Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: ඉටුවිය යුතු යුතුකම් මග හැර තිබෙනවාද?

ඉටුවිය යුතු යුතුකම් මග හැර තිබෙනවාද?

" අනෙක් පුද්ගලයන් පිළිබඳ සිතන්න අවශ්‍ය නැත. තමන් පිළිබඳව එළඹ සිටි සිහියෙන් සිතීම හොඳටම ප්‍රමාණවත් ය. තමන්ගේ මව්පියන්ට තමන් කෙතරම් ප්‍රමාණයකට සලකා තිබෙනවාද? මේ වන විටත් කෙතරම් ප්‍රමාණයකට සලකනවාද?"

සෑම දරුවෙකුම තමන් හැදූ වැඩූ මව්පියන්ට තමන්ට හැකි ආකාරයෙන් සැලකිය යුතු යි. බුදු දහම ඉගෙන ගත්තත් මව්පියන්ගේ වැරැදි අඩුපාඩු හොයන දරුවන් වැඩි වශයෙන් ම ඉන්න රට ශ්‍රී ලංකාව යි. අපේ රටේ බොහෝ දෙනා අන්‍යයා පිළිබඳව කරුණු කාරණා සොයා බැලීමට ඉමහත් රුචිකත්වයක් දක්වයි. කළ යුතු දෙයට වඩා නො කළ යුතු දෙය කිරීමට බොහෝ දෙනා උත්සාහ ගනී. අනෙක් පුද්ගලයන් පිළිබඳ සිතන්න අවශ්‍ය නැත. තමන් පිළිබඳව එළඹ සිටි සිහියෙන් සිතීම හොඳටම ප්‍රමාණවත් ය. තමන්ගේ මව්පියන්ට තමන් කෙතරම් ප්‍රමාණයකට සලකා තිබෙනවාද? මේ වන විටත් කෙතරම් ප්‍රමාණයකට සලකනවාද? තමාගේ ගැටලු ඉදිරියට යොදා ගනිමින්, එම කාරණා තමාගේ වාසියට ගනිමින් තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් මගහැර තිබෙනවාද? යන ප්‍රශ්නය ඇසිය යුත්තේ අනෙක් පුද්ගලයන්ගෙන් නොවේ. තමාගෙන් ය.

පළමුවෙන් ම දරුවන්ට යම් යම් දේ ලබාදෙන්නේ මව්පියන් පුබ්බදේව, පුබ්බාචරිය යන නම්වලින් මව්පියන් හඳුන්වා තිබෙන්නේ ද එම නිසයි. සෙනෙහස දක්වමින් ලේ කිරිකර පොවමින් පළමු ගුරුවරයා ලෙස කටයුතු කරන්නේ අම්මා, තාත්තා ය. මව්පියන් විසින් සෙනෙහසින්, මෛත්‍රියෙන් කළ යුතු නො කළ යුතු දේ හරි වැරැද්ද පහදා දෙයි.

කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේගේ මෑණියන් තෙරණියක්. ඇය පැවිදි දිවියට පත්වුණාටත් පසුවයි. පුතණුවන් ලැබුණේ . රජතුමා විසින් කුමරා හදාවඩා ගනු ලැබුවත්, පසුව ඔහුත් පැවිදි විය. දිනක් කුමාර කාශ්‍යප මාතා තෙරණිය මහ මඟ වඩින අවස්ථාවක බොහෝ දුරින් වැඩම කරන තම පුතණුවන් වහන්සේ දැක ගන්නට ලැබිණි. තම පුතණුවන් කෙරෙහි ඇති වූ දැඩි සෙනෙහසින්, දුවගෙන දුවගෙන ගිය කාශ්‍යප මාතා තෙරණිය ඉතාම ආශාවෙන් තම පුතණුවන් වහන්සේ වැළඳ ගත්හ. “අම්මා දැන් මහණවෙලා නේද ඉන්නේ? යනුවෙන් කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ තම මෑණියන් වූ කාශ්‍යප මාතා තෙරණියගෙන් විමසී ය. එතුමියට ඒ අවස්ථාවේදී තම දෙනෙතට නැගුණු කඳුළු අතරින් තමන් දරා සිටි චීවරය සිහිපත් විය. සෙනෙහසය කියන්නේ හරි පුදුම අසිරිමත් බැම්මක්. ඒත් එය හරිම සුවඳවත්. ආසාව ඊට වැඩිය වෙනස් වු දෙයක්. එය ආත්මාර්ථකාමීවූත්, පවිටුවූත්, වංචනික වූත්, දුගඳ හමන ස්වභාවයක්.

