Print this Article


අනුත්තරීය සූත්‍රය: උත්තරීතර දැක්ම

උත්තරීතර දැක්ම

“ඡයිමානි භික්ඛවේ අනුත්තරියානි
කතමානි ඡ දස්සනානුත්තරියං
සවනානුත්තරියං, ලාභානුත්තරියං,
සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං,
අනුස්සතානුත්තරයං. ඉමානි ඛො
භික්ඛෙවෙ ඡ අනුත්තරියානීති”

ඉහත සඳහන් කරන ලද ගාථාව අංගුත්තර නිකායේ හයවන කොටස වන ඡක්ක නිපාතයේ ඇතුළත් වන ගාථාවකි.

මෙම සූත්‍රය අනුත්තරීය සූත්‍රය ලෙස හඳුන්වා ඇති අතර මෙහි අන්තර්ගත ධර්ම කාරණාවන්ට වඩා උසස් වෙනත් ධර්මයක් නොමැති යැයි බුදුන් වහන්සේ කල්පනා කළ අතර, පුද්ගලයෙකුගේ ජීවිතයේ උසස් බැවින් උපරිම වූ කාරණා හයක් පෙන්වා දී ඇත.

“සෙට්ඨත්තා එව උත්තරිතරාභාවතො. අනුත්තරියා”

පහත විස්තර වන කාරණාවන්ට අමතර ව වෙනත් උසස් කාරණා නොමැති හෙයින් මෙම සූත්‍රය අනුත්තරීය සූත්‍රය ලෙස නම් කර ඇත. එසේ ම මෙම සූත්‍රය පිළිබඳ ව දේශනා බොහෝ අල්ප වශයෙන් සිදු වී ඇත. “ඡයිමානි භික්ඛවෙ අනුත්තරියානි”

මහණෙනි, අනුත්තරීය කාරණා සයකි.

කතමානි ඡ - මෙම කාරණා සය මොනවා ද?

දස්සානුත්තරීය

දැක්මෙන් උසස් ම දෙය කුමක් ද? මේ පිළිබඳ ව අටුවාව මෙසේ විස්තර කරයි. “හත්ථිරතනාදීනඤ්හි දස්සනං න දස්සනානුත්තරියං” මෙලොව දැකීමට ප්‍රිය වස්තූන් ලෙස අලි ඇතුන්, රන්, රිදී, මුතු මැණික් සැලකේ.

“අලි බැලීමෙන් හා බලි බැලීමෙන් ඇති වීමක් නොමැත”

යනුවෙන් අප සමාජයේ කට වහරක් ද පවතී.

රත්තරන්, මුතු මැණික් දැකීමට සැවොම ප්‍රිය කරති. රන්රිදී ආදී වටටිනා ද්‍රව්‍ය පෙට්ටියක බහා අල්මාරියක තැන්පත් කර තැබුවත්, කලාතුරකින් හෝ එම පෙට්ටිය විවෘත කර බැලීමේ කැමැත්තක් ඇති වේ. එහෙත් බුදුන් වහන්සේ දේශනා කරන්නේ මුතු මැණික්, ඇතුන් දැකීම වැඩිම අගයෙන් යුතු කාරණාව නො වන බවයි. උත්තරීතර දැක්ම ලෙස ධර්මයෙහි දැක්වෙන්නේ බුදුන් දැකීම, සඟුන් දැකීම, කසිණ නිමිති හා අසුභාදිය දැකීමයි. අනුත්තරීය සූත්‍රය අපේ පැරණි කවියක මෙසේ සටහන් වී ඇත.

“දුටුවා නම් බුදුරුව දුටුවා ම ය”

අප දැකිය යුතු වන්නේ බුදුරුව ය, යනුවෙන් බුද්ධ රූපය දැකීම අනුත්තරීය කාරණාවක් ලෙස පෙන්වා ඇත. මංගල සූත්‍රයේ මහා සඟරුවන දැකීම අනුත්තරීය කාරණාවක් ලෙස “සමණානඤ්ච දස්සනං” යනුවෙන් පැහැදිලි කෙරේ.

බෞද්ධ නිවෙස්හි අනිවාර්යයෙන් ම බුදුරුවක් තැන්පත් කර ඇති මුත්, සමහර ගෘහයන් තුළ කිසියම් මුල්ලක ද, සමහර ගෘහයන් තුළ නිවසින් පිටත ද බුදුරුව තබා ඇත. සත්‍ය වශයෙන් ම බුදුරුව තැන්පත් කොට තැබිය යුතු සුදුසු ම ස්ථානය ලෙස අපට හැඟෙන්නේ නිවසට පැමිණෙන කාහටත් පෙනෙන පරිදි නිවසට ඇතුළු වන දොරටුව ආසන්නයේ බවයි. එය අනුත්තරීය ධර්මයකි. බුදුරුව දැක, බුදුරුව හරහා, කමටහන් වඩා නිවන් අවබෝධ කිරීමට හැකියාව ලැබේ. බුද්ධානුස්සති භාවනාව නමින් හැඳින්වෙන්නේ බුදුරදුන් ස්මරණය කිරීමයි. මේ කාරණය සම්බන්ධයෙන් අප අසා ඇති ජනප්‍රවාදයේ පවතින කතා පුවතක් දක්වමු.

