Print this Article


පූජාච පූජනියනං

තෙවසරකට පෙර අපවත්වී වදාළ රද්දොළුවේ අමරවංශ නා හිමි

අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ සම්මානනීය අනුනායක රද්දොළුවේ අමරවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තෙවන වාර්ෂික ගුණ සමරු පින්කම මෙම මස 29 සහ 30 දිනවලදී රද්දොළුව අමර මහා විහාරයේ දී පැවැත්වේ.

29 වන දා දහම් දෙසුම නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන් විසින් ද අනතුරුව 30 වන දා දවල් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ ප්‍රධාන ශතාධික මහා සඟ රුවන විෂයෙහි සපිරිකර දක්ෂිණාව පිරිනැමීමට ද කටයුතු යොදා ඇත.

රද්දොළුව අමර මහා විහාරාධිපති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී මීගමුව කටාන ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති සීදුවේ සුමනවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව සිදු කෙරේ.

ගම්පහ දිසාවේ උතුරු අලුත්කූරු කෝරළයේ සීදුව රද්දොළුව ගම් පියසේ විසූ කේ.විල්සන් රොවෙල් සහ කේ. පුංචිනෝනා දම්පතීන්ගේ පින්බර පුත් රුවනක් ලෙස 1933 ජනවාරි 19 වන දා උපන් කුමරු වෙත රෝලන්ඩ් රොවෙල් යන නම තැබිණි. නිසි වියේ දී රද්දොළුව මෙතෝදිස්ත පාසලෙන් හා රද්දොළුව පඤ්ඤානන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා 11 වන වියේ දී රද්දොළුව ශ්‍රී සුබෝධාරාම විහාරාධිපතිව වැඩ විසූ කොටුගොඩ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් රද්දොළුවේ අමරවංශ නමින් 1944 දී පැවිදි දිවියට ඇතුළත් වූහ. ස්වකීය ගුරු දේවයන් වෙතින් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී ත්‍රිපිටක දහම පිළිබඳ දැනුම ද සිංහල, පාලි, සංස්කෘත භාෂා දැනුම ද ලබා විද්‍යොදය අවසන් පරීක්ෂණයෙන් සමත් විය.

නිසි වයස් සපිරි කළ අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය බේරුවල සිරිනිවාස මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාවට පත්වූහ.

අනතුරුව උභය විහාරාධිපති ධූරයට පත් වූ උන්වහන්සේ සිය විහාරස්ථාන කේන්ද්‍රස්ථාන කර ගනිමින් ප්‍රදේශයේ ආගමික, සාමාජික හා ශාසනික මෙහෙවර සැපයීමට මූලිකව ක්‍රියා කළහ. ප්‍රදේශයේ දරුවන්ගේ සුචරිත වර්ධනය පතා දහම් පාසල් ඇතුළු සාමාජික විවිධ ස්වේච්ඡා සංවිධාන බිහි කිරීමට ද මුල් වූහ.

රද්දොළුව ප්‍රාථමික විද්‍යාලය සඳහා ඊට අදාළ භූමිය පරිත්‍යාග කිරීම ද සුවිසල් මෙහෙවර අතර වේ. ආගමික සහජීවනයෙන් ක්‍රියාකළ රද්දොළුවේ අමරවංශ නාහිමියන්ගේ සුවිසල් ආගමික, ශාසනික හා සාමාජික මෙහෙවර ඇගයීම සඳහා අමරපුර පාර්ශ්වයේ ශ්‍රී සුමංගල කාරක මහා සංඝ සභාව මගින් ගෞරව නාම සහිතව නායක පදවියක් ද, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයක් ද 2016 දී සම්මාන අනුනායක ධූරය ද පිරිනමන ලදී.

ඉන්දියාව, ජර්මනිය, තායිලන්තය, ප්‍රංශය ඇතුළු රටවලට කිහිපවරක්ම වැඩම කර ඇති රද්දොළුවේ අමරවංශ නායක හාමුදුරුවෝ සරල දිවිපෙවෙත හැමවිට අගය කළහ. ගිහි පැවිදි උභය සමාජයේ ම මහත් ගෞරවාදරය ට පාත්‍රව වැඩ විසූ රද්දොළුවේ අමරවංශ නායක හාමුදුරුවෝ අපවත්වන විට අසූ හතර වන වියේ පසුවූහ.

අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ අනුනායක රද්දොළුවේ විමලවංශ අනු නාහිමි, මීගමුව, කටාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී සීදුවේ සුමනවංශ නාහිමි ප්‍රධාන උගත් පැවිදි ශිෂ්‍යය පිරිසක් ද උන්වහන්සේ සසුන ට දායාද කළහ.

රද්දොළුවේ අමරවංශ නායක හාමුදුරුවන්ගේ ගුණ සමරුව නිමිත්තෙන් විහාරස්ථ සියලු ස්වේච්ඡා සංවිධානවල සහ ප්‍රදේශවාසීන්ගේ ද එකමුතුවෙන් පින්කම් මාලාව සිදු කිරීමට සීදූවේ. සුමනවංශ නා හිමියන් කටයුතු යොදා ඇත.

රද්දොළුවේ අමරවංශ නාහිමියන් වෙත අමා මහ නිවන් සුවය ම හිමිවේවා.


නායක පදවියෙන් පිදුම් ලද නෙළුවේ සුමනවංස නා හිමි

සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අභිනව බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලද

මහාචාර්ය නෙළුවේ සුමනවංස නාහිමි

දක්ෂිණ ලංකාවේ නෙළුවේ ග්‍රාමවරයේ දී 1961 මෙලොව ජන්ම ලාභය ලැබූ පින්වත් කුමරෙකු නෙළුවේ සුමනවංස හිමි නමින් 1976 දී දෙදියවල දේවසුමන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූයේය.

