Print this Article


සසුන් කෙත බබළවනකොටුගොඩ

සසුන් කෙත බබළවන කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියෝ

බෞද්ධ පත්‍ර කලා විශාරද
සීසර් සුදුසිංහ

" මෙරට වැඩවසන විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේලා අතර මහත් ගෞරවයට පාත්‍රව වැඩ වසන අතර දහම් පොත පත කියවීමත්, ලිවීමත්, සද්ධර්මය දේශනා කිරීමත් උන්වහන්සේගේ දෛනික ජීවිතයේ දක්නට ලැබෙන සත් ක්‍රියාවන් අතර වේ. සිල්වත්, ගුණවත්, ආදර්ශවත් මහ තෙර නමක් ලෙස බුහුමන් ලබා වැඩ සිටින සංඝපීතෘවරයන් වහන්සේ නමකි. "

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නම කී පමණින් මෙරට බොහෝ දෙනා උන්වහන්සේ දැන හඳුනති.

මෙරට වැඩවසන විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේලා අතර මහත් ගෞරවයට පාත්‍රව වැඩ වසන අතර දහම් පොත පත කියවීමත්, ලිවීමත්, සද්ධර්මය දේශනා කිරීමත් උන්වහන්සේගේ දෛනික ජීවිතයේ දක්නට ලැබෙන සත් ක්‍රියාවන් අතර වේ. සිල්වත්, ගුණවත්, ආදර්ශවත් මහ තෙර නමක් ලෙස බුහුමන් ලබා වැඩ සිටින සංඝපීතෘවරයන් වහන්සේ නමකි.

සාමණේර අවධියේ පටන් ප්‍රදේශයේ බෞද්ධ සමිති ආදියෙහි මෙන් ම, විහාරස්ථානවල ද දහම් දෙසුම් සඳහා ආරාධනා ලැබූ උන්වහන්සේ ගුවන්විදුලි, රූපවාහිනී විද්‍යුත් මාධ්‍යයන්හි මෙන්ම මුද්‍රිත මාධ්‍යයෙහි ද නිතර නිතර ඉදිරිපත් කරන හරබර දෙසුම් ශ්‍රවණයට හා කියවීමට ප්‍රේක්ෂක හා පාඨක ජනතාවට බොහෝ අවස්ථාව ලැබේ. දහම් දෙසුමෙහි දී වෙසෙසින් ම උන්වහන්සේට ආවේණික වූ සුමධුර, සුලලිත වාග් විලාශයකින් සිය දෙසුම වෙත ශ්‍රාවක පිරිසෙහි සිත් නෙත් යොමු කරවා ගැනීමෙහි අපූර්ව වූ වාසනා ගුණයකින් යුක්ත ය.

ගම්පහ දිසාවේ කොටුගොඩ ඇඳි විතාරණගේ හරමානිස් රුද්‍රිගු සහ ඇඳවිතාරණගේ සෙලෙස්තිනා රුද්‍රිගු දම්පතීන්ගේ පුත්‍රරත්නයක් ලෙස 1933 ජනවාරි 26 වන දා උපත ලැබූහ. සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් සමන්විත වූ එම පවුලේ මව්පිය සෙනෙහස ලබමින් හැදී වැඩුණු මෙම කුමරුවා එවකට කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යාපනය ලැබීය.

පණ්ඩිතාචාර්ය කොටුගොඩ විමලරතන මාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති උණවටුනේ ධම්මපාල මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1948 අගෝස්තු 17 වන දා එම කුමරා පැවිදි බිමට පත් විය.

සිය ගුරුදේවයන් වහන්සේ යටතේ මූලික බණ දහම් හදාළ උන්වහන්සේ රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනින් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූහ. අනතුරුව වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් විය. එවකට විද්‍යෝදය පරිවෙනාධිපති බද්දේගම ශ්‍රී පියරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පළන්නොරුවේ විමලධම්ම නාහිමියන් ඇතුළු සම්භාවනීය ඇදුරු මඩුල්ලක් වෙතින් ත්‍රිපිටක ධර්මය හැදෑරූහ. විද්‍යෝදය පිරිවෙන මගින් පවත්වන ලද ‘විනයාචාර්ය’ හා ‘සද්ධර්මාචාර්ය’ විභාග සමත් වූ කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ 1954 ජූලි 10 වන දා කළුගෙඟ් උදකුක්ඛේප සීමා මාලකයේ දී අග්ගමහා පණ්ඩිත බේරුවල සිරිනිවාස මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් අධිසිල් ලැබූහ.