සියලු බැඳීම්වලට මූලික හේතුව තෘෂ්ණාවයි. එසේ වුවත්, එම තෘෂ්ණාව සිඳ බිඳ දමා එකවර නිවන් දැකීමට හදිස්සි වුවත්, එසේ විය නොහැකී භවයෙන් භවයට යන ක්‍රියාවලියක් හැටියට ඒවා ජීවිතයට හුරු පුරුදු කරවන්න අවශ්‍යයි. බුදු දහමෙන් කෙරෙන්නේ තමන්ගේ යහපත සාදාගන්න කරන එක්තරා මඟ පෙන්වීමකි. ඒ පාරේ නිවැරැදිව ගමන් නොකළහොත්, තවත් බොහෝ දුරක් සංසාරයේ ගමන් කිරීමට සිදුවෙයි. බුදු දහමේ පැහැදිලි කරන්නේත් ස්වභාවධර්ම නීතියයි. එය කිසිලෙසකින්වත් වෙනස් කළ නොහැකි ස්වභාවයක්. එය කර්ම නියතිවාදය නොවන, ඊටත් වඩා බොහෝ ඉදිරියට ගිය දහමක්. බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කර තිබෙන්නේත් එම දහමමයි. ධර්ම දේශනා කරන ගමන්ම සමාජය තුළ වැඩී තිබුණු දෙයක් තමන් වහන්සේ සොයාගත් බවට බුදුරජාණන් වහන්සේ වදාළ කාරණයක්.

ඒ අනුව දාර්ශනික ප්‍රස්තුත සහ වාස්තවික සාධක යනුවෙන් සම්පූර්ණ බුදු දහම කොටස් දෙකකට බෙදා දැක්විය හැකි වුවත්, බුදු දහමෙහි පැහැදිලි කරන කර්ම සංකල්පය දාර්ශනික කරුණක්. එසේ වුවත්, දෙමව්පියන්ට සැලකීම අයත් වන්නේ වාස්තවික සාධක අතරටයි. ජීවිතය අර්ථවත් කරගෙන සමාජයේ ජීවත්වන ආකාරය පැහැදිලි කරලා තිබෙන කාරණාවලට අනුකූලවන කරුණක් ලෙස හඳුනාගත හැකි යි.

බුදු දහම අවධාරණය කරනු ලබන්නේ සත්ත්වයා සංසාරේ බැඳ තබනු ලබන්නේ කර්මය නමැති රැහැනින් බවයි. ඇතැම් අවස්ථාවක මිනිස් ක්‍රියා කලාපය රූකඩ නැටුමක් වගේ ය. රූකඩයට අමුණා තිබෙන රැහැන එය නටවයි. පුද්ගලයාගේ කර්ම ශක්තිය ද එවැනි රැහැන්මෙන්ය. එම කර්ම ශක්තිය දෘශ්‍යමාන නොවන නිසා මේ ආකාර යැයි පෙන්විය නොහැකිය. එසේ වුවද, බුදු දහමෙහි එන දර්ශනයෙන් එම කර්ම ශක්තිය හඳුනාගැනීම අපහසු නැත. පුද්ගලයාට අවශ්‍ය කරන ආකාරයේ මව්පියන් රට, ජාතිය ලබාදීමට මැදිහත් වන්නේ කර්ම ශක්තියයි. ඒ අනුව පුද්ගලයාගේ උපත තීරණය කරනු ලබන්නෙත් කර්මයයි.