උන්වහන්සේ ධර්ම විනය ශබ්දශාස්ත්‍රෝද්ග්‍රහණය පිණිස කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනට ඇතුළත් වූහ.

නෙළුවේ සුමනවංශ හිමියෝ සිංහල, පාලි, සංස්කෘත භාෂාත්‍රය මෙන්ම ඉතිහාසය, අපරදිග භාෂා ආදී නූතන ශබ්දශාස්ත්‍ර පිළිබඳවත් විෂය ඤාණය පුළුල් කරගත්හ. උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට 1980 වර්ෂයේ ඇතුළත්ව 1984 වර්ෂයේ විද්‍යෝදය පිරිවෙනේ අවසාන විභාගයෙන් ස්‍යාමරාජ ත්‍යාගය සහිතව රාජකීය පණ්ඩිත උපාධිය ලැබී ය. 1983 වර්ෂයේ ත්‍රිපිටකාචාර්ය උපාධිය ද උන්වහන්සේ ලබා ගත්හ.

1983 දී විසිවයස් සපිරුණු නෙළුවේ සුමනවංස හිමියන් ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ සිරි මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ. 1988 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සංස්කෘත විෂය පිළිබඳ ප්‍රථම පන්ති සාමාර්ථය සහිත ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකරගත් උන්වහන්සේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට 1989 වර්ෂයේ ඇතුළත් වූහ. අනතුරුව 1993 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ඩිප්ලෝමාව හිමිකරගත් නෙළුවේ සුමනවංස හිමිපාණෝ කැලණිය විශ්ව විද්‍යාලයෙන් “කඨොපනිෂදය සාංඛ්‍ය දර්ශනය හා බුදුදහම” නම් ශාස්ත්‍රීය පර්යේෂණය සඳහා දර්ශනපති උපාධිය හිමිකරගත්හ. 2005 වර්ෂයේ ආචාර්ය උපාධි අධ්‍යයනය සඳහා දිල්ලි විශ්වවිද්‍යාලය තෝරාගත් උන්වහන්සේ 2009 වර්ෂයේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය ධුරයට පත්වූහ.

රුසියන් භාෂාව පිළිබඳ මොස්කව්හි පුෂ්කින් ආයතනයෙන් පුහුණුව ලැබූ උන්වහන්සේ විද්‍යෝදය පිරිවෙනේ ආචාර්යවරයෙකු වශයෙන් අධ්‍යාපන සේවයට අවතීර්ණ වූහ. අනතුරුව කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ පරිවෙණාධිපති ධූරයේ ද කටයුතු කළහ. කැලණිය විශ්ව විද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයට සම්බන්ධ වූ සුමනවංස හිමියෝ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහකාර ධුරයට පත් වූහ. 1991 දී ආධුනික කථිකාචාර්යවරයෙකු ලෙස පත් වූ උන්වහන්සේ සංස්කෘත අධ්‍යයන අංශාධිපති ධූරය ද භාෂා අධ්‍යයන පීඨාධිපති ධූරය ද දරමින් සුවිශාල ශාස්ත්‍රීය මෙහෙවරක නියැළුණහ. තත් විශ්ව විද්‍යාලයේ වැඩබලන මහෝපාධ්‍යාය ධූරය ද ප්‍රධාන ශිෂ්‍ය උපදේශක, ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික හා පාලක සභා සභික ධුරය ද ආදි විවිධ තනතුරු දරා ඇති සුමනවංස හිමියෝ දැනට සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරති.

නෙළුවේ සුමනවංස හිමිපාණෝ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්යවරයෙකු වශයෙන් ද නියෝජ්‍ය ලේඛකාධිකාරි ලෙස ද කටයුතු කරති.

දෙදියවල දේවසුමන නාහිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනෙහි විහාරාධිපති ධූරයට පත් නෙළුවේ සුමනවංස හිමිපාණන් වහන්සේ තත් පිරිවෙනෙහි කෘත්‍යාධිකාරි පදවියට ද පත්ව සිටිති. නෙළුවේ නාහිමිපාණන් වහන්සේ ස්වකීය ගුරුදේවයන් වහන්සේ ආරම්භ කළ සමාජ සේවා කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ භාර දූර වගකීම ද භාරගත්හ.

උතුම් ශාසනික හා සමාජ සේවයත්, භික්ෂු සමාජය උදෙසා පරමාදර්ශි පැවිදි දිවියත්, ධර්ම ශාස්ත්‍රීය සේවයත් අගය කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝසභාවේ මහානායක ධුරන්දර සාහිත්‍යශූරි ඉත්තෑපානේ ධම්මාලංකාරාභිධාන මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කල්‍යාණි කාරක සංඝසභාව සමානච්ඡන්දයෙන් කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ මහාචාර්ය ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත නෙළුවේ සුමනවංස හිමිපාණන් වහන්සේ අභිනව බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරයට පත්කර ගන්නා ලදී. ඒ පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය 2020 ජනවාරි මස 18 වෙනි ශනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ සිරි මංගල උපෝසථාගාරයේදී සිදු කෙරිණි.

උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය ජනවාරි මස 19 දිනපෙරවරුවේ කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

පෙර සැකවින් දැක්වූ පරිදි සුවිශාල ආගමික, ශාසනික හා ශාස්ත්‍රීය මෙහෙවරක නියැලෙන නාහිමියන් වහන්සේට චිරාත් කාලයක් ලෝක ශාසනික සේවාවන්හි නිරත වීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සැලසේවායි ආශිංසනය කරම්හ.