මරදාන පධානඝර මහා විහාරයෙහි වූ ධර්මදූත විද්‍යාලයෙන් සහ පෙමිරොක් විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි භාෂාව හැදෑරූ උන්වහන්සේ දෙහිවල තරුණ බෞද්ධ සමිති ශාලාව සහ ගල්කිස්ස බෞද්ධෝදය සමිතිය ඇතුළු ප්‍රදේශයේ බෞද්ධ සමිති මගින් සතිපතා පවත්වන ලද ධර්ම දේශනා සඳහා උන්වහන්සේ නොකඩවා වැඩම කළහ. දායක නිවෙස්වල පමණක් නොව ප්‍රදේශයේත්, අවට පළාත්වලත් දහම් දෙසුම් සඳහා එම තුරුණු වියේ වැඩ සිටි උන්වහන්සේ වෙත ආරාධනාවලින් අඩුවක් නොවූහ.

ස්වකීය ගුරු දේවයන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව 1967 මැයි 14 වන දා ධර්මපාලාරාමයේ අධිපති ධූරයට පත් වූ කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ දහම් පොත පත රචනා කිරීමට ද ක්‍රියා කළහ. දෙලොව දියුණුවට මඟ, නිවනට මඟ, පුණ්‍ය මහිමය, මෛත්‍රී බුදුපියාණෝ, කේතුමතී රාජධානිය, පිරිනිවන් මංචකය, තථාගත ලක්ෂණ ආදී පාඨක සිත් සතන් සම්බුදු දහම කෙරෙහි තව තවත් යොමු කරවීම සඳහා එසේ ලියූ ග්‍රන්ථ අතර කිහිපයක් වේ. උන්වහන්සේ ලියූ බොහෝ පොත් මුද්‍රණවාර කිහිපයක් බැගින් අද පවා මුද්‍රණයෙන් නිකුත්වනු ලැබේ.

ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, රුසියාව, එංගලන්තය ආදී විදේශ රාජ්‍යයන් හතළිස් එකකට වැඩම කරවා ඇති කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ ඒ සියල්ලෙහිම ආගමික කටයුතු සඳහා වැඩම කිරීම ද සුවිශේෂී ය.

1986 සිට අමරපුර මහා සංඝ සභාවේ සම ලේඛකාධිකාරී ධූරය ද, අනතුරුව එහි මහා ලේඛකාධිකාරී ධූරය 1992 සිට ද, එහි සභාපති ධූරය ද හෙබවූ කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2008 දී බුරුම රජය වෙතින් අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබූහ.

ධම්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන ශෝභන ශ්‍රී සුමංගල විද්‍යාවංශ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ උත්තරීතර මහානායක පදවියට පත් වූහ.

හැත්තෑ දෙවසරක පැවිදි දිවිය තුළ නිහතමානීත්වයෙන් පැවිදි දිවිය ශෝභාමත් කරගත් කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප්‍රමාණ ජන හදවත් දහම් සුවයෙන් සනසවන්නට දරා ඇත්තේ ඉමහත් උත්සාහයකි.

ධර්මපාලාරාමයෙහි වැඩ වසන සෑම මොහොතකම දුරකතන පණිවුඩයක් වේ නම් ‘මේ කතා කළේ’ යන කාරුණික වදනින් අමතන කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහානායක මාහිමිපාණන් වහන්සේ තරාතිරම නොබලා ආගමික කටයුතු ඉටු කිරීමෙහි යෙදී සිටිනු ලැබේ.

මෙරට මහ සඟරුවන සමඟ ඉතා සමගි සම්පන්න ව සිදුකරන සියලු කටයුතු සහ ආගමික හා ශාසනික කටයුතු කෙරෙහි මහත් සතුටක් ලබන කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ පිළිබඳ නිරන්තරයෙන් සිහිපත් කරන බවද උන්වහන්සේ පවසති.

ගල්කිස්ස ධර්මපාලාරාමය සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ කරමින්, එහි අභිවෘද්ධියටත්, කතරගම උපාලි ධර්මාශ්‍රමයෙහි භෞතික සංවර්ධනයටත් මහඟු මෙහෙවරක් උන්වහන්සේ සිදු කර ඇත.

87 වන විය මෙම මස 26 වන දාට යෙදී ඇති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් බලයෙන් ශතවර්ෂාධික කාලයක් නිදුක් නිරෝගී ව වැඩ වසමින් ශාසනාභිවෘද්ධියට තව තවත් මෙහෙවර ඉටු කිරීමට ශක්තිය හා ධෛර්යය හිමිවේවා.