයි. එහි දී පසාදනීය ධර්ම දහයකින් සමන්විත රහතන් වහන්සේ පිළිබඳ ව සඳහන් කරන අනඳ හිමියෝ අපි මෙකල්හි එබඳු උතුමන්ට ගරු සත්කාර සහිතව, නිඞශ්‍රය කොට වාසය කරමු, යනුවෙන් වදාළහ. මෙහි දසපසාදනීය ධර්ම නම්,

01. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලයෙන් සමන්විත වීම. (ඉධ බ්‍රාහ්මණ, භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.)

02. සද්ධර්මය පිළිබඳ බහුශ්‍රැත බව හා මාර්ගසම්‍යක්දෘෂ්ටි ප්‍රතිවේදය. (බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථා සබ්‍යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා.)

මෙම ලිපියෙහි තවත් කොටසක් නවම් පුරඅටවක (පෙබරවාරි 02) පත්‍රයේ පළවේ