Print this Article


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ සම්මාන ප්‍රදානය පෙබරවාරි 01 වන දා

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ

සම්මාන ප්‍රදානය පෙබරවාරි 01 වන දා

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ ආදි කර්තෘන් වහන්සේ වූ අතිපූජ්‍ය බෝගහපිටියේ ධම්මජෝති නාහිමියන් වහන්සේ උපසම්පදාවට පත්ව වසර 214 ක් පිරීම නිමිත්තෙන්, එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ ධම්මජෝතිනී කාරක මහා සංඝ සභාව විසින් ජාතික, ආගමික, අධ්‍යාපනික ආදී විවිධ අංශයන්ගෙන් මහඟු සේවාවක් සිදුකළ දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසකට සම්මාන ප්‍රදානෝත්සවයක් පෙබරවාරි 01 දින පස්වරු 02.00 ට රත්නපුර නවනගරයේ සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම උත්සවයට එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ මහානායක කුරුවිට සරණංකර මහා නාහිමියන් ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි ආරාධිතයන් රැසක් සහභාගිවීමට නියමිත ය.

එදින මාදොල සෞගත නාහිමි, නොරගල්ලේ සෝරත මාහිමි, කුකුලේගම ගුණරතන මාහිමි, රාස්සගල චන්දකිත්ති මාහිමි, කොරියාවේ මින් හේ මාහිමි, ගලගම හේමාලෝක නාහිමි, දෙල්වල මුදිත මාහිමි, හඟරංගල සුමේධ මාහිමි, කොළඹගෙආරේ අතුලසේන නාහිමි යන හිමිවරුන් සහ සබරගමු පළාත් හිටපු මහාමාත්‍ය මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් මිගාර ජයසුන්දර, සබරගමුව පළාත් සභා ප්‍රධාන ලේකම් මාලනී දසනායක නැඳුන්ගමුව, රත්නපුර මහ දිසාපති මාලනී ලොකුපෝතාගම, වෛද්‍ය ජී.ඒ. ශාන්ත ප්‍රේමලාල් අබේවික්‍රම යන මහත්ම, මහත්මීන් ඇතුළු තවත් රැසකට එහිදී සම්මාන පිරිනැමීමට නියමිත යැයි එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පලීගල නාරද නාහිමි දන්වා සිටිති.