Print this Article


අටසිල් සමාදන් වන්නවුන් විසින් පිළිපැදිය යුතු ආකාරය

අටසිල් සමාදන් වන්නවුන් විසින් පිළිපැදිය යුතු ආකාරය

පොහෝ දිනයන්හි උදෑසනින් නැගිට ශරීරය පිරිසුදු කර ගෙන අහර වළදා සුදු වත් හැඳ පොරවා සිල් සමාදන් විය යුතු ය. සුදුවත් නැති කල්හි තමාට ඇති පිරිසුදු වතක් හැඳ සිල් සමාදන් වූවාට වරදක් නැත.

පෙරවන්නට වතක් නැතිනම් නො පොරවා සිල් සමාදන් වූවාට ද වරදක් නැත. සිල් සමාදන් වීමෙන් පසු සුවඳ මල් ආදිය ඇතිනම් ඒවා පුදා තුනුරුවන් වැඳීම කළ යුතු ය. මල් ආදිය නැති කල්හි වන්දනාව පමණක් වූව ද කළ යුතු ය. ඉක්බිති විවේක ස්ථානයකට එළඹ තමා සමාදන් වූ සීලය සිකපදයක් පාසා මෙනෙහි කොට ප්‍රීතිය උපදවා ගත යුතු ය. ඉක්බිති භාවනා කිරීමෙන් හෝ බණ ඇසීම, බණ කීම බණ පොත්පත් කියවීම යන මේවායින් යම් කිසිවක් කරමින් කල් යවා දවල් දානය ගන්නා වෙලාව පැමිණි කල්හි ආහාරය සැපයෙන තැනකට ගොස් සන්සුන් ව ආහාර කිස කොට නිමවා, ක්ලාන්ත ගතිය ඇතිනම් ඇසිල්ලක් සැතපී නැගිට පෙර සේ ම රත්නත්‍රය වැඳ පුදා, විවේක ස්ථානයකට එළඹ සීලය මෙනෙහි කොට භාවනා කිරිම් ආදියෙහි යෙදී සවස් වූ පසු කැමති නම් තවත් වරක් සිල් සමාදන් වී රාත්‍රී කාලය ද භාවනා කිරීම් ආදියෙන් හැකි තාක් කාලය ගත කොට සැතපී පසු දින තුනුරුවන් වැඳ පුදා දෙවියන්ට හා මිය ගිය ඤාතීන්ට ද සියලු සත්ත්වයන්ට ද පින් පෙත් දී තෙමේ ද යම් කිසි ප්‍රාර්ථනයක් කොට සිල් පවාරණය කළ යුතු ය.

පිනක් කළ කල්හි කෙලෙස් වැඩීමට හේතු නොවන සසර දිග් වීමට හේතු නො වන යම් කිසි ප්‍රාර්ථනයක් කළ යුතු ය. “ඉජ්ඣකි භික්ඛවෙ! සීලවතො චෙතො පණිධි විසුද්ධත්තා” යි වදාළ පරිදි ප්‍රාර්ථනය සිදු වන්නේ ද සිල්වතාට ම ය. දුශ්ශීලත්වය ප්‍රාර්ථනය සිදු වීමට බාධාවෙකි.

ජලයෙහි පියවී ඇසට නො පෙනෙන කුඩා සතුන් සමහර විට සිටිය හැකි බැවින් සිල් සමාදන් ව සිටින කාලයේ දී පැන් පෙරා පරිභෝගයට ගත යුතු ය. අනුන් අයිති තණ පතක් පමණ දෙයකුදු හිමියන්ගෙන් නො විචාරා නො ගත යුතු ය. බ්‍රහ්මචරියාව පිරිසුදු වනු පිණිස ඖදාරික මෛථුනයෙන් පමණක් නො ව සප්ත මෛථුනයෙන් ම වැළකී විසිය යුතු ය.

බෞද්ධයාගේ අත්පොත ඇසුරෙනි.