කටඅන්ධකාරයෙහි වැඩසිටි ඵුස්සදේව හිමියන් දිනක් මිදුල අමදිමින් සිටින කල්හි ගවයෙක් පැමිණ ඇමදූ මිදුල අවුල් කළේ ය. හිමියෝ යළි මිදුල ඇමදීමෙන් පසු වඳුරෙක් පැමිණ පස් අවුස්සා දැම්මේ ය. එය ද ඉවසූ හිමියෝ යළි මිදුල ඇමදූ අතර, එක් කොරෙක් පැමිණ සිය පාදයෙන් මිදුලේ රටාව මකා දැම්මේ ය. තෙවන වර මිදුල අවුල් කර දමනුයේ සතුන් නො වන බවත්, මාරයා බවත් වටහා ගත් හිමියෝ කොරා අමතා

“උඹ මාරයා නේදැ”යි

විමසුවේ ය. මාරයා වදකයෙකු වූව ද සත්‍ය කථා කරන්නෙකි. භික්ෂූන් වහන්සේ මිදුල අතුගා, සිතෙහි ප්‍රසාදය ඇති කොටගෙන රහත් බවට පත්වෙනු ඇත යන බිය මාරයා තුළ විය.

“ඔව්, මම මාරයා වෙමි”

යැයි පැවසූ කල්හි මාරයා රැවටීමට සිතූ හිමියෝ “මාරය, උඹ බුදුහාමුදුරුවෝ දැක ඇත්දැයි” ඇසූහ. “ඔව්, යනු මාරයාගේ පිළිතුර විය. “මාරය, ඔබ හරි දක්ෂයෙක්. ඔබ බුදුරදුන් දැක ඇත්තේ නම් මවා පෙන්වන්න යැයි හාමුදුරුවෝ මාරයාට පැවසූහ. එවිට

“බුදුහාමුදුරුවෝ ම නොව ඒ ආසන්නයේ රුවක් මවමි”යි

පැවසූ මාරයා බුදුරුව මවන අවස්ථාවේ දී එදෙස බලා සිට බුද්ධානුස්සතිය වඩා සමාධිය ඇති කොට ගෙන විපස්සනාව වැඩූ හාමුදුරුවෝ නිවනට ළඟා වූහ. මේ හෙයින් බුදුරුව දැකීම දස්සනානුත්තරීය කාරණාවක් ලෙස පෙන්වා ඇත.

දිනක් කුඹුරක් හරහා වැඩම කරන භික්ෂූන් වහන්සේලා පිරිසක් දුටු ගෙවිලියෝ බුදුගුණ ඇතුළත් නෙළුම් කවියක් කියූහ.

“දහමට සරිකොට එඵවෙන් පෙරකී

නිවනට සපැමිණි සඟ සැට නමකී”

භික්ෂූන් වහන්සේ සැට නම දැක පැහැදුණු සිතින් ගෙවිලියන් කී කවි අසා සිත පහදවා ගත් හිමිවරු රහත් වූ බව පැවසේ. ඒ අනුව සඟුන් දැකීම ද අනුත්තරීය ධර්මයක් ලෙස ධර්මයෙහි දක්වා ඇත.

තව ද කසිණ නිමිති, අසුභ නිමිති වැනි ධර්ම කාරණා ගෙන බලමු. බොහෝ විට අසුභ නිමිති ලෙස මළ මිනියක් දෙස බලා සිට පිළිකුල් භාවනාව වඩන අවස්ථා ඇත. බුදුරදුන් ප්‍රකාශ කර ඇති පරිදි එය ඉතා සුදුසු දස්සනානුත්තරීය කාරණාවකි. මළමිනී නොවන සිරුරු දෙස බලා ඇල්මක් ඇති වන අතර, මළමිනී දෙස බලා සිටීමෙන් මළමිනී නො වන පුද්ගලයන්ගේ ජීවිත යථාර්ථය තේරුම් ගැනීමට මනා පිටුවහලක් ලැබෙනු ඇත. එය දස්සනානුත්තරීය වේ. නවසීවථිකයේ විනීලක, විපුබ්බක ආදි වශයෙන් මළමිනියක අවස්ථා නවයක් ගෙන විදසුන් වඩන ක්‍රමයක් ධර්මයෙහි දැක්වේ. එසේ බුදුන්, සඟුන්, අසුභ නිමිති, කසිණ නිමිති දැක ඒ ඔස්සේ භාවනා කොට විපස්සනාවට යාම දස්සානුත්තරීය බැව් අනුත්තරීය සූත්‍රයට අනුව සිතාගත හැකි ය.